අල් කුර්ආනය සහ ඊට එල්ලකරනු ලබන චෝදනා (The Quran and the accusations against it)


අල් කුරානය යනු මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාට ක්‍රි.ව. 571 දී අල්ලාහ් දෙවිඳුන් විසින් යවන ලද දේව පණිවිඩයකි.  එය පහළ කොට ඇත්තේ මුළු මහත් මිනිස් වර්ගයාට යහ මග පෙන්වීම සඳහා ය. මෙම දේව පණිවිඩය ජිබ්‍රිල් නම් දේවදුතයා විසින් මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාට පුරා වසර 23 ක් තිස්සේ කොටස් වශයෙන් ගෙනවිත් දෙන ලදී. එහි සැකයට තුඩු දෙන කිසිම දෙයක් නැති බවට ආරම්භයේදීම සඳහන් කොට තිබේ. එවැනි දෙයක් නිර්භයව සඳහන් කල හැක්කේ එය දේව පණිවිඩයක් නිසාය. එසේ නොවන්නට වෙනත් ඕනෑම ග්‍රන්තයක සැකයට තුඩු දෙන කරුණු සොයා ගැනීමට හැකිය. අල් කුරානයේ විවිධ ප්‍රමාණයෙන් යුතු පරිජ්ජේද 114 ක් තිබේ. එහි ඇති දීර්ඝතම පරිජ්ජේදය වාඛ්‍ය 286 කින් සහ කුඩාම පරිජ්ජේදය වාඛ්‍ය 3 කින් ද සමන්විත වේ. 

අල් කුරානය අල්ලාහ්ගෙන් මුහම්මද් නබි තුමා වෙත පැමිණියත් ඇතැම් අය පවසනේ කුරානය බයිබලයේ පිටපතක් බවයි. එහෙත් එහි කිසිම සත්‍යතාවයක් නැත. ඇයිද යත් බයිබලය කියවා තේරුම් ගෙන ඉන් කුරානය ලිවීමට නම් මුහම්මද් නබිතුමා ග්‍රීක බස දැන ගෙන සිටිය යුතුය. එහෙත් එතුමා ග්‍රීක බස හෝ වෙනත් කිසිම බසක් කියවීමට හෝ ලිවීමට දැනසිටියේ නැත. කෙසේ වෙතත් කුරානය සහ බයිබලය පහල වන්නේ එකම දෙවි කෙනෙකු වන අල්ලාහ්ගෙන් ය. එබැවින් එම ග්‍රන්ථ දෙකෙහි ඇතැම් සමාන කම් තිබීම බලාපොරොත්තු විය යුතු කරුණකි. උදාහරණයක් ලෙස එම ග්‍රන්ථ දෙකෙහිම සඳහන් වන්නේ එකම නබිවරුන් ගැනය. 

කුරානයේ සඳහන් වන පරිදි එය පහළ වන්නේ කුරානයට පෙර පහළ වූ සියලුම ආගම් සම්පුර්ණ කරීම සඳහා ය. ඒ අනුව එහි ඊට පෙර ආගම්වල ඇති කරුණු සවිස්තරාත්මකව ඉදිරිපත් කොට තිබේ. තවද ලෝකය අවසාන වන තෙක් අවශ්‍යය කරන නීති කුරානයේ ඇත. 
 
අල් කුරානය අනෙකුත් දේව පණිවිඩ අතරින් අද්විතීය ස්ථානයක් උසුලන්නේය. එම ග්‍රන්ථයේ වඛ්‍ය 6000 කට වඩා අඩංගු වී තිබුනත් එය සම්පුර්නයෙන්ම කටපාඩම් කල හැකිය. ඒ අනුව කුරානය සම්පුර්ණයෙන් කටපාඩම් කල හාෆිස් වරු සිය දහස් ගණන් ලොව පුරා විසිරි සිටින්නෝය. එම නිසා කුරානය යම් විදියකින් විනාශ කලත් නැවත වරක් එවැනිම ග්‍රන්ථයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබේ.

