මිනිස් ජිවිතයේ ආරම්භය සහ අවසානය (The beginning and the end of human life)


මිනිසාගේ මුල්ම ආරම්භය සිදු වන්නේ ආදම් තුමාව මැවීමත් සමග වේ.  මෙය බයිබලයේද අල්-කුරානයේද දෙවියන් පහළ කරන ලද අනෙක් දහම් පණිවිඩ වලද සඳහන් ය. ඒ ගැන අල් කුරානය මෙසේ පවසා තිබේ. "තවද නුඹගේ පරමාධිපති දේවදුතයින් හමුවෙහි, නියතව මම පොළොවෙහි (මිනිස්) පරම්පරාවක් ඇති කරන්නට යන්නෙමි'යි පැවසූ කල, අප නුඹගේ කිර්තිය ප්‍රසංසා කරමින්ද නුඹව සුවිසුද්ධ කරමින්ද සිටියදී, එහි කළහ ඇති කර, ලේ හලන්නන්ව මවන්නට යන්නෙහිදැයි පැවසුහ. (එවිට) ඔහු, 'නුඹලා නොදන්නා සියලු දෑ ගැන නියතව මම හොඳින් දනිමි'යි කීය" (කුරානය 2:30). ඉන් පසු අල්ලාහ් ආදම්තුමාව මැටියෙන් මවා ඔහුගේ ශරීරය තුලට මුල්ම ආත්මය ඇතුලත් කළේය. ආදම්තුමාගේ ඉල ඇටයකින් ඔහුගේ සහකාරිය මැව්වේය. අනතුරුව මිනිස් ආත්මයන් මවා ඒවා "ආලමේ අර්වාහ්" නොහොත් ආත්මීය ලෝකයේ තැබුවේය. මවක් පිළිසිඳ ගැනීමේදී ඊට නියම කොට ඇති දේවදුතයින් විසින් එහි ඇති ආත්මයක් රැගෙන විත් මවගේ කුස තුලට ඇතුලත් කරන්නේය. ඉන් පසු මිනිසා මරණයට පත්වන අවස්ථාවේදී නැවතත් එම ආත්මය  දෙවියන් පත්කොට ඇති දේවදුතයෙකු විසින් රැගෙන යන්නේය.

දෙවියන් මවා ඇති අනෙක් ජිවින් අතරින් මිනිසා වෙනස් ය. මිනිසාට හරි-වැරදි මාර්ග දෙකින් තමන්ට කැමති මාර්ගයක් තෝරා ගැනීමට නිදහස තිබේ. මෙවැනි වරප්‍රසාදයක් මිනිසාට වඩා ශ්‍රේෂ්ඨ දේවදුතයින්ට පවා නැත. මේ නිසා මිනිසාට දෙවියන් පෙන්වා දී ඇති මාර්ග දෙකින් තමන් කැමති මාර්ගයක් තෝරා ගැනීමට පිළිවන. කෙසේ වෙතත් මිනිසා තෝරාගන්නා මාර්ගය අනුව ස්වර්ගය හෝ නිරය තීරණය වේ.

මිනිසාගෙන් පසු ස්වයං තීරණ ගැනීමේ වරප්‍රසාදය ලැබෙන්නේ ගින්නෙන් මවා ඇති ජින් වරුන්ට වේ. මිනිසා හට වැරදි කිරීමට හැකියාව ලැබී තිබියදීත් වැරදි නොකර හරි මාර්ගය ඔහු තෝරා ගැනීම නිසා ඔහු ඇතැම් දේවදුතයින්ට වඩා උසස් වන්නේය. දේවදුතයින් උපන්දා සිට දෙවියන්ගේ නියෝග අනුව පමණක් කටයුතු කරන්නේය. ඔවුන් කිසිම අවස්ථාවකදී දෙවියන්ගේ නියෝග වලට පිටු පාන්නේ නැත. ඔවුන්ට එසේ කිරීමට  හැකියාවක්ද ලබා දී නැත. 

