කඃබාවේ ඉතිහාසය සහ ඉබ්‍රාහිම් නබිතුමා (History of Kaaba and Prophet Ibrahim)




අල්ලාහ් දෙවිඳුන්ව නැමදිම සඳහා ස්ථාපනය කරන ලද මුල්ම දේවස්ථානය අල්කඃබාව වේ. ඒ අනුව එය ලෝකයේ ඇති ඉපැරණිම දේවස්ථානය වන්නේය. කාලයාගේ ඇවෑමෙන් එය කැඩී බිඳී ගිය අතර එම දේවස්ථානය නැවතත් එම ස්ථානයේම ප්‍රති නිර්මාණය කලේ ඉබ්‍රාහිම් සහ ඔහුගේ පුත් ඉසමායිල් යන නබිවරුන් දෙදෙනා විසින් ය. ඔවුන්ගෙන් පසුද එය නැවත නැවත අලුත් වැඩියා කොට තිබේ. ඒ අනුව මුහම්මද් නබිතුමාගේ තරුණ කාලයේදී එය කුරෙයිෂ් වරුන් විසින් එක් වරක් ප්‍රති නිර්මාණය කොට තිබේ. එම අවස්ථාවේදී හජ්රේ අස්වද් ගල ඊට නියමිත ස්ථානයේ තැන්පත් කිරීමේ භාග්‍ය හිමිවී ඇත්තේ මුහම්මද් නබිතුමාටය. මෙම දේවස්ථානය නබිතුමාගේ වියෝවෙන් පසුද ප්‍රති නිර්මාණය කොට ඇත. 

ඉබ්‍රාහිම් නබි තුමා එම දේවස්ථානය නිර්මාණය කිරීමේදී නැගසිටි ගල මත ඉබ්‍රාහිම් තුමාගේ පා සලකුණ සටහන් වී තිබේ. එය අදටත් කව්බාව අසල ඇති විදුරු පෙට්ටියක තැන්පත් කොට තිබේ.. කෙසේ වෙතත් එම පා සලකුණට ඉස්ලාම් දහම තුල අධ්‍යාත්මික වටිනාකමක් ලැබෙන්නේ නැත..

කව්බාව නිර්මාණය කලේ අල්ලාහ්ට පමණක් නැමදිම සඳහා වුවත් කාලයාගේ ඇවෑමෙන් එහි මිය ගිය සාස්තෘ වරුන්ගේ පිලිරු තැන්පත් කරනු ලැබිය. පසුව ඒවාට නැමදීම පවා සිදු කරනු ලැබිය. ඒ අනුව නබිතුමාගේ සම්ප්‍රාප්තිය සිදු වන විට එහි නොයෙකුත් නම් වලින් පිළිම තුන්සිය හැටක් තැන්පත් කොට තිබුනේය. නබිතුමාට පැවරුණු කාර්‍ය භාරය වුයේ නැවතත් ඒකදේව වාදය ස්ථාපනය කිරීම යි. ඒ අනුව එම පිළිම වලට වඳිම වෙනුවට අල්ලාහ්ට පමණක් නැමදිම සඳහා ජනතාවට අරාධනා කල යුතුව තිබුනේය.. 

කඃබාවේ එක් මුල්ලක ස්වර්ගයෙන් පහලවූ ගලක් තැන්පත් කොට තිබේ. එය "හජ්රේ අස්වද්" යනුවෙන් හඳුන්වනු ලැබේ. හජ් වන්දනය සඳහා යන බැතිමතුන් එය සිප ගන්නෝය. එහෙත් ඊට විශේෂ අධ්‍යාත්මික වටිනාකමක් ලබා දී නැත. ඒ අනුව කලීෆා උමර් රලි තුමා වරක් මෙසේ පවසා ඇත. "මෙය නිකම්ම ගලක් පමණි, මෙමගින් මිනිසාට හොඳක් හෝ නරකක් කල නොහැකිය, එහෙත් නබිතුමා එය සිපගත් බැවින් මා ද එය සිපගනිමි".

