ඉස්ලාමයේ පළමු කලීෆා (The first caliph of Islam)


නබිතුමාගේ වියෝවෙන් පසු නායකත්වය සඳහා පත්විය යුත්තේ කව්රුන්දැයි නම් කොට තිබුනේ නැත. කෙසේ වෙතත් ඒ සඳහා පත්විය යුත්තේ අබුබක්කර් රලි තුමා බවට නබිතුමා විසින් ඉඟි කොට තිබුනේය. ඒ අනුව නබිතුමාගේ වියෝවෙන් පසු නායකත්වය සඳහා සුදුසුම පුද්ගලයා අබුබක්කර් සිද්දික් රලිතුමා බව තේරුම් ගත් උමර් රලි තුමා ඔහුගේ නම පැමිණ සිටි ජනතාව වෙත යෝජනා කොට ඒකමතිකව සම්මත කර ගත්තේය. එම භාර දූර වගකීම කරට ගත් අබුබක්කර් රලි තුමා ජනතාව අමතා මෙසේ පැවසිය.

"ඔබ ගේ නායකයා ලෙස මට බලය ලබා දී ඇතත් මම ඔබ අතරින් හොඳම කෙනා නොවෙමි. මම හොඳින් පාලනය කළහොත් මට උදව් කරන්න; මම වැරැද්දක් කළහොත් මාව නිවැරදි කරන්න. අවංකව සත්‍යයට ගරු කිරීම පක්ෂපාතීත්වය වන අතර සත්‍යය නොසලකා හැරීම පාවාදීමකි. ඔබ අතර සිටින දුබලයා ශක්තිමත් වන තුරු ඔහුගේ අයිතිවාසිකම් තහවුරු කර දීම සඳහා මා ඔහු සමග සිටිමි. සැමගේම අයිතිවාසිකම් එකසේ තහවුරු කර දෙන තුරු, ඔබ අතර සිටින බලවතා මා ඉදිරියේ දුබලයා වනු ඇත. මා දෙවියන්ට සහ ඔහුගේ දූතයානන්ට කීකරු වන තාක් මට කීකරු වන්න. එහෙත් මා දෙවියන්ට සහ ඔහුගේ දූතයානන් හට අකීකරු වුවහොත් ඔබ මට කීකරු නොවන්න" (අල්-බිදායා වන්-නිහායා 6: 305, 306)

අබුබක්කර් රලි තුමා කුඩා කල සිටම නබිතුමාගේ මිත්‍රයෙක් විය. එබැවින් ඔහුට නබිතුමා ගැන ඉතා හොඳ අවබෝදයක් තිබුනේය. මේ හේතුවෙන් නබිතුමාට මුල්ම දේව පණිවිඩය ලැබුණු විට ප්‍රශ්න කිරීමකින් තොරව ඔහු එය පිලි ගත්තේය. ඒ අනුව වැඩිහිටි පිරිමින් අතරින් මුලින්ම ඉස්ලාම් දහම වැළඳ ගත්තේ ඔහුය. එතුමාගේ ඉල්ලීම අනුව උස්මාන් බින් අෆ්වාන්, අබ්දුර් රහ්මාන් බින් අව්ෆ්, තල්හා බින් උබෛදුල්ලා, සාද් බින් අබි වක්කාස්, අල්-සුබෛර් බින් අල් අව්වාම්, සහ අබු උබෙයිදා බින් ජර්රා (ඔවුන් සියළු දෙනා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) යන අයද ඉස්ලාම් දහම වැළඳ ගත්තෝය. 

ඉස්ලාම් දහමේ උන්නතිය වෙනුවෙන් අබුබක්කර් සිද්දික් රලි තුමා ඔහුගේ මුළු සේසතම වියදම් කිරීමට පසු බට වුයේ නැත. වයස් පරතරය ගත්කල අබුබක්කර් රලි තුමා නබිතුමාට වඩා වසර දෙකහමාරකින් බාලය. මොවුන්ගේ හයවන පරම්පරාව ගත්කල එම දෙදෙනා අතර නෑකමක් පෙන්නුම් කරන්නේය. ඒ අනුව එම දෙදෙනාගේ පොදු මී මුත්තා මුර්රාහ් යන තැනැත්තා ය. 

