අල්ලාහ් (දෙවිඳුන්) කවුද? (Who is Allah?)


අල් කුරානයට අනුව අල්ලාහ් කව්රුන්ද යන්න මෙසේ සඳහන් වේ. "පවසනු! අල්ලාහ් එක් කෙනෙකි. අල්ලාහ් (කිසිම) අවශ්‍යතාවයක් නොමැත්තා ය. ඔහු කිසිවෙකුව ප්‍රසුත කලේ නැත. (එසේම) ඔහු කිසිවෙකුගෙන් ප්‍රසුත වුයේද නැත. තවද, ඔහුට සමාන වෙනත් කිසිවෙකුද නැත" (කුරානය 112; 1-4). මේ හේතුවෙන් විශ්වයේ ඇති කිසිම දෙයක් අල්ලාහ්ට සම නොවේ. එපමණක් නොව විශ්වයේ ඇති කිසිම දෙයක් සමග අල්ලාහ්ව සංසන්දනය කිරීමටද නොහැකිය. එපමණක් නොව සාස්තෘවරුන්ව හෝ නබිවරුන්ව හෝ අල්ලාහ්ට සම කල නොහැකිය. ඔවුන් සියලු දෙනාම අල්ලාහ්ගේ මැවීම් වේ. එසේ තිබියදී කිතුනුවන් ජෙසුස්වහන්සේව දෙවියන් ලෙසත් තවත් විටකදී දෙවියන්ගේ පුතුන් ලෙසත් පිලි ගන්නේය. එහෙත් අල් කුරානයට අනුව ජේසුස් වහන්සේ අල්ලාහ්ග් ශ්‍රේෂ්ඨ නබි වරයෙකි. 

ඉස්ලාම් දහම අනුව විශ්වය සහ එහි ඇති සියලුම දේවල් අල්ලාහ් දෙවිඳුන් විසින් මවන ලද්දේය. කෙසේ වෙතත් මෙම මැවීම් අතරින් මිනිසාට සුවිශේෂී තැනක් හිමිවේ. ඊට හේතුව මිනිසාට ස්වයං තීරණ ගැනීමට හැකි වීමයි. මේ නිසා මිනිසාට දෙවියන් පෙන්වා ඇති මාර්ග දෙකින් තමන් කැමති මාර්ගයක් තෝරා ගැනීමට හැකියාව ලැබෙන්නේය. එහි ප්‍රතිපයක් ලෙස ස්වර්ගය සහ නිරය තීරණය කෙරේ. මිනිසාට යහ මග පෙන්වීම සඳහා අල්ලාහ්ගෙන් දහම් පණිවිඩ පහළ විය. එය මිනිසුන් අතරින්ම තෝරා පත්කරන ලද නබිවරුන් හෙවත් විශේෂ දුතයින්ගේ මාර්ගයෙන් පහළ කොට තිබේ. 

මෙලොවට පැමිණි සෑම නබිවරයෙකුම අල්ලාහ්ගේ ඒකීයත්වය ගැන ප්‍රචාරය කළෝය. එලෙස සිය දහසකට වඩා නබිවරුන් මෙලොවට පැමිණ තිබේ. අල්ලාහ්ගෙන් පහළ වූ දහම් පණිවිඩ අවසාන වන්නේ මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාට පහළ කරන ලද කුරානයත් සමග වේ. කුරානය මිනිසා විසින් ලියන ලද්දක් නෙවේ. එය අල්ලාහ් දෙවියන් විසින් ජිබ්‍රිල් නම් දෙවදුතයා හරහා මුහම්මද් නබි තුමාට කෙටස් වශයෙන් වසර 23ක් පුරා පහල කළේය. කෙසේ වෙතත් අල් කුරානයෙන් ඊට පෙර පහළ කරන ලද ආගම් ගැන සඳහන් කරන්නේය. අද වන විට කුරානය හැර අනෙක් සෑම දහම් පුස්තකයක්ම බොහෝ වෙනස්කම් වලට ගොදුරු වී තිබේ.

සෑම නබිවරයෙකුම ප්‍රාතිහාරයන් පාමින් ඔවුන් අල්ලාහ් දෙවිඳුන්ගේ දුතයින් බව පවසා තිබේ. ඒ අනුව මුසා නබිතුමා අල්ලාහ් සමග කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව කතා කොට ඇත. එසේම මුහම්මද් නබි තුමා මිහ්රාජ් ගමනේදී අල්ලාහ්ව හමුවී ඇත. ජේසු තුමා අල්ලාහ්ගේ උදව්වෙන් මළවුන් නැගිට්ටේව්වේය. තවද උපතින්ම අන්ද අයට පෙනුම ලබා දුන්නේය. මේ අකාරයටම අනෙකුත් නබිවරුන්ද අල්ලාහ්ගේ උදව්වෙන් විවිධ වූ හාස්කම් පෙන්වා තිබේ. මෙවැනි දේවල් නිසා ඒ ඒ කාලවල සිටි ජනතාවට අල්ලාහ් ගැන විශ්වාස කිරීමට හැකි විය. අද අප අතර නබිවරයෙකු ජිවතුන් අතර නොසිටියත් මුහම්මද් නබි තුමාට පහළ කරන ලද අල් කුරානය ජීවමාන ප්‍රාතිහාරයක් ලෙස පවතින්නේය. කුරානය ගැන හැදෑරීමෙන් ඒ බව දැනගත හැකි ය. 

