ඔබ සලාතය හෙවත් නැමදීම කළ යුත්තේ ඇයි? (Why should you pray salat?)
මිනිසාට අල්ලාහ් (سبحانه وتعالى) සමඟ සන්නිවේදනය කිරීමට ලැබී ඇති කදිම අවස්ථාවක් ලෙස සලාතය (නැමදුම) පෙන්වා දිය හැකිය. තවද, "ස්වර්ගයේ යතුර සලාතය යැයි" නබි (صلى الله عليه وسلم) තුමාණන් පැවසූ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (رضي الله عنه) තුමා වාර්තා කොට තිබේ. මේ නිසා ස්වර්ගය අපේක්ෂා කරන සෑම කෙනෙකුම සලාතය නිසි ලෙස ඉටු කල යුතුය.
අල්ලාහ් (سبحانه وتعالى) කිසිවෙකුගේ අවශ්‍යතාවයක් නොමැත්තා ය. එබැවින්, කෙනෙකුගේ සලාතයෙන් අල්ලාහ්ට කිසිවක් වැඩි වන්නේ නැත. එහි ප්‍රතිලාභය අත්වන්නේ සලාතය ඉටු කරන පුද්ගලයාටම ය. එමනිසා, අල්ලාහ් (سبحانه وتعالى) තම මැවුම්කරු බව විශ්වාස කරන සැම කෙනෙකුම අල්ලාහ්ගේ නියෝග වලින් එකක් වන සලාතය ඉටු කිරීමෙන් ඔහුගේ විශ්වාසය තහවුරු කළ යුතුය. අල්ලාහ් (سبحانه وتعالى) ඔහුගේ යටත් වැසියන්ට උපකාර කිරීම ඔහු මත අනිවාර්ය කර ගෙන ඇත. සලාතය ඉටු නොකරන තැනැත්තාටත් ඉස්ලාමයටත් කිසිදු සම්බන්ධයක් නොමැති බව නබිතුමා පවසා ඇත.
මිය ගිය කෙනෙක් භූමිදානය කල පසු සොහොනේදී මුලින්ම ප්‍රශ්න කරනු ලබන්නේ ඔහුගේ සලාතය ගැනය. සලාතය නිසි ලෙස ඉටු කල කෙනෙකුට පහසුවෙන්ම එම අවස්ථාව ජය ගත හැකි නමුත්, සලාතය ඉටු නොකල තැනැත්තා එම අවස්ථාවේදී අසීරුතාවයට පත් වන්නේය.
අල් කුරානයේ ස්වර්ගවාසින් සහ නිරාවැසියන් අතර සිදුවන දෙබසක් ගැන මෙසේ දැක්වේ.. "වැරදිකරුවන් හමුවෙහි, 'නුඹලාව නිරයෙහි ඇතුළු කල දැය කුමක්දැ'යි (ස්වර්ගවාසින්) අසන්නෝය. (එවිට) ඔවුහු, 'අපි සලාතය ඉටු කරන්නන් වශයෙන් නොසිටියෙමු'යි පවසන්නෝය" (කුරානය 74:42-43). සලාතය පැහැර හැරීම නිරයට යා හැකි වරදක් බව මෙයින් පැහැදිලි වේ.
ඉස්ලාමයේ අනිවාර්ය කරුණු අතර, සලාතයට වැඩිම බරක් ලබා දී ඇත. එබැවින් කිසිදු හේතුවක් නිසා සලාතය මඟ හැරිය නොහැක. ඒ අනුව, එය නිවසේදී මෙන්ම ගමනකදීද, සැපේදී මෙන්ම දුකේදීද, නිරෝගී අවස්ථාවේදී මෙන්ම රෝගී අවස්ථාවේදීද සිදු කල යුතුය. කෙනෙකුට සිටගෙන සලාතය ඉටු කළ නොහැකි නම්, ඔහු එය වාඩි වී ඉටු කළ යුතුය. වාඩි වී ඉටු කළ නොහැකි නම්, ඔහු එය වැතිරී ඉටු කළ යුතුය.
සලාතය මුස්ලිම්වරයෙකුට මහත් ශක්තියකි. ඒ අනුව, යම් දුෂ්කරතාවයකට මුහුණ දුන් විට, රකඅත් දෙකක් සලාතය ඉටු කර අල්ලාහ්ගෙන් උපකාර පැතිය හැකි බව කුර්ආනයේ සඳහන් වේ."විශ්වාස කළවුන් ඉවසීම මගින්ද සලාතය මගින්ද (අල්ලාහ්ගේ) උදවු පතන්න, නියතව අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටියි" (කුරානය 2:153).
සලාතයේ ඇති තවත් වාසියක් නම් එමගින් කෙනෙකුව වැරදි කිරීමෙන් වලක්වා ලීමයි. මේ සම්බන්ධයෙන් කුරානය මෙසේ පවසයි: "(නබි තුමනි!) නුඹට මෙම පුස්තකය මගින් දන්වනු ලැබූ දෙය කියවා පෙන්වනු! නියත වශයෙන්ම සලාතය මගින් ලැජ්ජාශීලී දේවල් වලින්ද පිළිකුල් සහගත දේවල් වලින්ද වළක්වන්නේය. අල්ලාහ්ව සිහි කිරීම ඉමහත් ක්‍රියාවක් වේ. අල්ලාහ් නුඹලා කරන දේවල් ගැන හොඳින් දනියි" (කුරානය 29:45). එසේ තිබියදී යම් කෙනෙක් සලාතය කරන අතර වැරදි කරන්නේ නම් ඉන් පෙනී යන්නේ ඔහුගේ සලතයේ යම් වැරැද්දක් තිබෙන බවයි.
ඉහත සඳහන් කුර්ආන් වැකිය අනුව සලාතය හරියාකාරව ඉටු කරන තැනැත්තෙකු කිසිම අකාරයකින් දහමින් වලක්වා ඇති දේවල් වල නිරත නොවනු ඇත. කෙසේ වෙතත්, සලාතය කරන කෙනෙක් පාපකාරී දේවල් වල නිරත වන්නේ නම් ඔහුගේ සලාතයේ යම් වරදක් ඇති බව තේරුම් ගත යුතුය. එවැනි වැරැදිවලින් ආරක්ෂාව ලැබීමට නම් ඔහු කල යුත්තේ, ඔහුගේ සලාතය නිවැරදි කර ගැනීම ය.
By Fasy Ajward.B.Sc (Physics Special) Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research. https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path
Comments
Post a Comment