අල්ලාහ් අතිශයින්ම කරුණාවන්ත බව ඔබ දන්නවාද? (Do you know that Allah is extremely kind?)
සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් ගැන පැවසීමේදී, බොහෝ අය සඳහන් කරන්නේ බිය ඇතිකරන දේවල් ගැන පමණි. එහෙත් ඔහු අතිශයින්ම කාරුණික බව ද අප විසින් දැනගත යුතුය. හදිස්වල දැක්වෙන අන්දමට අල්ලාහ්ගේ කාරුණික බව ඔහුගේ කෝපාවිෂ්ට බව ඉක්මවා යන්නේය. මේ නිසා වැරදි කල ඕනෑම කෙනෙකුට ලෞකික ජීවිතයේදී අල්ලාහ්ගේ දයාව ගැන බලාපොරොත්තු තැබිය හැකිය. කෙසේ වෙතත් අල්ලාහ් දඬුවම් කිරීමේදී ඉතා දැඩි බවත් අමතක නොකළ යුතුය. එබැවින් වඩා සුදුසු වන්නේ අල්ලාහ් කෙරෙහි ඇති බිය සහ බලාපොරොත්තුව අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීමය.
සහිහි බුහාරි ග්‍රන්ථයේ අල්ලාහ් තම ගැත්තන් සමග ක්‍රියා කරන අකාරය මෙසේ විස්තර කොට ඇත. “මගේ ගැත්තා මා ගැන සිතන ආකාරයට මා ද ඔහු සමග ක්‍රියා කරන්නෙමි. ඔහු මා ගැන සිහිපත් කරන විට මා ද ඔහුව සිහි පත් කරමි. ඔහු තම සිත තුලින් මා ගැන මෙනෙහි කරන්නේ නම්, මා ද ඔහු ගැන මෙනෙහි කරමි. ඔහු මිනිසුන් අතර මා ගැන සඳහන් කරන්නේ නම්, ඔහු ගැන මා ඊට වඩා හොඳ සභාවකදී සඳහන් කරමි. ඔහු මා වෙත වියතක දුරක් ළඟා වුවහොත්, මා රියනක දුරක් ඔහු වෙත ළඟා වෙමි. ඔහු මා වෙත රියනක දුරක් ළඟා වුවහොත්, මා ඔහු වෙත රියන් දෙකක දුරක් ළඟා වෙමි. ඔහු මා වෙත ඇවිද ආවොත්, මා ඔහු වෙත දුවගෙන එන්නෙමි. (බුහාරි, මුස්ලිම්). එසේ තිබියදී මිනිසා අල්ලාහ්ගෙන් දුරස් වීම ගැන කුමක් කියන්ටද?
මුහම්මද් නබි තුමා මෙසේ පැවසීය: “යමෙක් යහපත් ක්‍රියාවක් කිරීමට අදහස් කර පසුව එය නොකර හැරියේ නම් අල්ලාහ්, ඔහුට එම ක්‍රියාව කළා සේ සලකා කුලිය ලබා දෙන්නේය. යම් විදියකින් ඔහු අදහස් කල අන්දමට එය කළහොත්, අල්ලාහ් ඔහුට අයත් කුලිය දස ගුණයකින් හෝ හත්සිය වාරයකින් වැඩිකොට ලබා දෙන්නේය. අනෙක් අතට ඔහු වැරැද්දක් කිරීමට අදහස් කර පසුව එය නොකර සිටියේ නම්, ඔහු කුසල් ක්‍රියාවක් කළා සේ සලකා ඊට කුලිය ලබා දෙන්නේය. යම් විදියකින් ඔහු අදහස් කල අකාරයට එම වරද සිදු කළේ නම්, අල්ලාහ්, ඔහුට එක් වරදක් කල පව පමණක් සටහන් කිරීමට නියම කරන්නේය” (බුහාරි, මුස්ලිම්). අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි මෙතරම් කාරුණික වෙද්දී මිනිසා අල්ලාහ්ගෙන් දුරස් විය යුත්තේ ඇයි?
අල්ලාහ් කොතරම් කාරුණික දැයි කිවහොත් මෙළොව ජීවිතයේදී ඔහුව විශ්වාස කරන අයට මෙන්ම ඔහුව විශ්වාස නොකරන අයටත් කරුණාව දක්වන්නේය. ඔවුන්ගේ සෑම අවශ්‍යතාවයක්ම ඉටු කර දෙන්නේය. එපමණක් නොව යම් විදියකින් ඔවුන් තම මරණයට පෙර ඉස්ලාම් දහම වැළඳ ගත්තේ නම් ඔවුන් එතෙක් කල් කල සියලුම පව් වලට සමාව දෙන අතර ඉස්ලාම් දහම වැළඳ ගැනීමට පෙර සිදු කල කුසල් අගයන්නේය.
අල්ලාහ් සමාව නොදෙන පාපයන් ද ඇත. අල්ලාහ්, මිනිසාව මවා ඔහුගේ සියලුම අවශ්‍යතා ඉටු කරද්දී වෙනත් දේවල් වලට වඳින්නේ නම් එය විශාල වරදකි. එබැවින් යම් කෙනෙක් අල්ලාහ් වෙනුවට වෙනත් දේවල් වලට වඳිමින් සිටියදී මිය ගියේ නම් ඔහුට කිසිසේත්ම සමාව දෙන්නේ නැත. කෙසේ වෙතත් තම ජිවිත කාලය තුලදී අල්ලාහ්ව විශ්වාස කොට තමන් කල වරදට පසුතැවිලි වන්නේ නම් ඔහු එතෙක් කල වැරදි වලට සමාව දෙන්නේය.
සාතන්ට උවමනා කරන්නේ මිනිසා ස්වර්ගයට යාමෙන් වැළැක්වීමය. මේ නිසා අල්ලාහ්ව විශ්වාස කිරීමෙන් වැළැක්වීමට ඔහු සෑම උත්සායක්ම ගන්නේය. එහි ප්‍රතිපලය වන්නේ අල්ලාහ් නොවන දේවල් වලට වැඳීමට සලස්වා සදාකාලිකවම ස්වර්ගයට යාමෙන් වැළැක්වීම ය.
අල්ලාහ් මිනිසාට ලබා දී ඇති දායාදයන් මිල කල නොහැකි තරම් ය. එහෙත් ඒ කිසිම දෙයකට මිලක් අය කර නැත. එසේ තිබියදී ස්වර්ගය ලබා ගැනීම සඳහා මිනිසා කල යුතුව තිබෙන්නේ අල්ලාහ්ව විශ්වාස කොට ඔහුට පමණක් නැමදීම වේ. ස්වර්ගය අත්කර ගැනීම සඳහා කල යුතුව තිබෙන්නේ මෙතරම් සුළු දෙයක් වුවත් බොහෝ අය එය කරන්නේ නැත. කෙසේ වෙතත් මරණයෙන් පසු නිරයට නියම වූ අය ඉන් ගැලවීම සඳහා මේ ලෝකය තරම් රත්‍රන් තිබුනත් ඒවා වන්දි වශයෙන් ලබා දීමට කැමති වන බව කුරානය පෙන්වා දෙන්නේය. එහෙත් මරණයට පත්වූ පසු කිසිම වන්දියක් ගෙවා නිරයෙන් ගැළවීමට හැකියාවක් ලැබෙන්නේ නැත.
By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons,Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment