ඉස්ලාම් දහම අනුව අකුසල් ක්‍රියාවන්හි ප්‍රතිවිපාක (Consequences of evil deeds in Islam)

  

ඉස්ලාම් දහම පවසන ආකාරයට හදවතෙහි ආලෝක අධ්‍යත්මික දැනුම වේ. අධ්‍යාත්මික දැනුමේ උල්පත අල් කුරානය යි. එබැවින් කුරානය තේරුම් ගන්නා තරමට කෙනෙකුගේ හදවත ආලෝකවත් වේ. කෙසේ වෙතත් අකුසල් ක්‍රියාවන් නිසා කෙනෙකුගේ හදවත අඳුරු වන්නේය. ඒ අනුව යම් කෙනෙක් නිරන්තරයෙන්ම අකුසල් ක්‍රියාවන්හි නිරත වුයේ නම් කුරානයට අනුව ඔහුගේ හදවත අධ්‍යාත්මික මල බැඳීමකට පත්වේ. 

"ඔවුන් කරමින් සිටි දේවල් ඔවුන්ගේ හදවත් මත මලබැඳිමක් ලෙස පතිත විය" (කුරානය 83:14).

කෙනෙකුගේ හදවත අඳුරු වූ විට ඔහුට හොඳ දේවල් පෙනෙන්නේ නැත. එවිට ඔහු තව තවත් අකුසල්ම කරන්නේය. එවැනි අයට මරණයෙන් පසු තමාව මවා පෝෂණය කල දෙවියන්ව දැක බලා ගැනීමට වාසනාව ලැබෙන්නේ නැත. 

"එසේ නොව, ඔවුහු එම දිනයෙහි තමන්ව මවා පෝෂණය කල දෙවියන්ව (බැලීම) කෙරෙන් නියත වශයෙන්ම වලක්වනු ලබන්නෝය" (කුරානය 83:15). 

මෙය ඉතාමත් අභාග්‍යසම්පන දෙයකි. ඔවුන්ට අයත් වන්නේ නිරය බව කුරානය පවසයි. 

මෙවැනි තත්වයක් ඇති වීමට ප්‍රධාන හේතුව කෙනෙකුගේ අධ්‍යාත්මික මනස අඳුරු වීමය. මේ නිසා කුසල් කිරීමට ඇති ආශාව නැතිවී යන්නේය. ඔහු අල්ලාහ්ගෙන් ඈත් වීමට එය හේතුවක් වේ. මෙය විෂම චක්‍රයක් ලෙස ක්‍රියා කරමින් තව තවත් වැරදි කිරීමටත් වැරදි කිරීම නිසා දෙවියන්ගෙන් ඇත්විමත් සිදු වේ. අවසානයේදී ඔවුන් සාතන්ගේ ගොදුරක් බවට පත් වෙති.

සාතන්ගේ එකම අරමුණ ආදම්ගේ දරුවන් ස්වර්ගයට යාමෙන් වලක්වා ලීම වේ. සාතන්ගේ උගුලට හසු වූ පසු සලාතය ඉටු කිරීමට අලස කමක් දක්වන්නේය. ඉන් පසු ක්‍රමක් ක්‍රමයෙන් එය අත්හැර දමන්නේය. කෙනෙක් තම සලාතය අත්හැරිය පසු, ඔහුටත් අල්ලාහ්ටත් ඇති සම්බන්දය සිඳී යන්නේය. එවිට ඔහු අල්ලාහ්ට සමානයන් ඇති කිරීමටත් ඉස්ලාමයේ උගන්වා නැති දේවල් දහම ලෙස පිලි ගැනීමටත් පසු බට වන්නේ නැත. එම තත්වය උදා වූ පසු ඔහු නාම මාත්‍රික මුස්ලිම් වරයෙකු බවට පත් වී හමාරය.

කෙනෙක් දහමින් ඈත්වූ පසු ඔහු අල්ලාහ්ගේ ආශීර්වාද වලින් දුරස් වන්නේය. එවැනි කෙනෙකුගේ මනස කිසි විටක සෑහීමට පත් වන්නේ නැත. එපමනක් නොව නබිතුමාගේ හදිසයකට අනුව අකුසල් කරන තැනැත්තාට ලැබිය යුතු ප්‍රතිපාදන (provisions) අඩු වන්නේය. එහි ප්‍රතිපලයක් ලෙස ඔහු කොපමණ හම්බ කලත් තම අවශ්‍යතා ඉටු කර ගැනීමට එය ප්‍රමාණවත් වන්නේ නැත. මේ නිසා ඔහුට මුළු ජිවිතය කාලයම ලෞකික ජීවිතය වෙනුවෙන් කැප කිරීමට සිදු වේ.

ලෞකික ජීවිතය කෙනෙකුගේ එකම අරමුණ වූ පසු ඔහුට සලාතය ඉටු කිරීමට කාලයක් ලැබෙන්නේ නැත. එහෙත් සලාතය පැහැර හැරීම විශාල පාපයකි. එය ඉස්ලාම් දහමේ ප්‍රධාන කුළුනකි. එක් හදීසයක මෙසේ දැක්වේ. "අපටත් මුමීන් වරුන්ටත් අතර ඇති ගිවිසුම සලාතය යි. මේ නිසා යම් කෙනෙක් සලාතය පැහැර හරින්නේ නම් ඔහු කාෆිර් වරයෙකු වන්නේය" (අහ්මද්, ඉබ්නු මාජා, අබු දාවුද්, නසායි, තිර්මිසි). අල් කුරානයේ මෙසේ සඳහන් වේ. ස්වර්ගවාසින් නිරා වැසියන් දෙස බලා, "නුඹලාව නිරයට ඇතුල්කල දෙය කුමක්දැයි ප්‍රශ්න කරන්නෝය" (කුරානය 74:40) එවිට ඔවුන්, "අපි සලාතය ස්ථාපනය කරන්නන් අතර නොසියෙමු"යි පිළිතුරු දෙන්නෝය.(කුරානය 74:43).

මිනිසා මෙලොවට පැමිණ සිටින්නේ ඉතා කෙටි කාලයකටය. එබැවින් ඔහුගේ මුලික අරමුණ විය යුත්තේ මරණයෙන් පසුව ඇති ජීවිතය සාර්ථක කර ගැනීම ය. ඒ සඳහා අද ජිවත් වන ජනයාට මග පෙන්වීම සඳහා පහළ කරන ලද අවසාන දහම් පණිවිඩය අල් කුරානය වේ. එම නිසා කුරානය හැදෑරීම සියලු දෙනාගේම වගකීමකි. එය කෙනෙකුගේ හදවත ආලෝකවත් කරන්නේය. 

By Fasy Ajward.B.Sc(Physics Special)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

ශුද්ධ වූ අල් කුර්ආනය (The Norble Quran)

කුරානය දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් වන්නේ ඇයි? (Why is the Quran a message from God?)