උපවාස මාසයේදී විශේෂ අවධානය යොමු විය යුතු කරුණු (Matters to be noted during the fasting month)


අල් කුරානය උපවාසය ගැන සඳහන් කිරීමේදී පවසන්නේ එය මුස්ලිම්වරුන්ගේ බිය බැතිකම ඇතිකර ගැනීම සඳහා ලබා දී ඇති බවයි. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම එම මාසය තුලදී ඉස්ලාම් දහමින් තහනම් කොට ඇති දේවල් වලින් මුළුමනින්ම වැලකී සිටීමටත් අල්ලාහ් නියම කොට ඇති දේවල් වැඩි වැඩියෙන් කිරීමටත් වග බලා ගත යුතුය. 

ඉතාමත්ම මහලු වියට පත් වීම නිසා හෝ උපවාසයේ යෙදීමට නොහැකි තරම් රෝගී වීමෙන් උපවාසය අත්හැරිමට අවසර ලැබෙන්නේය. කෙසේ වෙතත් එසේ අත්හැරෙන සෑම උපවාසයක් වෙනුවෙන්ම දුගීන් හට සහල් ග්‍රෑම් 625ක් බැගින් ලබා දීමට නියම කොට තිබේ.  තවද රෝගී තත්වය පහව ගිය අය විසින් ඔවුන්ට අත්හැරුණු උපවාසයන් වෙනත් දින වලදී ඉටු කිරීම අනිවාර්‍ය වේ.  

උපවාස කාලය තුලදී අනවශ්‍ය ක්‍රිඩා වල යෙදීමට වඩා ප්‍රයෝජනවත් දේවල් සඳහා කාලය මිඩංගු කිරීම වඩා යෝග්‍ය වේ. ඒ අනුව අනවශ්‍ය යැයි හැඟෙන කිසිම දෙයක් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමෙන් වැලකී සිටීම ඉතා වැදගත් ය. තවද රාත්‍රී කාලයේදී අනවශ්‍ය ලෙස වීදිවල සැරිසරමින් නිවෙස්වල සිටින අයට හිරිහැර වන ආකාරයට ක්‍රියා කිරීම මගින් උපවාසයෙන් බලාපොරත්තු වන දේට ප්‍රතිවිරුද්ධ දේවල් සිදු වන්නේය. 

උපවාස කාලය තුලදී වෙනදා අනුමැතිය ලබා දී තිබුණු බොහෝ දේවල් තහනම් වන්නේය. ඒ අනුව කෑම, බිම, දුම් පානය කිරීම (මෙය සාමාන්‍ය දිනවලදීද තහනම් වේ) අඹු සැමියන් අතර ලිංගික සම්බන්දයන් යන සෑම දෙයක්ම තහනම් වේ. උවමනාවෙන්ම උපවාසය කඩ කලේ නම් නොකඩවා දින 60ක් උපවාසයේ යෙදිය යුතුය. එය ඉටු කිරීමට අපොහොසත් වන්නේ නම් දුප්පතුන් 60 දෙනෙකුට අහාර ලබා දිය යුතුය. මෙය මිනිසාට සහ අල්ලාහ් අතර ඇති වගකීමකි. මේ හැරුණු විට මිනිසාට අනෙක් මිනිසුන් සහ ජීවින් කෙරෙහි වගකීම් රාශියක් පැවරෙන්නේය. ඒවායේ ඇතිවන වැරදි ඔවුන් ඔවුන් අතරම සමතයකට පත්කර ගන්නා තුරු අල්ලාහ් ඒවා සමා කරන්නේ නැත. මේ නිසා රාමලාන් මාසය ලබා දී ඇති වැදගත් කරුණක් වන තක්වාව ඇති කර ගැනීම සඳහා කෙනෙකු තවත් කෙනෙකුට සිදු කොට ඇති වැරදි වලට සමාව ගැනීමට වග බලා ගත යුතුය. විශේෂයෙන්ම දෙමව්පියන් හට වැරදි කොට තිබුනේ නම් ඒවාට සමාව ගැනීම ඉතා වැදගත් වේ. තවද තමන් ලබා දී ඇති පොරොන්දු ඒ ආකාරයටම ඉටු කිරීමට වග බලා ගත යුතුය. විශේෂයෙන්ම තමන් ලබාගෙන ඇති නය මුදල් ඒවා ලබා ගත් උදවිය වෙත නැවත ලබා දීමට කටයුතු කල යුතුය. අල්ලාහ් තහනම් කොට ඇති පොලිය මත යැපෙන්නන් ඒවායින් මිදීමට කටයුතු කල යුතුය. 

ඉහත සඳහන් කරුණු වලට අවධානය යොමු කිරීමෙන් පසු හැකි තරම් පංච කල සලාතය සාමුහිකව ඉටු කිරීමට උත්සාහ කල යුතුය. එමගින් බොහෝ කුසල් රැස්කර ගත හැකි වන්නේය. තවද අනිවාර්ය සලාතයට අමතරව ඇති සුන්නා සලාතයන් වැඩි වැඩියෙන් ඉටු කිරීමට සෑම උත්සාහයක්ම ගත යුතය. ඇයිද යත් රාමලාන් මාසයේදී සුන්නා සලාතයක් සඳහා ෆර්ල් සලාතයකට ලැබෙන කුලිය හිමිවේ. එසේම ෆර්ල් සලාතයකට ෆර්ල් සලාතයන් 70ක කුලිය රාමලාන් මාසය තුලදී ලැබෙන්නේය. 

රාමලාන් මාසයේ අවසාන දින 10 ය මස්ජිදයේ ගත කිරීම නබිතුමාගේ සුන්නාවකි. එසේ කිරීමෙන් ලෛලතුල් කදර් රාත්‍රිය ලැබීමේ වාසනාව උදා වනු ඇත. අඩුම තරමින් රාමලාන් මාසයේදී සෑම සලාතයක්ම මස්ජිදයට ගොස් සාමුහිකව ඉටු කිරීමෙන් උපරිම පල නෙලා ගැනීමට ක්‍රියා කිරීම වැදගත් වේ. 

By M. Fasy Ajward.
B.Sc(Sp.Phy) Hons, Japura.

Comments

Popular posts from this blog

පින් දහම් කරන සමහර අය නිරයට යන්නේ ඇයි? (Why do some people who do good deeds go to hell?)

හජ් වන්දනය සහ ඉබ්‍රාහිම් නබි තුමා (Hajj and Prophet Ibrahim)

විශ්වයේ පෝෂකයා වන අල්ලාහ් (Allah, the Sustainer of the Universe)