දෙවියන් මිනිසාට ලබා දී ඇති දායාදයන් ගැන ඔබ සිතා බැලුවාද? (Have you thought about the gifts God has given to man?)


ඇතැමුන් සිතන්නේ මිනිසා ඉබේ නිර්මාණය වූ බවයි. එය සතයයයක් නම් යාන වාහන යන්ත්‍ර සුත්‍ර ආදියත් ඉබේ ඇති විය යුතුය. එහෙත් අපි දකින්නේ එවැනි දෙයක් කිසිසේත්ම ඉබේ සිදු නොවන බවයි. ඒ අනුව සෑම නිර්මාණයක් පිටු පසම යම් කිසි නිර්මාණ කරුවෙක් සිටිය යුතුය. නිර්මාණයේ ගෞරවය නිර්මාණය කල තැනැත්තාට හිමිවේ. එසේ බලන කල මිනිසාව අතිශයින්ම උසස් නිර්මාණයක් ලෙස මැවූ දෙවියන් හට මිනිසාව මැවූ ගෞවරවය හිමි විය යුතු නොවේද?

මිනිසාව ඉතාමත් අලංකාර රුපයකින් උසස් නිර්මාණයක් ලෙස මවා තිබේ. උදාහරණයක් ලෙස කොඳු නාරටිය සිරස් අතට තබාගෙන ඇවිදින එකම ක්ෂීරපායි සත්වයා මිනිසාය. මිනිසාට ලැබී ඇති ඇඟිලි ඉතා විශිෂ්ට අන්දමින් සකස්කොට තිබේ. එසේ නොවන්නට මිනිසා අද ලබා ඇති කිසිම දියුණුවක් සිදු වන්නේ නැත. එවිට මිනිසාටත් සෙසු ජීවින් මෙන් ප්‍රථමික මට්ටමින් ජිවත් වීමට සිදු වනු ඇත. බොහෝ විට රසවත් පිදු අහාර ගැන සිතා බැලීමටවත් ලැබෙන්නේ නැත. එපමණක් නොව මිනිසා අද ලබා ඇති කිසිම දියුණුවක් සිදු නොවනු ඇත. එවිට මිනිසාට යාන වාහන යන්ත්‍ර සුත්‍ර ගැන සිතා බැලීමටවත් නොලැබෙනු ඇත. එහි ප්‍රතිපලයක් ලෙස මිනිසාට දීර්ඝ ගමන් බිමන් ගැන සිහිනෙන් වත් සිතා බැලීමට හැකි වන්නේ නැත. මේවා සෑමදෙයක්ම කල හැකි වුයේ දෙවියන් මිනිසාට ලබා දී ඇති ඇඟිලිවල ආදාරයෙන් ය. 

මිනිසාට බොහෝ භාෂාවන් කතා කල හැකි වීම තවත් විශේෂත්වයකි. දෙවියන් එවැනි හැකියාවක් ලබා දී නොතිබුනේ නම් මිනිසාටත් අනෙක් සතුන්ටත් අතර ලොකු වෙනසක් නොතිබෙනු ඇත. මිනිසාට බොහෝ භාෂාවන් කථා කිරීමට හැකි වීමේ ප්‍රතිපලයක් ලෙස බොහෝ දේවල් සන්නිවේදනය කල හැකි වී තිබේ. එය මිනිසාගේ දියුණුවට ප්‍රධාන හේතුවකි. 

මිනිසාට ලැබී ඇති තවත් වරමක් වන්නේ ඔහුගේ සිතුම් පැතුම් අකුරුවලින් ලියා තැබීමට හැකි වීමය. ඒ සඳහා මිනිසාට ලැබී ඇති ඇඟිලි වල සුවිශේෂී නිමාව අතිශයින්ම ප්‍රයෝජනවත් වේ. මේවා ගැන මිනිසා සිතා බැලිය යුතු නොවේද? ඇත්තෙන්ම මිනිසාගේ සම්පුර්ණ දියුණුව රඳා පවතින්නේ ඔහුගේ එම ඇඟිලිවල ස්වභාවය නිසාය. මේ  නිසා මිනිසා එවැනි නිර්මාණයක් සිදු කල දෙවියන්ට ස්තුති වන්ත විය යුතු නොවේද?

මිනිසාගේ සෑම ක්‍රියාවක්ම සිදු වන්නේ සිතින් දෙන නියෝග අනුව ය. එය මිනිසා විසින් දිගු කාලයක් සිස්සේ රැස් කරගත් අත්දැකීම් වලින් පසු නිර්මාණය කල දුරස්ථ පලකයකට වඩා බොහෝ දියුණුය. මිනිසාට එම හැකියාව නොතිබුනේ නම් ඔහුගේ තත්වය කුමක් වන්නට තිබුනේද? 

මිනිස් ශරීරය තුල සිදු වන ජෛව ක්‍රියාවලියන් කිසිවක් මිනිසාගේ අනු දැනුමෙන් සිදුවන දේවල් නොවේ. ඒ අනුව අහාර ජීරණ ක්‍රියාවලිය වේවා බහිශ්රාවී ක්‍රියාවන් වේවා ස්වසන ක්‍රියාවලිය වේවා රුධිර සංසරණය වේවා සිදු වන්නේ මිනිසා දෙන නියෝග අනුව නොවේ. මේවා ගැන මිනිසා සිතා බැලිය යුතු නොවේද?

