ඉස්ලාම්, ආදම් තුමා පටන් මුහම්මද්(ﷺ) තුමා දක්වා (Islam, from Adam to Muhammad (ﷺ))


ඉස්ලාම් ආගම ආරම්භ වන්නේ ආදම් තුමාට පහළ වූ අනපනත් වලින් ය. එය නිමා දකින්නේ මුහම්මද් නබි තුමා හට පහළ වූ කුරනයත් සමග ය. මෙම නබිවරුන් දෙදෙනා අතර කාල පරිජ්ජෙදය තුලදී සිය දහසකට වඩා වෙනත් නබිවරුන් මෙලොවට පැමිණියෝය. මේ සෑම නබිවරයෙකුම දේශනා කලේ අල්ලාහ් දෙවිඳුන්ගෙන් පහළ වූ ඉස්ලාම් දහමයි. එසේ තිබියදී මිනිසා විසින්ද ඇතැම් දර්ශන ඉදිරිපත් කොට ඒවා ඔවුන්ගේ ආගම ලෙස පිළිගෙන තිබේ. එහෙත් එවැනි දහමක් පිලිපැදීමෙන් මිනිසාට මිනිසාගේ මැවුම්කරු වන අල්ලාහ් වෙත ලඟා විය නොහැක.

මිනිසාව මැවූ අල්ලාහ් දෙවිඳුන් මිනිසාගේ සෑම උවමනාවක්ම ඉටු කරන අතර මිනිසාට යහ මග පෙන්වීම සඳහා ඉස්ලාම් දහම තෝරාගෙන තිබේ. තවද එම දහම දේශනා කිරීම සඳහා ඔහුගේ විශේෂ ධර්ම දුතයින් වන නබිවරුන්ව පත් කළේය. ඔවුන් හරහා යුගයටත් දේශයටත් සරිලන පරිදි දහම් මග පෙන්වා දෙන ලදී. මේ හේතුවෙන් නබිවරයාගෙන් නබිවරයාට දහමේ නීති වෙනස් විය. උදාහරණයක් ලෙස උපවාස කිරීමේ ක්‍රම මෙන්ම සකාත් ගෙවීමේ ප්‍රමාණයන් නබිවරයාගෙන් නබිවරයාට වෙනස් වේ. කෙසේ වෙතත් ආගමේ ප්‍රධාන හරය වන අකිදා හෙවත් විශ්වාසයන් සෑම විටම නොවෙනස්ව පවතී.  . 

එක් නබිවරයෙකුට පහළ වූ දහම් පණිවිඩය වලංගු වන්නේ තවත් නබිවරයෙකුගේ සම්ප්‍රාප්තිය දක්වා පමණි. එතැන් සිට ක්‍රියාත්මක වන්නේ අලුතින් පැමිණි නබිවරයාට පහළ වන ආගමේ නීති රීතින් වේ. මුහම්මද් නබි තුමාගෙන් පසු තවත් නබිවරයෙකු පැමිණෙන්නේ නැත. ඔහු නබිවරුන්ගේ අවසාන පුරුක වේ. මේ හේතුවෙන් අල් කුරානය මිනිස් වර්ගයා වෙනුවෙන් යහ මග පෙන්වීම සඳහා පහළ වූ අවසාන දහම් පණිවිඩය බවට පත් වේ. 

කුරානය අනෙක් දහම් පණිවිඩ වලින් වෙනස් වන්නේ එය ලෝකය පවතින තුරු වෙනස් නොවී ආරක්ෂා කිරීමේ වගකීම අල්ලාහ් ඔහු වෙතම පවරාගෙන ඇති නියාය. එහි ප්‍රතිපලයක් ලෙස කුරානය පහළ වී වසර එක්දහස් පන්සියයක් පමණ ගෙවී ගොස් ඇතත් එහි කිසිම වෙනසක් සිදුවී නැත. තවද එය  පහළ වූ අකාරයටම එහි මුල් භාෂාව වන අරාබි බසින්ම ආරක්ෂා කොට තිබේ. එහෙත් ඊට පෙර පහළ වූ සෑම ආගමක්ම ඒවා පහළ වූ මුල් භාෂාවෙන් දැකිය නොහැක. එසේම එම ආගම්වල බොහෝ වෙනස්කම් ද පරස්පරතාවයන්ද දැකිය හැකිය. 

