ඉස්ලාමයට අනුව ආගමික යුද්ධ ඇතිවන්නේ ඇයි? (Why do religious wars occur according to Islam?)



ආගමක මුලික අවශ්‍යතාවය වන්නේ මිනිසාට තම මැවුම්කරු පෙන්වා දී තිබෙන යහ මග අත්කර ගැනීම සඳහා වන නිවැරදි මාර්ගය පෙන්වා දීමය. එසේ නම් ආගමික යුද්ධ ඇති වන්නේ මක් නිසාදැයි කෙනෙකුට සිතෙනු ඇත. ලෝකයේ ජිවත්වන සෑම කෙනෙකුම දෙවියන් පෙන්වා දී ඇති යහ මාර්ගය අනුගමනය කරන්නේ නම් එවැනි සිතුවිල්ලක් සාධාරණය. මිනිසුන් අතර විවිධ අදහස් දරන පුද්ගලයින් සිටින්නේය. ඇතැමුන් ආගමට ලැදිව ජිවත් වෙති. තවත් සමහරුන් ආගමට එරෙහිව ජිවත් වෙති. එවැනි අවස්ථාවලදී නිරන්තර සාමයක් ඇති කිරීම සඳහා ඇතැම් විට වැරදි කරන අයට විරුද්ධව යුද්ධ කිරීම අනිවාර්ය වේ. එසේ නොකර සිටීම කුහක කමකි. මේ නිසා ආගමක් අංග සම්පුර්ණ වීමට නම් යුධය සඳහා අවසර තිබිය යුතුය. එසේ නොවුයේ නම් සතුරා පහර දෙන විට ඊට නිසි පිළිතුරු ලබා දීම කෙසේ වෙතත් ඔවුන්ට යටත් වීමට සිදු වේ. එසේ වූ කල දුෂිතයින් අතට ලෝකය පත් වනු ඇත. 

ඉස්ලාම් දහම පහළ වූ මුල් කාලයේදී යුද්ධ කිරීම සඳහා අවසර තිබුනේ නැත.  මේ නිසා ඉස්ලාම් දහම වැළඳගත් නබිතුමාගේ අනුගාමිකයින් මුල් අවදියේදී සතුරන්ගේ වද හිංසාවන් ඉවසා දරා ගත්හ. ඇතැම් සහාබාවරුන් සතුරා අතින් ඝාතනයට ලක් විය. එසේ තිබියදීත් යුද්ධය සඳහා අවසර තිබුනේ නැත. මේ හේතුවෙන් ඇතැම් සහාබාවරුන් ඉතියෝපියාවට හිජ්රත් ගමන ගියෝය. තවත් අවස්ථාවකදී නබිතුමාද ඇතුළුව බොහෝ සහාබවරුන් මදිනා නගරයට හිජ්රත් ගියෝය.

ඉස්ලාම් දහමේ ආරම්භක වසර දහතුනේදීම මුස්ලිවරු සතුරාගේ කෘෘර වදහිංසා ඉදිරියේ ආයුධ අතට ගත්තේ නැත. කෙසේ වෙතත් ඉවසීමේ සීමාව ඉක්මවා යන විට යුද්ධය  සඳහා අවසර ලබා දෙමින් මුල්ම කුර්ආන් වැකිය මදිනා නගරයේදී පහළ විය. ඉන්පසු දහමට එරෙහිව නැගී සිටි සතුරාට එරෙහිව බොහෝ සටන් සිදු වී තිබේ. කෙසේ වෙතත් යුද්ධයකදී පිළිපැදිය යුතු නීති රීති කවරේදැයි පෙන්වා දීමට ඉස්ලාම් දහම අමතක කොට නැත. 

මේ හේතුවන් ඉස්ලාමිය යුද්ධයකදී සහ ඉස්ලාම් නොවන යුද්ධයකදී බොහෝ වෙනස්කම් දැකිය හැකිය. ඉස්ලාමිය යුද්ධයකදී වයෝවුද්ධ අය, කාන්තාවන්, ළමුන්, යුද්ධයට සම්බන්ද නොවන අය ඝාතනය කිරීම සපුරා තහනම් ය. තවද යුද්ධයේදී අල්ලාගන්නා සිරකරුවන්ට වඳ හිංසා නොකළ යුතුය. තවද ආගමික සිද්ධස්ථාන, පාසල් පොදු නිවාස කඩා නොදැමිය යුතුය. එස්ම ගස්කොලන් විනාශ නොකළ යුතුය. එපමනක් නොව සිරකරුවන්ට කඳවුරුවලදී සැලකිය යුතු අන්දම පවා ඉස්ලාම් දහමින් පෙන්වා දී තිබේ. ඒ අනුව අවශ්‍යතාවයක් ඇතොත් සිරකරුවන්ට වන්දියක් ගෙවා නිදහස ලබා ගැනීමට පවා ඉඩ සලසා දී තිබේ. 

