ඉස්ලාමයේ විශේෂත්වය කුමක්ද? (What is special about Islam?)


අල්ලාහ්ගේ ඒකීයත්වය ආරක්ෂා කොට තිබෙන එකම දහම ඉස්ලාම් ය. ඉස්ලාම් හැර අනෙක් සෑම ආගමකම බහු දේව විශ්වාසය ඇතුලත් වී තිබේ. ඉස්ලාම් දහම අනුව අල්ලාහ්ට සමානයන් තැබීම බලවත් වරදකි. ඒ අනුව මුස්ලිම්වරයෙකු අල්ලාහ්ට සමානයන් ඇති කලේ නම් ඔහුට ස්වර්ගය තහනම් වේ.

දහම දෙසීම සඳහා පැමිණි සෑම නබිවරයෙකුවම විශ්වාස කිරීම මුස්ලිම්වරයෙකුට අනිවාර්ය වේ. මේ නිසා ආදම් තුමාගේ පටන් මුහම්මද් නබි තුමා දක්වා වූ සෑම නබිවරයෙකු ගැනම මුස්ලිම්වරුන් විශ්වාසය කරන්නේය. එහත් යුදෙව්වන් ජේසු තුමාවද මුහම්මද් නබි තුමාවද නබි වරයෙකු ලෙස විශ්වාස කරන්නේ නැත. එසේම කිතුනුවන් මුහම්මද් නබි තුමා අල්ලාහ් විසින් පත් කරනු ලැබූ නබිවරයෙකු බව විශ්වාස කරන්නේ නැත. එහෙත් යුදෙව්වන්ට පහළ වූ තව්රාත්හිද කිතුනුවන්ට පහළ වූ ඉන්ජිල් හෙවත් බෛබලයේද මුහම්මද් නබි තුමාගේ පැමිණීම ගැන සඳහන් කොට තිබේ. 

මෙලොවට පහළ වූ අවසාන දහම් පුස්තකය වන අල් කුරානයෙන් ඊට පෙර පහළ කරන ලද දහම් පණිවිඩ වල ඇති කරුණු නැවත වරක් තහවුරු කරන්නේය. ඒ අනුව කුරානයට පෙර පහළ වූ බෛබලයේ සහ ඊට පෙර පහළ වූ බෛබලයේ පැරණි ගිවිසුමේ සඳහන් කරුණු කුරනයෙන් තව දුරටත් සවිස්තරාත්මකව ඉදිරිපත් කොට තිබේ.

ඉස්ලාම් දහමින් මිනිසාට අංග සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දෙන්නේය. කෙසේ වෙතත් ඉස්ලාම් දහම පිළිගන්නා ලෙස බල කිරීමක් කරන්නේ නැත. මේ නිසා ඕනෑම කෙනෙකුට අල් කුරානය හදාරා එහි සත්‍යතාවය දැකීමෙන් ඉස්ලාම් දහම වැළඳ ගත හැකිය. එසේ තිබියදී යම් කිසිවෙක් සත්‍යය දැක දැකත් ඊට පිටු පාන්නේ නම් මරණයෙන් පසු අන්දයෙකු ලෙස නැගිටින බව මෙම කුර්ආන් වැකියෙන් පවසා තිබේ. "කවරෙක් මාගේ උපදේශය ඉවතලීම් කරයිද නියතව ඔහුට දුෂ්කර ජිවිතයක් ඇත. තවද අපි ඔහුව එලෝ දිනයෙහි අන්ධයෙකු ලෙස නැගිට්ටුවන්නෙමු. (එම දිනයේදී ඔවුන් මෙසේ පවසනු ඇත) මාගේ 'රබ්'! පෙනීම ඇත්තෙකුව සිටි මාව නුඹ, අන්ධයෙකු ලෙස නැගිට්ටෙව්වේ මන්දැ'යි අසන්නේය. (එවිට) කවරෙක් සීමාව ඉක්මවා, තම 'රබ්'ගේ වැකි විශ්වාස නොකළේද, ඔහුට අපි මේ අන්දමටම කුලිය ලබා දෙන්නෙමු'යි පවසනු ඇත. එලොවෙහි දඬුවම වඩාත් දැඩිද, ස්ථිරද වේ" (කුරානය 20:124-127).