ඉස්ලාම් දහම අනුව නැමදීමට සුදුසුකම් ලබන එකම තැනැත්තා අල්ලාහ් පමණි. ඒ අනුව අල්ලාහ් සමග වෙනත් දේවල් සම කිරීම විශාල වරදක් වන්නේය. යම් කෙනෙක් අල්ලාහ්ව විශ්වාස කලත් ඔහුට තවත් කෙනෙකුව සම කලේ නම් ඔහු මිය යාමට පෙර එම වැරැද්දෙන් මිදී පසු තැවිලි විය යුතුය. එසේ නොකළේ නම් ඔහුට මරණයෙන් පසු ස්වර්ගයට වරම් ලැබෙන්නේ නැත.

අල්ලාහ් ගැන කුරානයේ එක් තැනක මෙසේ සඳහන් වේ. "(සත්‍ය ලෙසම) නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත. ඔහු නිත්‍යය ජීවමානය සදාකාලිකය. මද නින්ද හෝ තද නින්ද හෝ ඔහුව නොඅල්වන්නේය. අහස්හි ඇති දේද පොළොවෙහි ඇති දේද ඔහුටම හිමිය. ඔහුගේ අනුමැතිය නොමැතිව ඔහු හමුවෙහි කවරෙකුට හෝ මැදිහත් විය නොහැකිය. (මැවුම් වන) ඔවුන්ට පෙර ඇති දේද ඔවුන්ට පසු ඇති දේද ඔහු හොඳින් දන්නේය. ඔහු මනාප වූ දේ හැර, ඔහු දැන සිටින දෙයින් කිසිවක් ඔවුන් විසින් දැනගත නොහැකිය. ඔහුගේ 'කුර්සි' අහසෙහිද පොළොවෙහිද ව්‍යාප්තව පවතින්නේය. ඒ දෙකම ආරක්ෂා කිරීම ඔහුට අපහසුවක් නොවේ. ඔහු වඩාත් උතුම් කෙනාද මහඟු බව ඇත්තාද වේ" (කුරානය 2:255). මෙහි දැක්වෙන පරිදි අල්ලාහ්ට නින්ද හෝ මඳ නින්ද අයත් වන්නේ නැත. ඒවා අල්ලාහ්ට අයත් නොවන ගුණාංග වන්නේය. අල්ලාහ්ට නොමැති මෙවැනි තවත් ගුණාංග කුරානයේ දැකිය හැකිය. 

අල්ලාහ්ට අලංකාර නාමයන් 99 ඇති බව නබි වදන් වල දැක්වේ. ඒවායින් අල්ලාහ්ගේ ගුණාංග ගැන විස්තර කොට ඇත. "අල්-කාලික් (الخالق)" ඔහුගේ එක් ගුණාංගයකි. ඉන් කියැවෙන්නේ අල්ලාහ් නැති දෙයකින් අළුත් දෙයක් නිර්මාණය කරන බවයි. තවද ඔහු රූ සකසන්නාය. එය "අල්-මුසව්විර් (المصور)" යන ගුණාංගයෙන් විස්තර කෙරේ. සෑම ජිවියෙකුටම අහාර ලබා දෙන්නේ අල්ලාහ්ය. එය 'අර්රzස්සාක් (الرزاق)' යන ගුණාංගයෙන් විස්තර කෙරේ. අල්ලාහ් ඉතා කාරුණිකයාය. එය 'අර්රහ්මාන් (الرحمن)' සහ 'අර්රහිම් (الرحيم)' යන වචන වලින් විස්තර කොට ඇත. සෑම දෙයකම ආධිපත්‍ය ඇත්තේ අල්ලාහ්ට ය. එය 'අල්මලික් (الملك)' යන වචනෙයන් කියැවේ. අල්ලාහ්ට කිසිම අඩු ලුහුඩු කමක් නැත. ඔහු සුවි ශුද්ධ වන්තයාය. එය 'අල්කුද්දුස් (القدوس)' ලෙස දැක්වේ. අල්ලාහ් සියලුම දේවල් හොඳින් නිරීක්ෂණය කරන්නාය. එය 'අල්බසීර් (البصير)' යන වචනයෙන් පැවසේ. තවද අල්ලාහ් සියලු දෙනාට ඇහුම්කන් දෙන්නේය. එය 'අස්-සමියි (السميع)' යන වචනයෙන් කියැවේ. අල්ලාහ් සෑම කෙනෙකුගේම උවමනාවන් ඉටු කරන්නා ය. එය 'අල් වහ්හාබ් (الوهاب)' යන වචනයෙන් කියැවේ. අල්ලාහ් අතිශයින්ම ඉවසිලිවන්තයා ය. එය "අස්සබුර් (الصبور)" යනුවෙන් සඳහන් වේ. අල්ලාහ් සමාව දෙන්නාය. එය "අල් ගෆ්ෆාර් (الغفار)" යන වචනෙයන් කියැවේ. 

ලෝකය අවසාන වීමෙන් පසු ඇති විනිශ්චය දිනයේදී අධිපති අල්ලාහ්ය. එම දිනයේදී මෙලොව ඉපදුනු සියලුම ආත්මයන් විනිශ්චය කිරීම සඳහා අල්ලාහ් වෙත ඒකරාශී කරනු ලැබේ. එම විනිශ්චයෙන් පසු මිනිසා සහ ජින්වරුන්ට ඔවුන් කල පින් හෝ පව් අනුව ස්වර්ගය හෝ නිරය ලබා දීමට නියමිතය. මේ නිසා අල්ලාහ් ගැන දැන ගැනීමත් ඔහු පෙන්වා ඇති දහම අනුව ජිවත් වීමත් මිනිසාට පැවරෙන වගකීමක් වන්නේය.


By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම් (The Rights of Women in Islam)

මුස්ලිම්වරයෙකුගේ ඇදහිල්ලට හානි කරන දේවල් (Things that harm the faith of a Muslim)