කුරානයේ ඇති භාෂා විලාශය නිසා එය ලොව ඇති උසස්ම සාහිත්‍ය ග්‍රන්ථය බවට පත්වේ. කුරානයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එය 7 වන සිය වසේදී පහළ වුවත් 20 වන සිය වසේදී විද්‍යාඥයින් විසින් සොයා ගනු ලබු බොහෝ විද්‍යාත්මක සංසිද්ධීන් එය තුල අඩංගු වී තිබීමයි. තවද අල් කුරානය අනෙක් ආගමික ග්‍රන්ථ මෙන් නොව එය පහළ වූ අරාබි භාෂාවෙන්ම අදටත් සුරක්ෂිත කොට තිබේ. තවද කුරානය ලියැවී ඇති භාෂාව අදටත් ජීවමානව පවතී. 

මුස්ලිම් නොවන ඇතැම් අය කුරානය හරි හැටි තේරුම් නොගෙන එය විවේචයනය කලත් ඉස්ලාම් නොවන තවත් පිරිසක් කුරානයේ දිව්‍යමය ප්‍රභවය හඳුනාගෙන නැතත් එය අද්විතීය හා විස්තර කළ නොහැකි තරම් බලවත් ග්‍රන්ථයක් බව ප්‍රකාශ කොට ඇත. ඉන් එක් ප්‍රකාශනයක් පහත දැක්වේ. 

"අල් කුර්ආනය ලෝකයේ ඇති ශ්‍රේෂ්ඨ  ආගමික ග්‍රන්ථ අතර වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇති බව පිළිගත යුතුය. එය සාහිත්‍ය පන්තියට අයත් යුගයක් නිර්මාණය කිරීමේ ලාබාලතම කෘතිය වුවද, එමගින් බහුතර මිනිසුන් කෙරෙහි ඇති කර තිබෙන පුදුමාකාර බලපෑමෙන් කිසිසේත්ම ගැලවිය නොහැකිය. එය මිනිස් චින්තනයේ නව අවධියක් සහ නැවුම් චරිතයක් නිර්මාණය කොට තිබේ. කුරානය මගින් මුලින්ම අරාබි අර්ධද්වීපයේ විෂමජාතීය කාන්තාර ගෝත්‍ර වැසියන් ගණනාවක්ම වීර චරිතයන් බවට පරිවර්තනය කර තිබේ. පසුව යුරෝපයේ සහ නැගෙනහිර රටවල්වල දේශපාලන-ආගමික බලවේගයක් බිහි කිරීමට සමත් වී ඇත” (G. Margoliouth, Introduction to J.M. Rodwell’s, “The Koran,” New York: Everyman’s Library, 1977, p. vii.). 

කුරානයට අටුවා ටීකා ලිවිම සෑම කෙනෙකුටම කල හැකි දෙයක් නොවේ. විශේෂයෙන්ම අරාබි භාෂාව ගැන කිසිම දැනුමක් නොමැති මුස්ලිම් නොවන කෙනෙකුට එය කිසිසේත්ම කල නොහැකිය. එසේ තිබියදී මුස්ලිම් නොවන ඇතැම් අය කුරානයේ ඇති වැකියක් හෝ දෙකක් සඳහා ඔවුන්ගේ මනසට නැගෙන අර්ථයන් ලබා දීම මුග්ධ ක්‍රියාවකි. එසේ වුවත් ඇතැම් අය කුරානයේ ඇති ඇතැම් වදන් සන්දර්භයෙන් පිට තෝරාගෙන ඒවා විවිචනය කරනු දැකිය හැකිය. බොහෝ විට ඒ සඳහා ඔවුන් ගෙන හැර දක්වන්නේ කුරානයේ ඇති මෙම වාක්‍ය කණ්ඩයයි. "නුඹලා ඔවුන්ව කොතැනක දුටුවත් ඝාතනය කරනු” (කුරානය 2:191). මෙය දකින විට ඕනෑම කෙනෙක් කුරානය ඉතා භයානක ග්‍රන්ථයක් බවට නිගමනය කරනු ඇත. එහෙත් එම වැකියට ඉහලින් සහ පහලින් ඇති අනෙක් වැකි කියවීමේදී එම නිගමනය වැරදි බව තේරුම් ගත හැකිය. ඉහත දක්වා ඇති වැකියට ඉහලින් ඇත්තේ මෙසේය. "කවරහු නුඹලා සමග සටන් කරයිද ඔවුන් සමග නුඹලාද අල්ලාහ්ගේ මගෙහි සටන් කරන්න. සීමාව නොඉක්මවන්න. නියතව අල්ලාහ් සීමාව ඉක්මවන්නන්ව ප්‍රිය නොකරන්නේය" තවද එම වැකියට පහලින් ඇත්තේ "නමුත් ඔවුන් (සටන් නොකර) ඉවත් වුයේ නම් නියතව අල්ලාහ් අධිකව ක්‍ෂමාකාරන්නාය; අසම දයාවන්තයා ය" යනුවෙනි. එබැවින් ඉහත සඳහන් (2:191) කුර්ආන් වැකිය මෙලෙස පරිවර්තනය විය යුතු ය. "නුඹලා ඔවුන්ව (සටනේදී) කොතැනක දුටුවත් ඝාතනය කරනු” 