මුස්ලිම්වරයෙකු අල්ලාහ්ව විශ්වාස කල පමණින් පරීක්ෂාවන්ගෙන් තොර ජිවිතයක් ලැබෙන්නේ නැත. නබිවරුන් පවා නොයෙකුත් අන්දමේ පරීක්ෂාවන්ට මුහුණ පා තිබේ. ඒ අනුව ලෞකික ජීවිතය ජය ගත හැක්කේ අල්ලාහ් කෙරෙහි විශ්වාසයෙන් යුතුව තමන්ට එන පරීක්ෂාවන් සඳහා ඉවසීමෙන් කටයුතු කිරීමෙන් පමණි. මෙම කරුණ පහත දැක්වෙන කුරආන් වැකියෙන් පවසා තිබේ.

"(විස්වාසවන්තයෙනි!) ඔබට පෙර ජිවත් වූ අය මුහුණ දුන් (දුෂ්කර) තත්වයන් ට ඔබද මුහුණ නොදී ස්වර්ගයට ඇතුළු වීමට හැකි වෙතැයි ඔබ සිතන්නෙහිද? ඔවුන් කුසගින්නෙන් සහ ලෙඩදුක් වලින් වේලි සිටියදී (ඔවුන් පසුතැවිලි වී තමන්ගේ අමාරුකම් වලින් මිදීමට) 'අල්ලාහ්ගේ පිහිට කවදා (ලැබෙන්නේද? කවදා ලැබෙන්නේද?)' කීමට තරම් (දුක් කම්කටොළු වලින් පෙළුය) "දැන ගනු! ඇත්තෙන්ම අල්ලාහ්ගේ පිහිට ඉතාමත් සමීපව ඇත්තේයැ"යි (අප කියන තුරු ඔවුහු ඉතාමත් කම්පිත වුය)" (කුරානය 2:214).

මේ නිසා ඉස්ලාම් දහම වැළඳ ගන්නා ඕනෑම කෙනෙක් නොයෙකුත් පරීක්ෂාවන්ට මුහුණ දීමට සුදානම් විය යුතුය. එම පරීක්ෂාවන් හි අවසානය ස්වර්ගය වේ. 

සමහරුන් තම දැතින් කරන වැරදි නිසා ද නොයෙකුත් පරීක්ෂාවන්ට මුහුණ දෙන්නේය. ඔවුන් කරන වැරදි වලට මෙලොවදී පමණක් නොව මරණයෙන් පසුද ඔවුන් වග කිව යුතුය. උදාහරණයක් ලෙස මිනිසා විසින් කරනු ලබන යුද්ධ පෙන්වා දිය හැකිය. 

"මිනිසුන්ගේ අත් උපයාගත් දේ හේතුවෙන් ගොඩබිමෙහිද මුහුදෙහිද කළහ ඇතිවී තිබේ. ඔවුන් (පාපයෙන්) ආපසු හැරීම සඳහා ඔවුන් කළ දේහි සමහරක්ව ඔවුන්ට විඳීමට සැලැස්වීම පිණිස (මේ අන්දමට සෝදිසි කරයි)" (කුරානය 30:41).

ඉස්ලාම් දහමේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි ඇති සෑම දෙයක්ම මිනිසාගේ යහපත වෙනුවෙන්ම පනවා තිබීමයි. එසේම ඒවා සෑම කෙනෙකුටම එකසේ ක්‍රියාවට නැංවිය හැකි වීම විශේෂත්වයකි. මේ නිසා ඉස්ලාම් දහම අනුව ජිවත් වීම ඕනෑම කෙනෙකුට ඉතා පහසු ය.

By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.




Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)