නබිතුමාට මුල්ම දේව පණිවිඩය ලැබෙන විට අබුබක්කර් රලි තුමා වෙළඳාම පිණිස යෙමනයට ගොස් සිටියේය. ඔහු යේමනයේ සිට නැවත පැමිණීමෙන් පසු අබුජහිල්, උත්බා, ශෛබා ඇතුළු බොහෝ නායකයින් ඔහුව බැහැ දැකීමට පැමිණ සිටියෝය. එසේ පැමිණි තම යහළුවන් සමග පිළිසඳරේ යෙදී සිටියදී අලුත් තොරතුරු ගැන විමසන විට දැනගත හැකි වුයේ අබුතාලිබ්ගේ ඥාති පුතුන් වන මුහම්මද් තුමා නබිත්වයක් ගැන කතා කරන බවයි. එම පුවත ඇසු අබුබක්කර් රලි තුමා කෙලින්ම ගියේ තම මිතුරා වන මුහම්මද් නබි තුමාගේ නිවසටය.  එහිදී ඔහු ඉස්ලාම් දහම වැළඳ ගත්තේය. 

නබිතුමාගේ මිහ්රාජ් ගමන විශ්වාස කිරීම සඳහා බොහෝ අය පසුබට විය. ඒ අතර ඇතැම් සහාබා වරුන් ද විය. එසේ තිබියදී නබිතුමාගේ පරම සතුරෙකු වන අබුජහිල් එම පුවත රැගෙන අබුබක්කර් රලි තුමා වෙත ගියේ ඔහුගේ ප්‍රතිචාරය කුමක් විය හැකි දැයි දැනගැනීම සඳහාය. සැබවින්ම අබුජහිල් බලාපොරොත්තු වුයේ අබුබක්කර් රලි තුමා මිහ්රාජ් ගමන විශ්වාස නොකරනු ඇති බවයි. එහෙත් සිදු වුයේ ඔහුගේ බලාපොරොත්තු සුන් වීමකි. මිහ්රාජ් ගමන ගැන පවසන්නේ මුහම්මද් නබි තුමා නම් විවාදයකින් තොරව ඔහු එය විශ්වාස කරන බව පැවසීය. මේ හේතුවෙන් අබුබක්කර් රලි තුමා හට සිද්ධික් නොහොත් විශ්වාසවන්තයා යන නම නබිතුමා විසින් පට බැන්දේය.

අබුබක්කර් සිද්ධික් රලි තුමා ඉස්ලාම් දහම වෙනුවෙන් විශාල සේවයක් සිදු කල කෙනෙකි. එතුමා බිලාල් රලි තුමා ඈතුලු තවත් බොහෝ වහලුන් නිදහස් කොට තිබේ. අල් කුරානය එක් ග්‍රන්ථයක් ලෙස සකස් කිරීමට කටයුතු කරනු ලැබුවේද එතුමා විසින් ය. තවද එතුමාගේ පාලන සමයේදී ඉස්ලාම් දහම ලෝකයේ විශාල ප්‍රදේශයකට ව්‍යාප්ත කරනු ලැබිය. නබිතුමාගේ හිජ්රත් ගමනට සහබාගි වීමේ භාග්‍යය ද එතුමාට හිමි විය. ඒ සම්බන්දයෙන් කුර්ආන් වැකියක්ද පහළ වී තිබේ. අබුබක්කර් රලි තුමාව මිහිදන් කරනු ලැබුවේද නබි තුමාගේ සොහොනට යාබදව ය. නබිතුමාගේ අවසාන කාලයේදී සලාතය මෙහෙයවන ලද්දේ ද අබුබක්කර් රලි තුමා විසිනි. තවද නබිතුමා මිය යාමට පෙර වර්ෂයේ දී හජ් යාත්‍රාව මෙහෙයවන ලෙස නබි තුමා නියෝග කොට තිබේ. මොවුන් දෙදෙනා අතර පැවති බැඳීම තව දුරටත් ශක්තිමත් වුයේ අබුබක්කර් රලි තුමාගේ දියණිය සමග නබිතුමා විවාහ වීම නිසාය.

අබුබක්කර් රලි තුමා රාජ්‍ය පාලකයෙකු වශයෙන් ජනතාව සුරා කෑවේ නැත. ඒ වෙනුවට ඔහු ළඟ තිබුණු සියලුම ධනය ජනතාව වෙනුවෙන් වැය කළේය. එතුමා ජිවත් වුයේ දහම අනුව මිස තම ලෞකික ආශාවන් වෙනුවෙන් නොවේ. එය අපට ද ආදර්ශයක් ලෙස තබමින් එතුමා මෙලොවින් සමු ගත්තේය. 


By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
















Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)