කව්බා දේවස්ථානය නබිත්වයට පෙර කාලයේදී පවා මිනිසුන් විසින් වසරක් පාසා වන්දනාමාන කිරීමට පැමිණ ඇත. තවද ඒ ආශ්‍රිතව වාර්ෂිකව උත්සවයක් පවත්වා තිබේ. එම උත්සවය නිසා මක්කා වාසීන්ට ආර්ථික වශයෙන් බොහෝ ප්‍රයෝජන අත් විය. එම කරුණ සැලකිල්ලට ගත් අබ්‍රහා රජු කඃබාවවට යන ජනතාව තම රටට ගෙන්වා ගැනීම සඳහා යේමනයේ ද අලංකාර දේවස්ථානයක් නිර්මාණය කළේය. එහෙත් එම උත්සාහය සාර්ථක වුයේ නැත. කෙසේ වෙතත් යම් සිදුවීමක් නිසා අබ්‍රහා රජු තම අරමුණ කඃබාව ආක්‍රමණය කිරීමට තීරණය කළේය. මේ සඳහා ඔහු ඇත්සේනාවක් රැගෙන එහි පැමිණියේය. එසේ එන ගමනේදී අබ්‍රහගේ සොල්දාදුවන් විසින් අබ්දුල් මුත්තලිබ් තුමාගේ ඔටුවන් කොල්ල කා තිබේ. එහෙත් එම අවස්ථාවේදී එය නැවත ලබා ගැනීම වෙනුවෙන් සටන් කිරීමට තරම් අබ්දුල් මුත්තලිබ් ශක්තිමත් නොවිය. කව්බාව ආක්‍රමණය කිරීමට අබ්‍රහගේ සේනාව පැමිණෙන බව සැලවීමත් සමග මක්කාවාසින් සියලු දෙනා අසල පිහිටි කඳු මුදුන් වලට නැග ගත්තෝය. එහෙත් ආබ්‍රහගේ සේනාව විසින් අබ්දුල් මුත්තලිබ් ගේ ඔටුවන් කොල්ලකාගත් බව ආරංචි වී ඔහු ඒ ගැන විමසීමට අබ්දුල් මුත්තලිබ් තුමා ආබ්‍රහ වෙත ගියේය. අබ්දුල් මුත්තලිබ් ගේ පැමිණීම දුටු ඔහු සිතුවේ ඔහු පැමිණෙන්නේ සාමය වෙනුවෙන් සාකජ්ජා කිරීමට බවයි. එහෙත් ආබ්‍රහ පුදුමයට පත් වුයේ අබ්දුල් මුත්තලිබ් ගේ කතාව ඇසීමෙනි. ඔහු ගොස් තිබුනේ ඔහුගේ ඔටුවන් ගැන විමසීමට මිස කව්බාව ගැන කතා බහ කිරීමට නොවේ. අබ්‍රහා තමන් පැමිණි අරමුණ පැහැදිලි කළ විට අබ්දුල් මුත්තලිබ් දුන් පිළිතුර වුයේ, “මා පැමිණියේ මගේ ඔටුවන් රැගෙන යාමටයි, කව්බාවේ අයිතිකරු අල්ලාහු ත'ආලා බැවින් එය රැක ගැනීමේ වගකීම ඔහු සතුයි” යනුවෙනි.

මෙම ආක්‍රමණය සිදු වුයේ නබිතුමා බිහි වූ වසරේදීය. තවද මෙම සිදුවීම අලලා අල්කුරානයේ එක් සුරාවක් පහල කොට තිබේ.එම සුරාව අනුව අල්ලාහු ත’ආලා මේ හස්තියන් සමග යුද්ධ කිරීමට විශාල සේනාවක් පිටත් කර නැත. ඒ වෙනුවට කුඩා ගල් කැට රැගත් ‘අබාබිල්’ නමැති පක්ෂීන් රැලක් යවා තිබේ. මේ පක්ෂීන් විසින් හෙලන ලද ගල්කැට නිසා අබ්‍රහගේ සේනාව විනාශයට පත් විය.