මිනිසාව සහ ජින්වරුන්ව මැවීමේ විශේෂ අරමුණක් තිබේ.  ඒ අනුව ඔවුන්ව මවා තිබෙන්නේ අල්ලාහ්ට නැමදීම සඳහා ය. ඒ බව අල්-කුරානයේ මෙසේ සඳහන් කොට ඇත. "ජින්වරුන්ව සහ මිනිසුන්ව මාව නැමදීමට මිස මැව්වේ නැත" (කුරානය 51:56). තවද, මිනිසාට ලොව ඇති සියලුම දේවල් වසඟ කොට දී තිබේ. එබැවින් මිනිසා ලොව ඇති සෑම දෙයකින්ම ප්‍රයෝජන ලබන්නේය. අල්ලාහ් මිනිසාට ලබා දී ඇති මෙම අසීමිත දායාදයන් සඳහා කොපමණ කෘත ගුණ සැලකුවත් එය ප්‍රමාණවත් වන්නේ නැත.

මිනිසාට ලෞකික ජීවිතය පරික්ෂාවකි. එබැවින් ලෞකික ජීවිතයේදී මිනිසා බොහෝ පරීක්ෂාවන්ට මුහුණ දිය යුතුය. කෙසේ වෙතත් ඒවායින් ජය ගැනීමට නම් නිවැරදි මාර්ගය දැනගෙන සිටීම වශ්‍යවේ. එය කියා දීමට මිනිසුන් අතරින්ම බොහෝ නබිවරුන් පැමිණ තිබේ. එසේ පැමිණි මුල්ම මිනිසා සහ නබිවරයා ආදම් තුමාය. ඔහුගේ පරම්පරාවෙන් අනෙක් නබිවරුන් සියලු දෙනාම පැමිණ තිබේ. ඔවුන් අතරින් අවසාන නබි වරයා නොහොත් වක්තෘවරයා මුහම්මද් නබි තුමාය. ආදම් තුමාටත් මුහම්මද් නබි තුමාටත් අතර සිය දහසකට වඩා තවත් නබිවරුන් මෙළොවට පැමිණ තිබේ. එම නබිවරුන්ගෙන් සමහරුන්ට ආගම් පුස්තකද සමහරුන්ට අණ පනත් ද පහළ කොට තිබේ. කුරානයේ ඉන් සතරක නම් සඳහන් වේ. ඒ අනුව මුසා නබිතුමාට තව්රාත් ආගම නොහොත් බයිබලයේ පැරණි ගිවිසුමත්, ජේසු තුමා නොහොත් මරියම් තුමියගේ පුත් ඊසා නබි තුමාට ඉන්ජ්ල් නොහොත් බයිබලයත්, දාවුද් නබිතුමාට සබුර් දහම් පණිවිඩයත්, මුහම්මද් නබි තුමාට කුරානයත් පහළ කොට තිබේ. අල් කුරානය එක් ජන කොට්ටාසයකට පමණක් අයත් නොවේ. ඒ බව මෙම කුර්ආන් වැකියෙන් පැහැදිලි වේ. "මෙය (කුරානය) ලෝවැසියන්ට උපදේසයක් මිස වෙන නොමැත" (කුරානය 68:52). එසේම මුහම්මද් නබිතුමා එක් ජන කොට්ටාසයකට පමණක් පැමිණි නබිවරයෙකු නොවන අතර ඔහු මුළු මහත් මිනිස් වර්ගයා වෙනුවෙන් පහළ වූ  නබි වරයෙකි.

මිනිසාට මරණයෙන් පසු නැවත නැවත ඉපදීමක් නැත. ඒ අනුව මිනිසා මිය ගිය පසු නැවත නැගිටවනු ලබන්නේ විනිශ්චය දිනයේදී ය.  ඒ අනුව මිනිසාගේ මරණයෙන් පසු ඔහුව විනිශ්චය දිනය දක්වා වන කාලය තුල "ආලමේ බර්සක්" නොහොත් ආත්මීය ලෝකය තුල රඳවා තබා ඇත. 

දෙවියන් නියම කල දිනයකදී විනිශ්චය දිනය ඇති වන්නේය. එම අවස්ථාවේදී  සෑම ආත්මයකටම නැවතත් ශරීරයක් ලබා දී නැගිටවන අතර ඔවුන්ව විනිශ්චය කිසිම සඳහා එක් ස්ථානයකට රැස් කරනු ලැබේ. එම දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස් දහසකි. එම දිනයේදී සෑම මිනිසෙකුම මනු ලොවේදී කරන ලද දේවල් පිලිබඳ ලියවිල්ලක් ලබා දෙන්නේය. තවද මිනිසාගේ මුවට මුද්‍රා තබන අතර ඔවුන්ගේ අත් කතා කරන්නේය. ඔවුන්ගේ පාදයන් ඊට සාක්ෂි ලබා දෙන්නේය. මේ ගැන අල්-කුරානයේ මෙසේ විස්තර කොට ඇත. "අද දිනයෙහි ඔවුන්ගේ මුඛවලට මුද්‍රා තබන්නෙමු. (අනතුරුව) ඔවුන් කරමින් සිටි දේවල් ගැන, ඔවුන්ගේ අත් අප සමග පවසන්නේය. තවද, ඔවුන්ගේ පා (ඊට) සාක්ෂි ලබා දෙන්නේය" (කුරානය 36:65). 