අල් කුරානයේ විවරණය ලෙස සැලකෙන්නේ නබිතුමාගේ හදිසයන් ය. එම නිසා කුරානය නිවැරදිව තේරුම් ගැනීම සඳහා නබිතුමාගේ හදිසයන් පිලිබඳ මනා දැනුමක් තිබීම අනිවාර්ය වේ. තවද අල් කුරානයේ ඇතැම් කරුණු පහළ කොට තිබෙන්නේ පවතින තත්වයන්ට පිළිතුරු වශයෙනි.  උදාහරණයක් ලෙස යුද්ධයක් පවතින අවස්ථාවේදී පහළ වූ වැකි එවැනි අවස්ථාවන්ට පමණක් අදාළ වේ. එසේම ආර්ථික කටයුතු සම්බන්ද වැකි අදාළ වන්නේ ව්‍යාපාර කටයුතු වලදී ය. විවාහය සහ දික්කසාදය සම්බන්ද වැකි අදාළ වන්නේ ඊට සුදුසු අවස්ථාවන්හිදීය. මේ නිසා කුරානය බුද්ධිමත්ව හදාරා ඒවා සුදුසු ආකාරයට පිළිපැදිය යුතුය. 

අල් කුරානය මිනිසාට මානව දයාව ගැන ඉතා වැදගත් කරුණු උගන්වා තිබේ. ඒ බව මෙම වැකිය තුලින් පිළිබිඹු වේ.

"කවරහු ආගම නිසා නුඹලා සමග සටන් නොකළෝද ඔවුන්ටද, තවද, නුඹලාව නුඹලාගේ නිවෙස්වලින් පිට නොකළෝද ඔවුන්ටද, නුඹලා යහපත් දේ කිරීමද, ඔවුන් සමග යුක්තිසහගතව ක්‍රියා කිරීම කෙරෙහිද අල්ලාහ් නුඹලාව වැලක්වුයේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් යුක්තිගරුකව ක්‍රියා කරන්නන්ව ප්‍රිය කරන්නේය" 

මුස්ලිම් නොවන්නන් සමග යුක්ති ගරුකව ක්‍රියා කිරීම සම්බන්දයෙන් නබිතුමා මෙසේ ප්‍රකාශ කොට ඇත. “ප්‍රවේසම් වනු! කවුරුන් හෝ මුස්ලිම් නොවන සුළුතරයක් කෙරෙහි කුරිරු හා දැඩි ලෙස කටයුතු කරන්නේ නම් ද ඔවුන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරන්නේ නම් ද ඔවුන්ට දරාගත හැකි ප්‍රමාණයට වඩා බරක් පටවන්නේ නම් හෝ ඔවුන්ගේ නිදහස් කැමැත්තට එරෙහිව ඔවුන්ගෙන් යමක් ලබා ගන්නේ නම් ද මම (මුහම්මද් නබි) එම පුද්ගලයාට එරෙහිව විනිශ්චය දිනයේදී පැමිණිලි කරන්නෙමි” (අබු දාවුද්). මෙයින් දැක්වෙන්නේ  මුස්ලිම් රාජ්‍යයක වෙසෙන මුස්ලිම් නොවන්නන්ගේ අයිතිවාසිකම් නබිතුමා විසින් තහවුරු කොට තිබෙන බවයි.

අල් කුරානය මුස්ලිම්වරුන්ට පමණක් පහළ වූ ග්‍රන්ථයක් නොවන නිසා ඉන් පෙන්වා දී ඇති නිවැරදි මාර්ගය අනුගමනය කිරීම ලෝකවාසී සියලු දෙනාගේම වගකීමකි. 

Fasy Ajward.B.Sc (Phy.Sp) Hons,Japura,

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)