මුහම්මද් (ﷺ) තුමා කව්ද? (Who is prophet Mohamed (ﷺ)?)


ජෙසු තුමාගේ සම්ප්‍රාප්තියෙන් පසු පැමිණි අවසාන නබිවරයා මුහම්මද් (ﷺ) නබිතුමා ය. නබිවරයෙකු යනු මිනිසාට යහ මග පෙන්වීම සදහා මිනිසුන් අතරින් තෝරාපත් කරනු ලැබූ විශේෂ නියෝජිත වරයෙකි. ඔවුන්ට දේවදුතයින් හරහා අල්ලාහ්ගෙන් දහම් පණිවිඩ ලැබෙන්නේය. ආදම් තුමාගේ පටන් මුහම්මද් (ﷺ) තුමා දක්වා නබිවරුන් සිය දහසකට වඩා පැමිණ තිබේ. එම නබිවරුන්ව අනුගමනය කිරීමෙන් ස්වර්ගයට යන මාර්ගය දැනගත හැකිය. 

ජේසු තුමාට බයිබලය පහළ කල අල්ලාහ් මුහම්මද් (ﷺ) තුමාට අල් කුරානය පහළ කළේය. එය මෙලොවට පහළ වූ අවසාන දහම් පණිවිඩය වේ. එමගින් ඊට පෙර පහළ කරන ලද දහම් පණිවිඩ ස්ථිර කොට තිබේ. අනෙක් දහම් පණිවිඩ වලට වඩා මුහම්මද් (ﷺ) තුමාට පහළ කරන ලද අල් කුරානය විශේෂ වන්නේ එය මුළු මහත් මිනිස් වර්ගයා වෙනුවෙන් පහළ කොට ඇති බැවින් ය. එසේම මුහම්මද් නබිතුමා ද ලෝකවාසී ජනතාව වෙනුවෙන් යවන ලද නබිවරයෙකි. එතුමා ඉබ්‍රාහිම් නබිතුමාගේ පුත් ඉස්මායිල් තුමාගේ පරම්පරාවෙන් පැවත එන අතර ජේසු තුමා පැමිණෙන්නේ ඉබ්‍රාහිම් තුමාගේ පුත් ඉස්හාක් තුමාගේ පරම්පරාවෙන් ය. මේ හේතුවෙන් මුහම්මද් නබි තුමාටත් සෙසු තුමාටත් අතර ඥාති සම්බන්දතාවයක් තිබේ.

මුහම්මද් (ﷺ) තුමා ක්‍රි.ව. 571 දී අබ්දුල්ලා සහ අමිනා යන දෙදෙනාට දාව උපත ලැබුවේය. එතුමා උපදින විටත් ඔහුගේ පියා මිය ගොස් තිබුනේය. මුහම්මද් නබි තුමාට වයස හය වන විට මවද කළුරිය කළාය. අරාබියේ පැවති සිරිතට අනුව නබිතුමා හාලිමා නමැති ග්‍රාමීය කාන්තාව ළඟ හැදී වැඩුනේය. අනතුරුව ඔහුගේ මවගේ වියෝවෙන් පසු සිය පියාගේ පියා වන අබ්දුල් මුත්ත්ලිබ් ළඟ ජිවත් විය. එතුමාගේ ද අභාවයෙන් පසු නබිතුමා ජිවත් වුයේ සිය පියාගේ සහෝදරයෙකු වන අබු තාලිබ් තුමා ළඟ ය. 

මුහම්මද් (ﷺ) තුමා කුඩා කාලයේදී අනාත දරුවෙකු වුවත් අල්ලාහ්ගේ සැලසුම අනුව ලොව පුරා විශාල වෙනසක් සිදු කළේය. එතුමා ගෝත්‍ර වශයෙන් බෙදී වෙන්වී සිටි ජනතාව එක්සේසත් කළේය. එකල කිසිම පිළිගැනීමක් නොතිබුණු කාන්තාවන් සඳහා බොහෝ අයිතිවාසිකම් ලබා දුන්නේය. තවද නිවැරදි දහමක් නොතිබුණු ජනතාව අතර විශාල අධ්‍යාත්මික පෙරලියක් සිදු කළේය. මේ ආකාරයට වසර 23 ක් තරම් ඉතා කෙටි කාලයක් තුලදී කුරානයේ මග පෙන්වීම තුලින් ලෝකයේ ඉතා ශ්‍රේෂ්ඨ ජාතියක් බවට මුස්ලිම්වරුන්ව පත් කළේය.

මුහම්මද් (ﷺ) තුමාගේ ශ්‍රේෂ්ටත්වය මුස්ලිම් විද්වතුන් පමණක් නොව මුස්ලිම් නොවන විද්වතුන් ද පිලි ගන්නේය. කිතුනුවකු වන මයිකල් එච් හාට් විසින් පල කොට ඇති "100 most influential people in the world" යන කෘතිය තුල මුලින්ම සඳහන් වන්නේ මුහම්මද් (ﷺ) තුමා වීම විශේෂත්වයකි. එම කෘතිය තුල ජේසු තුමාගේ නම සඳහන් වන්නේ නබිතුමාට පසුවය. 

