මුස්ලිම් අවමංගල්‍යයකදී අලුතින් එකතු කරන ලද අංග මොනවාද? (What are the newly added features of a Muslim funeral?)


ඉස්ලාම් දහමේ ඇති විශේෂත්වය වන්නේ එහි ඇති සෑම කටයුත්තක්ම දහමින් ආවරණය කොට තිබීමය. ඒ අනුව මුස්ලිම්වරයෙකු මිය ගිය විට ඔහුව හෝ ඇයව භූමිදාන කල යුත්තේ ෂරියාවෙන් පෙන්වා දෙන ආකාරයට වේ. එම ක්‍රමය ඉතා සරල එකක් වන අතර සෑම කෙනෙකුටම ඉතා පහසුවෙන් පිළිපැදිය හැකිය. ෂරියාවෙන් පෙන්වා දෙන ක්‍රමය වෙනස් කොට ඊට අලුතින් කොටස් එකතු කිරීම බිදඅත්ක්‍රියාවක් වේ. නබිතුමා පවසා තිබෙන්නේ එවැනි දේවල් ප්‍රතික්ෂේප කරන ලෙසය. එසේ තිබියදී අද සිදුවන බොහෝ ඉස්ලාමිය අවමගුල් නබිතුමා පෙන්වා දී ඇති ක්‍රම වලින් බැහැර වී තිබේ. 

ඉස්ලාම් දහම තුලට අලුත් ඇදහිලි ඇතුලත් වීමට ප්‍රධාන හේතුවක් වන්නේ දැනුමෙන් තොර උදවිය වැරදි කරන විට සමාජයට බියෙන් විද්වතුන් ඒවා නිවැරදි නොකර සිටීමය. දැන් සිදුව තිබෙන්නේ වැරදි ඇදහිලි හරි දේවල් ලෙසත් හරි දේවල් වැරදි ඇදහිලි ලෙසත් පත්ව තිබීමය. මේ නිසා අප කරන බොහෝ දේවල් වලට කුලිය නොලැබෙන තත්වයකට පත්ව ඇත. ඇයිද යත් අල්ලාහ් අනුමත කරන්නේ ෂරියාවෙන් පෙන්වා දී ඇති දේවල් පමණි. සාතන්ට උවමනා කරන්නේද අපගේ කුසල් විනාශ කිරීමටයි. 

ජනාසාවක් (මිනියක්) භූමිදානය කිරීම පිණිස සුදානම් කිරීමේදී මෙවැනි වැරදි සිදු වන්නේය. මොව්ලවී කෙනෙක් පැමිණ "ෆාතිහා" සුරාව පරායණය කොට මිය ගිය අයගේ මරණය වෙනුවෙන් දුආ ප්‍රාර්ථනයක් සිදු කරන්නේය. එහෙත් මබිතුමා එවැන්නක් පෙන්වා දුන්නේ නැත. ඉන් පසු එම ජනාසාව පල්ලියට රැගෙන ගොස් සියලු දෙනා පැමිණෙන තුරු "කුල් සුරාව" (කුරානයේ 112 වන සුරාව) සාමුහික වශයෙන් ශබ්ද නගා පරායණය කරන්නේය. එය ද නබි මග නොවේ. ඉන් පසු ජනාසාව වෙනුවෙන් සලාතය ඉටු කරනු ලැබේ. අනතුරුව නැවත වරක් සාමුහික වශයෙන් දුආ ප්‍රාර්ථනයක් සිදු කරන්නේය. එහෙත් නබි තුමා එවැනි දෙයක් පෙන්වා දී නැත. අවාසනාවන්ත කරුණ නම් මේ සියල්ල මෙහෙයවන්නේ ආලිම් වරයෙකු වීමයි.

ජනාසාව වෙනුවෙන් සලාතය ඉටු කල පසු භූමිදානය සඳහා ශබ්ද නගා සික්ර් කරමින් එය මිනීවල දක්වා රැගෙන යනු ලැබේ. එහෙත් එම අවස්ථාවේදී ක්‍රියා කල යුතු සුන්නා ක්‍රමය ඉමාම් නවවි තුමා පැහැදිලි කොට ඇත. (ඔහු එකල සිටි ශාෆි මස්හබයේ ප්‍රදාන ඉමාම් වරයෙකි) ඔහු පවසන ආකාරයට ජනාසාවක් රැගෙන යා යුත්තේ නිශ්ශබ්දතාවය රැකෙන පරිදි ය. ඒ වෙනුවට ශබ්ද නගා zසික්ර් කිරීම බිද’අත් ක්‍රියාවක් බව ඔහු පෙන්වා දෙන්නේය.

ඇතැම් අය ජනාසාව භූමිදානය සඳහා ගෙනයාමට පෙර තම තාරිකාව අනුව ජනාසාව වටකරගෙන හලරා පවත්වති. මෙවැනි දෙයක් නබි තුමා පෙන්වා දුන්නේ නැත. නබිතුමා පවසා තිබෙන්නේ ජනාසාව භූමිදානය සඳහා සුදානම් කල විගස එය හැකි ඉක්මනින් වළලන ලෙසයි.

ජනාසාව භූමිදානය කිරීමෙන් පසු කබර් (සොහොන ) අසල අසාන් කීම නබි තුමා පෙන්වාදුන් ක්‍රියාවක් නොවේ. එසේ තිබියදී යම් කෙනෙක් එය නොකලොත් විශාල වරදක් කළා සේ සලකන උදවිය බොහෝ සිටින්නේය. එපමනක් නොව සොහොන වැසූ පසු එම ස්ථානයේ සිට 'තල්කින්' (දේවදුතයින් අසනු ලබන ප්‍රශ්න වලට පිළිතුරු)  කියා දීමත් දහමේ අංගයක් නොවේ. තවද ජනාසා කටයුතු අවසන් කල පසු එම ස්ථානයේ සිට යාසින් සුරාව පරයනය කර දුආ ප්‍රර්ථනා කරන්නේය. එහෙත් එය දහමට අලුත් දෙයක් වේ. හදිස් වලට අනුව යාසින් සුරාව පාරායනය කළ යුත්තේ කෙනෙකුගේ මරණාසන්න අවස්ථාවේදීය. අනෙක් අතට නබිතුමා පවසා තිබෙන්නේ ජනාසාවක් භූමිදානය කල පසු තම සහෝදරයා වෙනුවෙන් (තනි තනිව) ප්‍රර්ථනා කරන ලෙසයි. 

ජනාසා සම්බන්දයෙන් සිදු කෙරෙන තවත් වැරැද්දක් නම් මළවුන් වෙනුවෙන් කලින් නියම කරගත් දිනවලදී කුරානය පාරයනය කොට එම පින මැරුණු තැනැත්තාට අනුමෝදම් කිරීමයි. ඉන් පසු ඔහු වෙනුවෙන් දානයක් දෙන්නේය. එහෙත් ඉමාම් ශාෆි තුමා පවසන්නේ එවැනි කුසල් මියගිය තැනැත්තාට නොලැබෙන බවයි. (අවුන් අල්-මාබුද් vol 3:77). 

මෙම කරුණු අනුව පෙනී යන්නේ මුස්ලිම්වරයෙකු කරන සෑම ක්‍රියාවක් ගැනම දැනුවත්ව සිටිය යුතු බවයි. 


By Fasy Ajward B.Sc(PhysicsSpecial)Hons,Japura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)