නබිතුමා උපදින විට කඃබාවේ යතුර භාරව සිටියේ ඔහුගේ සීයා වන අබ්දුල් මුත්තලිබ් තුමාය. නබිත්වයට පෙර සිටම මක්කා වාසින් අල්ලාහ් ගේ දේවත්වය පිළිගෙන සිටියෝය. එහෙත් මක්කා වැසියෝ මෙම කඃබාව තුල පිළිම තුන්සිය හැටක් තබා ඒවායේ මාර්ගයෙන් අල්ලාහ්ට කන්නලව් කළෝය. මෙම පිළිම හුබාල් (Hubal), ලාත්, උzස්සා (Uzza), මනාත් (Manath) වැනි නම් වලින් හැඳින්වුහ. (ඇතැමුන් සිතන විදියට එහි බුදු පිළිම තිබුනේ නැත) මෙම පිළිම තුන්සිය හැටපහ වෙනුවට එක් දෙවියෙකු පෙන්වා දීම නිසා නබිතුමාට බොහෝ තාඩන පීඩන වලට මහුණ දීමට සිදු විය. පසුව තමන් ඉපදී හැදුනු වැදුණු මක්කාව හැර යාමටත් සිදු විය. එහෙත් වසර දහයක් පමණ ඉතා සුළු කාලයකදී නැවත කිසිම ලේ වැගිරීමකින් තොරව මක්කාව නබිතුමා විසින් අත්පත් කර ගත්තේය.

අද මිලියන හයක් පමණ දෙනා වසරක් පාසා හජ් වන්දනය වෙනුවෙන් මෙම පුජනිය ස්ථානය වෙත ගමන් ගන්නෝය. මිට අමතරව වසර පුරා උම්රා වන්දනය කිරීම සඳහා ලොව නන්දෙසින් මුස්ලිම් බැතිමතුන් මෙම දේවස්ථානය වෙත පමිනේන්නෝ ය. මෙම මස්ජිදයේ කරන එක් කුසලක් ලොව ඇති අනෙක් මස්ජිදයක කරන කුසලට වඩා ලක්‍ෂ වාරයක් පිනෙන් අධිකය.

මෙම දේවස්ථානය ලොව වෙසෙන බිලියන දෙකක් පමණ වන ජනතාවගේ වන්දානා කිරීමේ කෙන්ද්‍රස්තානයවේ. මුලිම්වරයෙකු ලොව කුමන ස්ථානයක සලාතය ඉටුකලත් ඔහු කඃබාව දෙස හැරී සිටිය යුතුය. මෙමගින් මුස්ලිම් වරුන්ගේ සහෝදරත්වය සංකේතවත් කෙරෙන්නේය.

මක්කා නගරය ගැන කියනවිට තවත් වැදගත් සොයාගැනීමක් නොකියාම බැරිය. ලෝකයේ මැවීම් ගැන සලකාබලන කල සියල්ල යම් ගණිතමය අනුපාතයකට පිහිටා ඇති බවක් පෙනේ. මෙම අනුපාතය "The golden ratio" යනුවෙන් නම් කර ඇත. එහි සංක්‍යාත්මක අගය 1:618 යනුවෙන් ගනිතාඥයින් විසින් සොයාගෙන ඇත. භුමියේ මෙම ස්ථානය හරියටම පිහිටන්නේ මක්කා නගරයට බව ඔවුන්ගේ සොයාගැනීමයි. මේ අනුව මක්කා නගරයේ පිහිටීම දෙවියන් තෝරාගෙන ඇත්තේ සෑම මිනිසාටම සාධාරණයක් වන මද්‍යම ස්ථානයක් බව කිව යුතුය. මේ කරුණ පහත යොමුවෙන් වඩාත් හොඳින් නැරඹිය හැකිය.
By Fasy Ajward.

Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)