කුරානය මෙතෙක් පහළ වූ දහම් පණිවිඩවලින් වෙනස් වන්නේ එහි සත්‍යතාව උරගා බැලීමට හැකි වීමයි. මේ නිසාම එය ගවේෂණය කොට බලන මෙන් කුරානයෙන්ම ආරාධනා කොට තිබේ. "ඔවුන් මෙම කුර්රානය පර්යේෂණය කර බැලිය යුතු නොවේද? නැතහොත් (ඔවුන්ගේ) හෘදයන් කෙරෙහි අගුලු දමා ඇත්තේද? ඇත්තෙන්ම කව්රුන් හට ඍජු මාර්‍ගය මෙය යැයි පැහැදිලි වූවායින් පසුව ඔවුන් ආපස්සට හැරී ගියෝද ඔවුන්ගේ වැරදි අදහස් සාතාන් විසින් පුළුල් කොට ඔවුන් හට ඒවා අලංකාරවත් කළේය. මන්ද යත් ඇත්තෙන්ම ඔවුන් අල්ලාහ් පහළ කල (මෙම පුස්තකය) පිළිකුල් කර "අපි සමහර කාරනාවන්හි ඔබවම අනුගමනය කරමු"යි පවසන නිසාය. ඔවුන්ගේ එම රහස් අල්ලාහ් හොඳින් දන්නේය" (කුරානය 47: 24-26). 

නවීන විද්‍යාවේ ආධාරයෙන් ද කුරානයේ සත්‍යතාව උරගා බැලිය හැකිය. උදාහරණයක් ලෙස විශ්වයේ ප්‍රසනරය ගැන කුරානය තුල සඳහන් වන්නේ හත්වන සිය වසේදීය. එහෙත් එම කරුණ නවීන විද්‍යාවෙන් සොයාගන්නේ විසිවන සිය වසේදීය. තවද මිනිස් කලලයේ විකසනය පිළිබඳව කුරානයේ සඳහන් වන දේවල් සනාථ වුයේ විසිවන සිය වසේදීය. එසේම සුර්යයා අචල වස්තුවක් ලෙස සලකන යුගයේදී එය ගමන්කරන බව කුරානයෙන් පෙන්වා දී තිබේ. මේ කරුණු වලින් පෙනී යන්නේ එය මිනිස් නිර්මාණයක් නොවන බවයි. මෙවැනි තත්වයක් වෙනත් කිසිම දහම් පණිවිඩයක් තුල දැකිය නොහැක.

ඉස්ලාම් දහමේ තවත් විශේෂත්වයක් වන්නේ එහි ඇති ඉගැන්වීම ලෝකයේ ඕනෑම තැනකදී ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම පිළිපැදීමට හැකි වීමය. තවද ඉස්ලාම් දහම තුල කුලබේද, වර්ණ බේද, උස්පහත් බේද කිසිවක් නැත. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුටම එක සමාන වරප්‍රසාද හිමි වේ. 

මුහම්මද් නබිතුමාගේ සම්ප්‍රාප්තියෙන් පසු එතුමාගේ නබිත්වය පිළිගැනීම ස්වර්ගය අපේක්ෂා කරන සියලු දෙනා හට අනිවාර්ය වේ. එසේම මුහම්මද් නබිතුමාගේ අනුගාමිකයින් හට මුහම්මද් නබි තුමාට පෙර ජීවත්වූ සියලුම නබිවරුන්ව විශ්වාස කිරීම අනිවාර්ය වේ. ඒ අනුව සෑම මුස්ලිම්වරයෙකුම කිතුනු දහම පහළ වූ ජේසු තුමා අල්ලාහ්ගේ වක්තෘ වරයෙකු බවත් තව්රාත් හෙවත් බෛබලයේ පැරණි ගිවිසුම පහළ වූ මුසා නබිතුමා අල්ලාහ්ගේ තවත් වක්තෘ වරයෙකු බවත් විශ්වාස කිරීම අනිවාර්ය වේ. එසේම ජේසු තුමාගේ අනුගාමිකයින් ද මුසා නබිතුමාගේ අනුගාමිකයින්ද මුහම්මද් නබිතුමව විශ්වාස කිරීමෙන් පමණක් ඔවුන්ගේ දේව විශ්වාසය සම්පුර්ණ වන්නේය. 

කුරානයට පෙර පහළ වූ සෑම දහම් පණිවිඩයකම මුහම්මද් නබිතුමාගේ පැමිණීම ගැන සඳහන් කොට ඇති බව කුරානය පවසයි. එසේම කුරානය මුළු මහත් මිනිස් වර්ගයා වෙනුවෙන් පහළ කරනු ලැබූ දහම් පණිවිඩය බව එහි සඳහන් කොට තිබේ. 

By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


Comments

Popular posts from this blog

සමලිංගිකත්වය පිළිබඳ ඉස්ලාමීය දැක්ම (Islamic view of homosexuality)

කුරානය දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් වන්නේ ඇයි? (Why is the Quran a message from God?)