මරණයෙන් පසු ජිවිතයක් ගැන මිනිසාව මෙතරම් දැනුවත් කොට තිබියදීත් ඒ ගැන තැකීමක් නොමැතිව ලෞකික දේවල් පසු පස හඹා යාම පුදුමයකි. බොහෝ අයට මරණයෙන් පසු ජිවිතයක් ඇතැයි මතක් වන්නේ මහළු වියට පා තැබූ පසුවය. තවත් අය සිතන්නේ මරණයෙන් පසු ජීවිතයක් නැති බවයි. ඔවුන් එසේ සිතුවත් දෙවියන් පහළ කල සෑම දහමකින්ම විනිශ්චය දිනය පිළිබඳව අනතුරු හඟවා තිබේ.

මිනිසාට රන් ආකරයක් ලැබුනත් ඔහු තවත් එකක් සොයා යන බව නබිතුමා පවසා ඇත. එහෙත් ලෞකික ජීවිතය අම්බලමක් වැනිය. කුමන හෝ මොහොතක ඉන් පිටත් වී  යා යුතුය. අනතුරුව වෙනත් කෙනෙකු විසින් එය අත්පත් කර ගන්නේය. එසේ තිබියදී මිනිසා විසින් මෙම සත්‍යය තේරුම් නොගෙන සිටීම පුදුමයකි. ඇත්තෙන්ම මිනිසා තාවකාලික ලෞකික ජීවිතය තුල මංමුලා වී සිටින්නේය.

මරණයෙන් පසු ජීවිතය හා සසඳන කල මිනිසාට ලැබී ඇත්තේ ඉතා කෙටි ආයු කාලයකි. ඒ අනුව අවුරුදු 60 ක් ජිවත් වන මිනිසෙකුගේ නින්දට හා වෙනත් අත්‍යාවශ්‍ය කටයුතු සඳහා වැයවන කාලය අඩු කලේ නම්  ඔහුට ඉතිරි වන්නේ වසර 20 ක් හෝ 25 ක් තරම් කෙටි ආයු කාලයකි. එහෙත් පරලොව ජිවිතයට සීමාවක් නැත. ඒ අනුව ලෞකික ජීවිතය වෙනුවෙන් එම ජීවිතය විනාශ කර ගැනීම කොතරම් අවාසනාවක්ද?

බොහෝ අය තම වැසිකිලියට ලබා දෙන වටිනාකමවත් තමන්ගේ මතු ජීවිතයට ලබා දෙන්නේ නැත. එම නිසා වැසිකිලියකට ලක්ෂගණන් මුදල් වියදම් කලත් තම මතු ජිවිතය වෙනුවෙන් පිනක් දහමක් කිරීමට වියදම් කරන්නේ නැත. කෙසේ වෙතත් මරණයෙන් පසු මිනිසාට ඉතිරි වන්නේ ඔහු කල පිනක් හෝ පවක් පමණක් බව අමතක නොකළ යුතුය.

ස්වර්ගවාසින්ට මෙන්ම නිරා වැසියන්ගේ ජීවිතය සදාකාලික ය. එබැවින් ඔවුන්ට නැවතත් මරණයක් අත්වන්නේ නැත. මෙම කරුණ ස්වර්ගවාසින්ට ඉමහත් සතුටක් ගෙන දෙන අතර නිරා වැසියන්ට කියා නිම කල නොහැකි දුකකට හේතුවක් වන්නේය. ස්වර්ගය සහ නිරය පිළිබද බොහෝ කරුණු අල්-කුරානයේ සහ හදිස්වල සඳහන් වේ. අවශ්‍ය අයට ඒවා ගැන කියවා දැනගත හැකිය.

By Fasy Ajward, B.Sc(sp.phy)Hons, Japura. 
Ex: Research officer at former Scientific and Industrial Research Institute. 




Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)