මුහම්මද් (ﷺ) තුමාට කියැවීමට හෝ ලිවීමට නොහැකිය. ඒ අනුව අල් කුරානය මුහම්මද් (ﷺ) තුමා විසින් සම්පාදිත කෘතියක් නොවේ. ඒ බව මුස්ලිම් නොවන බොහෝ විද්‍යාඥයින් පවා පිළිගෙන තිබේ. ඒ අතර මහාචාර්ය කීත් එල් මුවර් ද ප්‍රධාන තැනක් ගන්නේය. මහාචාර්ය මොරිස් බුකෛල් ඔහුගේ "The Qur’an, the Bible and Modern Science” යන කෘතියෙන්ද එය නැවත තහවුරු කොට ඇත. මහාචාර්ය මොරිස් බුකෛල් සඳහන් කරන්නේ මුහම්මද් (ﷺ) තුමා ජීවත්වූ කාලය දෙස බලන කල කිසිසේත්ම අල් කුරානය වැනි කෘතියක් ඔහුට සම්පාදනය කල නොහැකි බවයි.

මුහම්මද් (ﷺ) තුමාගේ වයස 25 දී ඔහුට වඩා වයසින් වැඩි දෙවරක් වැන්දඹු භාවයට පත්ව සිටි කදිජා තුමිය සමග සරණ පාවා ගත්තේය. එම විවාහය ඉතා සාර්ථක එකක් විය. නබිතුමා කදිජා තුමිය ජිවතුන් අතර සිටින තුරු වෙනත් විවාහයක් සිදු කලේ නැත. මෙම විවාහයෙන් නබිතුමාට පිරිමි දරුවන් දෙදෙනෙකු  සහ ගැහැණු දරුවන් සිව් දෙනෙකු බිහි විය. එම පිරිමි දරුවන් දෙදෙනා කුඩා කාලයේදීම කළුරිය කළෝය. ෆාතිමා හැර අන් සියලුම ගැහැණු දරුවන් නබිතුමා ජිවතුන් අතර සිටියදීම කලුරිය කළෝය. නබිතුමාට වයස 53 වන විට කදිජා තුමියද කලුරිය කළාය. ඉන් පසු නොයෙකුත් හේතුන් මත නබිතුමා විවාහයන් එකොළහක් සිදු කළේය. එහෙත් අයිෂා රලි තුමිය හැර අන් සියලුම දෙනා වැන්දඹු කාන්තාවන් වුවෝය.

නබිතුමාගේ ජිවිත කාලය තුලදී සිදුවුණු සුවිශේෂී දෙයක් වන්නේ මිහ්රාජ් ගමනයි. එනම් අහස් සිසාරා අල්ලාහ් වෙත ගොස් නැවත පැමිණීමයි. මෙවැනි ගමනක් වෙනත් කිසිම නබිවරයෙකුට ලැබී නැත. එම ගමනේදී නබිතුමා අහස් හතක් පසුකරගෙන ගොස් ඇති අතර එක් එක් අහසේදී මෙලොවට පැමිණ මිය ගිය නබිවරුන්ව මුණ ගැසී ඇත. අවසානයේදී අල්ලාහ් වෙත ගොස් තිබේ. එම ගමනේදී ඔහු ස්වර්ගය සහ නිරයද දැක තිබේ. එම ගමන අවසාන කොට නැවත හැරී එන විට පංච කාල සලාතය පිලිබඳ නියෝගය රැගෙන ආවේය. මෙම ගමන නබිතුමා විසින් සිදු කල ප්‍රාතිහාරයක් බැවින් අපගේ බුද්ධියෙන් එම ගමන සිදු කළ අකාරය ගැන තේරුම් ගැනීමට නොහැකිය. කෙසේ වෙතාත් එකල සිටි මුස්ලිම් නොවන කුරෛෂ්වරුන් විසින් නබිතුමාගෙන් අසන ලද ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබා දීම නිසා ඔවුන්ට කිසිවක් කර කියා ගත නොහැකිව නිරුත්තර වී තිබේ. 

අල්ලාහ්ගෙන් දේව පණිවිඩ ලැබීමට පෙර එනම් නබිතුමාගේ මැදි වියේදී මක්කාව අසල පිහිටි හිරා නම් ගල් ගුහාවකට ගොස් හුදකලා ජීවතයක් ගත කොට තිබේ. ඊට ප්‍රධාන හේතුව එකල පැවති සමාජයේ පිරිහිමයි.

නබිතුමා හිරා නම් ගල් ගුහාව තුල සිටියදී ජිබ්‍රිල් නම් දේවදුතයා විසින් මුල්ම කුර්ආන් පණිවිඩය ගෙනවිත් දී තිබේ. එම පණිවිඩය ලැබීමෙන් පසු ක්‍රමක් ක්‍රමයෙන් වසර 23 ක් පුරා සම්පුර්ණ කුරානයම පහළ විය. අල් කුරානය නබිතුමාගේ ජිවිත කාලය තුලදී සම්පුර්නයෙන්ම පහළ වූ බැවින් ඉස්ලාම් දහම් පණිවිඩය කෙළවර විය. මේ වන විට ලෝක ජනග්‍රහණයෙන් 1/3 ක් පමණ ඉස්ලාම් බක්තිකයෝ වෙති. ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්තවන දහමත් ඉස්ලාම් වේ. 


By Fasy Ajward.B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
















Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)