වෙනත් ආගම් කෙරෙහි ඉස්ලාමීය ආකල්පය (Islamic viewpoint about other religions)


ඉස්ලාම් දහමේ මුලික සංකල්පය දෙවියන්ගේ ඒකීයත්වය සිතින් පිළිගෙන මුවින් ප්‍රකාශකොට ක්‍රියාවෙන් පෙන්වීමය. එබැවින් කිසිවෙකුට බලහත්කාරයෙන් දෙවියන් පිලිබඳ විශ්වාසය ඇතුලත් කළ නොහැකිය. එම විශ්වාසය ස්වෙජ්ජාවෙන්ම ඇති විය යුත්තකි. එසේ තිබියදී අල්-කුරානයේ ඉගැන්වීම අනුව කිසිම මුස්ලිම්වරයෙකු වෙනත් ආගමකට නිගා නොකළ යුතුය. ඒ බව පහත දැක්වෙන කුර්ආන් වැකියේ සඳහන් වේ.

“අල්ලාහ් වෙනුවට ඔවුන් නමදින දේවල්වලට නිගා නොකරනු. ඇයිද යත් එසේ කළ විට ඔවුන් නොදැනුවත් කමින් අල්ලාහ්ට නිග්‍රහ කරනු ඇත...” (කුරානය 6:108).

තවද ඉස්ලාම් දහම කෙරෙහි ගොතනලද බොහෝ වැරදි මත බහුලව පැතිර පවතින මෙවන් යුගයක බොහෝ අය සිතාගෙන ඇත්තේ ඉස්ලාම් දහම ආක්‍රමණශීලි ප්‍රතිපක්තියක් අනුගමනය කරන බවයි. එහෙත් එම මතය සහමුලින්ම වැරදිය. ඇතැම් අය ප්‍රචාරය කරන පරිදි ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත වූ දහමක් ද නොවේ.  

ඉස්ලාම් දහමේ ප්‍රධාන අරමුණ විශ්වය මවා රක්ෂණය කරන්නාවූ දෙවියන්ගේ ආධිපත්‍ය පිළිගෙන ඔහුට යටත්ව ක්‍රියා කිරීමය. එබැවින් ඉස්ලාම් දහම පිළිගැනීමෙන් එය පිළිගත් තැනැත්තාට ප්‍රයෝජනයක් වනවා මිස එමගින් දෙවියන්ට කිසිම වාසියක්  අත් වන්නේ නැත. 

ඉස්ලාම් දහම පිළිපදින ලෙස කිසිවෙකුට බලකිරීමක් නැත. එසේ කරන්නේ නම් මුලින්ම එය කළ යුතුව තිබුනේ එතුමාගේ පියාගේ සහෝදරයෙකු වන අබු තාලිබ් තුමාටය. එතුමා  අනත දරුවෙකු වූ නබිතුමාවව ඉතා ආදරයෙන් හදා වඩා ගත්තත් අවසාන හුස්ම හෙලන තුරුම ඉස්ලාම් දහම වැළඳ ගත්තේ නැත. නබිතුමා සෑම අවස්ථාවකදීම එතුමාගෙන් ඉස්ලාම් දහම පිළිගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටියා මිස කිසිම අවස්ථාවකදී දහමට බැඳෙන ලෙස බලපෑම් සිදු කොට නැත. 

ඉස්ලාම් දහමින් මිනිසාට නිවැරදි මාර්ගය කියා දෙන අතර කැමති අයට පමණක් එය පිළිගත හැකිය. එහි උගන්වා ඇති සත්‍යට පිටුපාන්නේ නම් ඊට මුහුණ දීමටත් සුදානම් විය යුතුය. ඇයිද යත් ඉස්ලාම් දහම පහළ කොට ඇත්තේ ලෝකය මවා පාලනය කරන්නාවූ දෙවියන් බැවිනි. 

කෙසේවෙතත් අනෙකුත් ආගම් මෙන්ම ඉස්ලාම් ආගමද මිනිසුන් අතර ප්‍රචාරය කළ යුතුය. එහෙත් එය පිළිගන්නා මෙන් බල කිරීමක් සිදු කළ නොහැකිය. එබැවින් එම දහම පිළිගැනීම හෝ පිළිනොගෙන සිටීම තීරණය කළ යුත්තේ ඒ සඳහා ආරාධනය ලැබූ තැනැත්තා විසින්ය. අනෙක් අතට කිසිම අවස්ථාවක  මුදල් ලබා දීමෙන් හෝ බලකිරීමෙන් ඉස්ලාම් දහමට බඳවා ගන්නේ නැත. ඉස්ලාම් දහම තුල බලහත්කාරය නොමැති බව පහත සඳහන් පරිදි දැකිය හැකිය.  

“දහම තුල කිසිම බල කිරීමක් නැත. එහෙත් වැරදි මාර්ගයෙන් නිවැරදි මාර්ගය පැහැදිලි කොට ඇත...” (කුරානය 2:256).

මේ නිසා මුස්ලිම්වරයෙකු විසින් වෙනත් ආගමක් විවේචනය කිරීම බලවත් වරදකි. එහෙත් දැනුම ඇති අයට පමණක් බුද්ධිමත්ව දහම පිලිබඳ සංවාද සිදු කල හැකිය. එවැනි සංවාදයකින් ප්‍රතිඵලයක් නොලැබෙන බව පැහැදිලි වුයේ නම් ඔවුන්ගේ ආගම ඔවුන්ට ඇදහීමට ඉඩ හරිමින් තමන්ගේ දහම තමන් පිළිපැදිය යුතුය. ඒ බව පහත දැක්වෙන කුර්ආන් වැකිවලින් විස්තර කොට ඇත.  

“නුඹලා නැමදුම් කරන දෑට මම නැමදුම් නොකරන්නෙමි. තවද, මා නැමදුම් කරන්නාව නුඹලා නමදින්නෝ ද  නොවෙති” (කුරානය 110:3,4).

“නුඹලාට නුඹේ දර්මය, මට මාගේ ධර්මය” (කුරානය 110:6).

ඉහත සඳහන් කරුණු අනුව තම තමන්ගේ දහම අනුව ජිවත්වීම කුරානය පෙන්වා දී ඇති මග පෙන්වීමක් වන්නේය. මෙය වඩාත්ම පැහැදිලිවන්නේ නබිතුමාගේ කාලයේදී කිතුනු සහ යුදෙව් ජාතිකයින් කිසිම බාදාවකින් තොරව මුස්ලිම්වරුන් සමග එකට ජිවත් වීම නිසාය. 

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)