දෙවියන් මිනිසාට ලබා දී ඇති අවයවයන්ගේ වටිනාකම දැනගත හැක්කේ ඉන් එකක් හෝ ආබාදිත වූ විටය. සාමාන්‍යයෙන් මිනිස්  වකුගඩුවක් බද්ද කිරීම සඳහා මිලියනයකට වඩා වැයවේ. එසේම හදවත් සැත්කමකට ද  එවැනිම මුදලක් අවශ්‍යය. එසේ තිබියදී කිසිම අයකිරීමකින් තොරව මිනිස් ශරීරයේ ඇති සෑම අවයවයක්ම හොඳ තත්වයෙන් ලබා දුන් දෙවියන් හට මිනිසා කොතරම් නය ගැති විය යුතුද?

නිරෝගී ජිවිතයක් සඳහා රුධිර පීඩනය, කොලොස්ටරෝල් මට්ටම, රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඇතුළු තවත් බොහෝ දේවල් නියමිත මට්ටමින් තිබිය යුතුය. ඒ අනුව ඒවා මිනිසා විසින් සිරු මාරු කිරීමට සිදු වුයේ නම් තත්වය කුමක් විය හැකිද? එහෙත් ඒවා සියල්ලම ශරීරය තුල ස්වයංක්‍රීයව සිදු වීමට දෙවියන් ඉඩ සලස්වා තිබේ. මේ සඳහා දෙවියන්ට කොතරම් ස්තුති වන්ත විය  යුතුද?

මිනිසාව මැවූ දෙවියන් මිනිසාට අවශ්‍ය අහාර පානත් ඖෂධ වර්ගත් අතුරු අබාද නොමැතිව මවා තිබේ. ඊට අමතරව ආශ්වාස කිරීම සඳහා සුදුසු වයුගොලයක් ද පානය කිරීම සඳහා ජලයද මවා තිබේ. තවද වාතයේ සංයුතිය නොවෙනස්ව පැවතීම සඳහා යාන්ත්‍රණයක් ද පහසුවෙන් ජලය ලබා ගැනීම සඳහා ජලචක්‍රයක් ද ඇති කොට තිබේ. එසේ නොවන්නට මිහිපිට ජීවයක් ගැන සිතා බැලීමට හැකි වෙයිද?

සූර්යයාගෙන් පැමිණෙන අහිතරකර විද්‍යුත් චුම්භක කිරණ වලින් පෘථිවියේ ඇති ජිවය ආරක්ෂා කිරීම සඳහා ඉහල වායුගෝලයේ වියනක් නිර්මාණය කොට තිබේ. එවැනි ආරක්ෂාවක් ලබා දී නොතිබෙන්නට පෘථිවියේ ඇති සියලුම ජීවින් විනාශයට පත් වනු ඇත. මේවා ගැන මිනිසාගේ අවධානය යොමු විය යුතු නොවේද?

මිනිසාට දෙවියන් ලබා දී ඇති දායාදයන් ගැන අල් කුරානයේ මෙසේ සඳහන් කොට තිබේ. "නුඹලා අල්ලාහ්ගේ දායාදයන් ගණනය කලේ නම් නුඹලාට කිසිදාක එය ගණන් කල නොහැකිය" (කුරානය 14:34). වරක් දාවුද් නබි තුමා අල්ලාහ් හට ප්‍රාර්ථනා කරමින් "මගේ සමිඳුනි ඔබ ලබා දී ඇති දායාදයන්ට මා කෙසේ නම් ස්තුති කරන්නදැයි" විමසුවේය. එවිට අල්ලාහ්,. "ඕ දාවුද් ඔබ මා හට ප්‍රමාණවත් ලෙස ස්තුති කළේ යැයි" දැනුම් දුන්නේය. ඇයිද යත් අල්ලාහ් ලබා දී ඇති දායාදයන් ගැන මෙනෙහි කිරීම ම අල්ලාහ් ට ස්තුති කිරීමකි.

දෙවියන් ගැන මිනිසා සිතා බැලිය යුත්තේ ඔහු විශ්වයේ මැවුම්කරු නිසාය. ඔහු මිනිසාව මවා තිබෙන්නේ විශේෂ හේතුවක් මතය. එය දැනගත හැක්කේ දෙවියන් පහළ කරන ලද දහම් පණිවිඩ වලින්ම පමණි. ඒ අනුව මිනිසාට යහ මග පෙන්වීම සඳහා බොහෝ දහම් පණිවිඩ පහළ කොට තිබේ. එසේ පහළ වූ අවසාන දහම් පණිවිඩය අල් කුරානය වේ. එය ලෝකය අවසාන වනතෙක් ලෝකවාසී සියලු දෙනා වෙනුවන්  පැමිණ තිබේ.

දහම් පණිවිඩ වලට අනුව මිනිස් ජීවිතය මරණයත් සමග කෙළවර වන්නේ නැත. ඒ අනුව මිනිසාට මරණයෙන් පසු කෙළවරක් නැති දිගු ගමනක් යා යුතුව තිබේ. එම ගමන නිමා වන්නේ ස්වර්ගයේ හෝ නිරයේදීය. එහි ඇති ජිවිතයට නිමාවක් නැත. ලෞකික ජීවිතය එම ජීවිතයත් සමග සැසඳීමේදී සිහිනයක් බඳු වේ. මේ නිසා මරනයෙන් පසු ජීවිතය ජය ගැනීම වෙනුවෙන් ක්‍රියා නොකර සිටීම ඉතාමත්ම අනුවන ක්‍රියාවක් වේ.

By Fasy Ajward.

Comments

Popular posts from this blog

ඉස්ලාම් දහම තුල අධ්‍යාපනයට ඇති වැදගත්කම (The importance of education in Islam)

ඉස්ලාමයේ දෙවන කුළුණ වන සලාතය (Salat, the second pillar of Islam)