යුද්ධ කිරීම සඳහා අවසර ලබා දී ඇති කුර්ආන් වැකිය මෙසේය. “අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබට විරුද්ධව සටන් කරන්නන් සමග සටන් කරනු, නමුත් ඔබ සීමාව ඉක්මවා නොයනු; මන්දයත් අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ප්‍රිය නොකරන්නේය. එබැවින් (ඔබට විරුද්ධව යුද්ධ කිරීමට ඉදිරිපත් වූ) ඔවුන් දුටු තැන කපා දමනු, ඔබ (ඔබගේ රටින්) ඔවුන් විසින් පිටමන් කරන්නෝද ඔබද ඔවුන් එතැනින් පිටමන් කර දමනු; (ඔවුන් විසින් කරන) සමානයන් තැබීම ඝාතනයට වඩා නපුරුය. නමුත් (ඔවුන්ගෙන්) යම් කෙනෙකු (ආරක්‍ෂාව පතා) මජිදුල් හරාම් නමැති නැවතුම්පලෙහි සිටියහොත් එහිදී ඔවුන් ඔබ සමග යුද්ධ කිරීමට ඉදිරිපත් වුවහොත් ඔබද ඔවුන් කපා දමනු. ප්‍රතික්‍ෂේප කරන්නන්ට අයිති පල විපාක මෙයයි. (මෙයට) පසුව ද ඔවුන් (ඔබට විරුද්ධව යුද්ධ නොකර) ඉවත් වුවහොත් (ඔබ ඔවුන්ව නොකපනු) ඇත්තෙන්ම අල්ලාහ් ඉතාමත් පව් ක්‍ෂමා කරන්නෙකු හැටියටත් ඉතාමත් කරුනාවන්තයෙකු හැටියටත් සිටින්නේය. තවද (ඉස්ලාම් දහමට විරුද්ධව කරන) සමානයන් තබා නැමදීමෙන් වැලකි පුස්තකය අල්ලාහ්ට අයිති යැයි ස්ථිර කරනතෙක් ඔවුන් සමග යුද්ධ කරනු. නමුත් ඔවුන් වැලකුනහොත් ඔවුන්ගෙන් අපරාධකරුවන් හැර (අන් අයට වද හිංසා කර) සීමාව ඉක්මවා නොයනු” (කුරානය 2:190-193).

යුද්ධයකදී ක්‍රියා කරන පිළිවෙලත් එදිනෙදා ජීවිතයේදී ක්‍රියා කරන පිළිවෙලත් සම්පුර්ණයෙන්ම වෙනස්ය. ඒ අනුව ඉහත දැක්වෙන්නේ යුද්ධයකදී ක්‍රියා කල යුතු අන්දමයි. එහෙත් ඇතැම් උදවිය එය සන්දර්බයෙන් පිට විස්තර කරමින් ජනතාව අතර වැරදි අවබෝදයක් ඇති කිරීම පිණිස උපයෝගී කර ගන්නේය. එය ඔවුන්ගේ මුග්ධ කම මිස වෙන දෙයක් නොවේ. 

ඉස්ලාම් දහම සාමය අගයන්නේය. එහෙත් වැරැද්දක් දුටු විට එය බලා සිටීම අනුමත කරන්නේද නැත. ඒ අනුව වැරැද්දක් දුටු විට එය අතින් වැළැක්වීමට හැකි නම් එසේ කල යුතුය. ඊට ශක්තිය නැති නම් මුවින් ඊට විරුද්ධව කතා කල යුතුය. එයත් කල නොහැකි නම් එම වැරැද්ද පිළිකුලෙන් හෙලා දැකිය යුතුය. එය මුස්ලිම්වරයෙකුගෙන් බලාපොරොත්තු වන අවමය වේ. 


By Fasy Ajward B.Sc(PhysicsSp)Hons,Japura.
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path





Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)