ඉස්ලාම් දහමින් නම් කොට ඇති මහා අකුසල් ක්‍රියාවන් වල විපාක මොනවාද? (What are the consequences of the great sins named in Islam?)

  

ඉස්ලාම් දහම අනුව මහා පාපයන් වන්නේ අල් කුරානයෙන් සහ මුහම්මද් නබි තුමා විසින් තහනම් කොට ඇති දේවල් ය. මේවා සහාබාවරුන්ගේ සහ ඔවුන්ගෙන් පසුව පැමිණි අයගේ ජිවිත ආදර්ශ තුලින් මැනවින් පිළිබිඹු කොට තිබේ. කෙසේ වෙතත් මහා පාපයන්ගෙන් වැලකී සිටියේ නම් කුඩා පාපයන්ට සමාව ලැබෙන්නේය. අල් කුරානයේ මෙසේ දැක්වේ. "නුඹලාට වලක්වනු ලැබූ දේවල් අතරින් මහා පාපයන්ගෙන් නුඹලා ඉවත් වන්නේ නම් අපි නුඹලාගේ (කුඩා) කුඩා පාපයන් මකා දමන අතර නුඹලාව ශ්‍රේෂ්ඨ තැනකට (ස්වර්ගයට) ඇතුලත් කරමු" (කුරානය 4:31). කුරානයේ තවත් තැනක වැරදීමෙන් සිදුවන දේවල් හැර මහා පාපයන්ගෙන් වැලකී සිටින අයගේ පව් සමා කරන බව සඳහන් වන්නේය. 

මුස්ලිම්වරයෙකු අල්ලාහ්ට සමානයන් තැබීම මහා පාපයකි. ඒ අනුව අල්ලාහ්ට සමානයන් තබමින් සිටියදී ඔහු මිය ගියේ නම් ඔහුට ස්වර්ගය අහිමි වේ. එම නිසා නාමිකව මුස්ලිම්වරයෙකු වශයෙන් නොසිට අල්ලාහ් ගැන දැනගෙන ඔහුව නිවැරදි ලෙස විශ්වාස කිරීම අනිවාර්ය වේ. 

ඉස්ලාම් දහමින් මහා පාපයන් ලෙස බොහෝ දේවල් නම් කොට තිබේ. ඉන් කිහිපයක් මෙසේ දැක්විය හැකිය. මනුෂ්‍ය ඝාතන, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, සලාතය ඉටු නොකිරීම, හේතුවක් නොමැතිව උපවාසය නොකිරීම, සුදුසුකම් ඇති අය හජ් වන්දනය පැහැර හැරීම, දෙමව්පියන්ට අකීකරු වීම, ඥාතීන්ගෙන් තරහ වී වෙන්වීම, කාමය වරදවා හැසිරීම, සමලිංගික ඇසුර, පොලිය, අනාථ ළමයින්ගේ වස්තුව අයුතු ලෙස අත් පත් කර ගැනීම, උඩඟු කම, බොරු සාක්ෂි දීම, සුරාව, සුදුව, අහිංසක ස්ත්‍රීන් ගැන අපවාද නැගීම, සොරකම, හිංසා කිරීම, අයුතු ලාබ ලැබීම, සියදිවි හානිකරගැනීම, අල්ලස් දීම සහ අල්ලස් ගැනීම, ශාප කිරීම, ගිවිසුම් කඩ කිරීම ආදිය වේ. මෙවැනි වැරදි වලින් වැලකී සිටින විට කෙනෙකුගෙන් සිදු වන සුළු වැරදි වලට අල්ලාහ්ගේ කරුණා මහියෙන් සමාව ලැබෙන්නේය. 

බොහෝ මුස්ලිම්වරුන් මෙහි සඳහන් කල වැරදි වලින් බොහොමයක්ම සිදු නොකලත් සලාතය නිසි ලෙස ඉටු කිරීමෙහි අලස කමක් දක්වන්නේය. ඊට හේතුව ඔවුන් එය පවක් ලෙස නොදැකීම විය හැකිය. එහෙත් නබිතුමා පැවසූ හැදීසයක මෙසේ දැක්වේ. "අපටත් ඔවුන්ටත් (මුමීන් වරුන්ටත්) අතර ඇති ගිවිසුම සලාතය යි. ඒ අනුව යම් කෙනෙක් එය පැහැර හරින්නේ නම් ඔහු කාෆිර් වරයෙකු වේ" (අහ්මද්, ඉබ්නු මාජා, අබු දාවුද්, නසායි, තිර්මිසි). ස්වර්ගවාසින් නිරා වැසියන් දෙස බලා මෙසේ ප්‍රශ්න කරන බව කුරානයේ සඳහන් කොට ඇත. "නුඹලාව නිරයට ඇතුල්කල දෙය කුමක්දැයි ප්‍රශ්න කරන්නෝය" (කුරානය 74:40) එවිට පිළිතුරු වශයෙන්, "අපි සලාතය ස්ථාපනය කරන්නන් අතර නොසියෙමු"යි පිළිතුරු දෙන බව කුරානයේ සඳහන් වේ (කුරානය 74:43). කෙසේ වෙතත්, මහා පාපයන්ගෙන් වැලකී සිටින මුස්ලිමරයෙකු ඉටුකරන සලාතය මගින්ද ඔහු කරන උපවාසය මගින්ද ඔහු දෙන සකාත් මගින්ද ඔහු ඉටුකරන හජ් නිසා ද ඔහුගේ සුළු පව් වලට සමාව ලැබෙන්නේය. එසේ තිබියදී තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව  කරන වැරදි වලට දෛනිකව සමාව අයැදීම නබිතුමාගේ සුන්නාවකි. නබිතුමා ද දෛනිකව සිය වතාවක් අල්ලාහ්ගෙන් සමාව අයැද තිබේ. 

යම් කෙනෙක් මහා පාපයක් සිදු කොට තිබුනේ නම් ඒ සඳහා පසුතැවිලි විය යුතු අතර එය සඳහන් කරමින් අල්ලාහ්ගෙන් සමාව අයැදිය යුතුය. එසේම මුස්ලිම්වරයෙකු යම් පුද්ගලයෙකුට අපරාදයක් හෝ වැරැද්දක් කර තිබුනේ නම් හැකි සැම අවස්ථාවකදීම ඔහුගෙන් සමාව ගැනීමට වග බලා ගත යුතුය. යම් විදියකින් ඊට අවස්තාවක් නොලැබෙන්නේ නම් ඒ ගැන සිතා වැඩි වැඩියෙන් කුසල් කිරීම ප්‍රයෝජනවත් වේ. 

යම් කෙනෙක් සමාව නොගෙන නිරන්තරයෙන්ම වැරදි කරන්නේ නම් ඔහුගේ හදවත දැඩි වන බව ඉස්ලාමිය විද්වතුන් පෙන්වා දෙන්නේය. එහි ප්‍රතිපලයක් ලෙස කෙනෙක් ඉස්ලාම් දහමින් බැහැර වීමටද පිළිවන. එය මිනිසා ලබන විශාල පාඩුවකි. 


By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.



Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)