දහම ප්‍රචාරය කිරීමෙහිලා මුස්ලිම්වරුන්ගේ වගකීම් (Responsibilities of Muslims in Propagation of Religion)
පුජක පක්ෂයක් නැති එකම ආගම ඉස්ලාම් වේ. මේ නිසා මුහම්මද් නබිතුමාගේ අභාවයෙන් පසු ඉස්ලාම් දහම රැක ගැනීම සහ ප්‍රචාරය කිරීමේ වගකීම මුස්ලිම්වරුන් සියලු දෙනා වෙත අඩු වැඩියෙන් පැවරෙන්නේය. විශේෂයෙන්ම එය ආගමික විද්වතුන්ගේ වගකීමකි.
ඉස්ලාම් දහමේ බොහෝ දේවල් ක්‍රියාවත් සමග බැඳී පවතින්නේය. මේ නිසා මුස්ලිම්වරයෙකුගේ ක්‍රියා කලාපය පවා දහම ප්‍රචාරය කිරීම සඳහා වැදගත් වේ. ඒ අනුව මුස්ලිම්වරයෙකුගේ කතා බහ, ගනුදෙනු, සමාජ ක්‍රියා කලාපයන්, අසල්වැසි සම්බන්දයන් යන සියල්ලම දහම ගැන ප්‍රචාරය කිරීමේ මාධ්‍යක් ලෙස භාවිතා කල හැකිය.
සමස්තයක් ලෙස ගත් කල ඉස්ලාම් දහම, මුස්ලිම්වරුන්ගෙන් බලාපොරොත්තු වන්නේ අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගෙන ඔහුගේ කැමැත්ත අනුව ජිවත් වීමයි. ඒ අනුව සෑම මුස්ලිම්වරයෙකුම අල්ලාහ් නියෝග කොට ඇති සලාතය නිසි ලෙස ඉටු කල යුතුය. ධනවතුන් විසින් වසරක් පාසා ඔවුන්ට නියමිත සකාත් ඒවා ලැබීමට නියමිත අය වෙනුවෙන් ලබා දිය යුතුය. සෑම වසරකම රමළාන් මාසයේදී උපවාස කල යුතුය, තවද හැකියාව තිබෙන අය විසින් හජ් වන්දනය ඉටු කල යුතුය. මේවා සිදු කරමින් නබිතුමා පෙන්වා දෙන ලද මාර්ගයේ ගමන් කිරීමට සෑම උත්සාහයක්ම ගත යුතු ය. එය ස්වර්ගයට යන මාර්ගය වේ. කෙසේ වෙතත් ජන සමාජයක් තමන්ගේ තත්වය වෙනස්කර ගන්නා තුරු දෙවියන් ඔවුන්ව වෙනස් කරන්නේ නැත. මේ නිසා දෙවියන්ගේ ආශීර්වාදය ලැබීමට නම් එක් එක් පුද්ගලයා තමන්ව නිවැරදි කර ගැනීමට වග බලා කළ යුතු වේ. ඒ සම්බන්දයෙන් අල් කුරානය මෙසේ සඳහන් කරයි, "කවර සමාජයක් වුවද තමන් සතුව ඇති දෙය වෙනස් කරගන්නා තෙක් නියතව අල්ලාහ් ඔවුන් හමුවෙහි ඇති දෙය වෙනස් නොකරන්නේය" (කුරානය 13:11).
ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීම සම්බන්දයෙන් අල් කුරානය මෙසේ පවසන්නේය. "මිනිසුන් අතරින් තෝරාගන්නා ලද ශ්‍රේෂ්ඨ සමුහයා නුඹලාය. නුඹලා නිවැරදි දේ උපදෙස් දෙන අතර වැරදි දෙයින් වලක්වන්නේහුය..." (කුරානය 3:110). කුරානයේ තවත් තැනක මෙසේ පවසා ඇත. "විශ්වාසවන්තයින් වන පිරිමින්ද ගැහැණුන්ද ඔවුන්ගෙන් සමහරු අනෙක් අයට පිහිට වෙති. තවද ඔවුන් යහපත් දේ අණ කරති. අයහපත් දෙයින් වළක්වති. සලාතය ස්ථාපනය කොට සකාතයද දෙති. තවද අල්ලාහ්ටද ඔහුගේ දුතයාටද අවනත වෙති" (කුරානය 9:71). මෙම වගකීම් ඉටු කරන තාක් කල් මුස්ලිම්වරුන් අල්ලාහ්ගේ නියෝග පිළිපදින අය බවට පත් වන්නෝය. ඒ අනුව මුහම්මද් නබිතුමාගේ අභාවයෙන් පසු එතුමාගේ අනුගාමිකයින් විසින් ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීම සඳහා කැප වුහ. විශේෂයෙන්ම නබිතුමාගේ අභාවයෙන් පසු පත් වුනු කලීෆා වරුන් වන අබු බක්කර්, උමර් ඉබ්නු කත්තාබ්, උස්මාන් ඉබ්නු අෆ්ඵාන් සහ අලි ඉබ්නු අබු තාලිබ් යන අය විසින් ඉස්ලාම් දහමේ උන්නතිය වෙනුවෙන් භාර දුර කටයුත්තක් ඉටු කර තිබේ.
අද වන විට ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීමේ වගකීම බොහෝ කණ්ඩායම් විසින් ඉටු කරනු ලැබේ. විශේෂයෙන්ම ඉස්ලාම් දහම අලුතින් වැළඳ ගත් යුරෝපීයයන් විසින් එය සාර්ථකව ඉටු කරනු දැකිය හැකිය. මේ නිසා ඇමෙරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ජපානය වැනි රටවල්වල ඉස්ලාම් දහම ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.
අල් කුරානය මුළු මහත් මිනිස් වර්ගයා වෙනුවෙන්ම පහළ කරන ලද්දකි. තවද මුහම්මද් නබිතුමා මිනිස්වර්ගයා වෙනුවෙන් පැමිණ තිබේ. ඒ අනුව ඉස්ලාම් දහම මුළු මහත් මිනිස් වර්ගයාටම අයත් වේ. ඉස්ලාම් යනු අල්ලාහ්ගේ කැමැත්ත අනුව ජිවත් වීමයි. ඒ අනුව සෑම කෙනෙක්ම අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් මුහම්මද් නබි තුමා පෙන්වා දී ඇති මාර්ගයේ ගමන් කල යුතුය.
ලෞකික ජිවිතයේ පාඩුවක් ලබන්නේ කව්රුන්ද යන්න ඉතා මැනවින් මෙම කුර්ආන් පාඨය මගින් පෙන්වා දෙන්නේය.
“කාලය කෙරෙහි දිවුරා පවසමි! නියතව මිනිසා පාඩුවෙහිම සිටියි. (නමුත්) කවරහු (අල්ලාහ්ව) විශ්වාස කරන්නෝද, යහකම් කරන්නෝද, සත්‍යය මගින් එකිනෙකාට උපදෙස් කර ගන්නෝද, එකිනෙකා අතර ඉවසීම කෙරෙහි උපදෙස් කරගන්නෝද යන අය හැරය”.
මෙම කුර්ආන් වැකියේ සාරාංශය වන්නේද තමන් යහකම් කරන අතරම එය අනෙක් අය සමග බෙදා හදා ගැනීම වේ.
Fasy Ajward, B.Sc(Sp.Phy)Hons.Japura.
Comments
Post a Comment