ඉස්ලාමයට අනුව හදවත දැඩි වීමට බලපාන සාදක (Factors that cause hardening of the heart according to Islam)



මිනිස් ක්‍රියාකාරකම් සහ හදවත අතර විෂම චක්‍රයක් ක්‍රියා කරන්නේය. ඒ අනුව මිනිස් සිතුවිලි දුෂිත වන තරමට මිනිසාගේ ක්‍රියාකාරකම් ද දුෂිත වේ. අනෙක් අතට මිනිසාගේ ක්‍රියාකාරකම් දුෂිත වන විට හදවත දුෂිත වේ. මේ නිසා හදවත සම්බන්දයෙන් නබිතුමා මෙසේ පවසා ඇත. 

"ප්‍රවේසම්වනු, ඔබගේ ශරීරයේ මස් කැදැල්ලක් ඇත. එය නිරෝගී වූ විට මුළු ශරීරයම නිරෝගී වන්නේය. එය දුෂිත වූ විට මුළු ශරීරයම දුෂිත වන්නේය. දැනගනු එය හදවතයි"  

කෙසේ වෙතත් ඉස්ලාම් දහම අනුව හදවත දුෂිත වීමට බලපාන ඇතැම කරුණු ඉස්ලාම් නොවන සමාජය දකින්නේ වෙනස් අකාරයකට ය. ඒ අනුව අධික ලෙස විහිළු තහළු කිරීමත් සිනහවිමත් හදවත දැඩි වීමට බලපාන බව ඉස්ලාමීය විශ්වාසය වුවද මුස්ලිම් නොවන සමාජය ඒවා දකින්නේ හදවත ශක්තිමත් කරන දේවල් ලෙසය. මෙම පරස්පරතාවය නිසා මුස්ලිම්වරුන් සැමවිටම ඉස්ලාමිය ඉගැන්වීම් කෙරෙහි විශ්වාසය තැබිය යුතු වේ.

අල්ලාහ් ගැන කිසිම සඳහනක් නොකර අධික ලෙස කතා කිරීමද සිත් දැඩි වීමට බලපාන බව නබිතුමා පවසා තිබේ. 

"අල්ලාහ්ව මෙනෙහි නොකර අධික ලෙස කතා නොකරනු. ඇයිද යත් අල්ලාහ්ව සිහි නොකර අධික ලෙස කතා කිරීමෙන් හදවත දැඩි වන්නේය. අල්ලාහ්ගෙන් වැඩියෙන්ම දුරස්ථ මිනිසා හදවත දැඩි මිනිසා ය" දැනුම් දෙන්නේ අබ්දුල්ලා ඉබ්නු උමර්, මුලාශ්‍රය තිර්මිසි 2274.

එක් අවස්ථාවකදී නබිතුමාගේ අනුගාමිකයෙක් පැමිණ ඔහුගේ හදවත දැඩි බව පවසා ඇත. ඊට පිළිතුරු වශයෙන් නබිතුමා පවසා ඇත්තේ අනාත දරුවන්ට උදව් උපකාර කරන  ලෙසය. එය ක්‍රියාවට නැංවීමෙන් සිත්වලට ප්‍රතිකාර කල හැකිය. සිත්වලට ප්‍රතිකාර නොකර කොපමණ පින් දහම් කලත් ඔහු අල්ලාහ්ගෙන් දුරස් වන්නේය. 

මිනිසා තම පහත් ආශාවන්ට වහල් වීමත් අල්ලාහ්ගෙන් දුරස් වීමට හේතුවකි. එය විෂම චක්‍රයක් ලෙස ක්‍රියා කරන්නේය. මෙවැනි හදවත් වලට අල්ලාහ් තිර දමන්නේය. එවැනි කෙනෙකුට නිවැරදි මාර්ගය සොයා ගත හැකි වන්නේ නැත. එය මිනිසා මෙලොවදී ලබන විශාල දඬුවමකි. 

අල්ලාහ් අල් කුරානයේ මෙසේ ප්‍රශ්න කරන්නේය. "තම මනෝ ඉජ්ජාව තමාගේ දෙවියන් ලෙස පත්කර ගත් තැනැත්තාව නුඹ බැලුවෙහිද? අල්ලාහ් (ඔහු එසේ යැයි) හොඳින් දැනගෙන ඔහුව නොමගෙහි හැරියේය. තවද, ඔහුගේ කන්වලද, හදවතෙහිද මුද්‍රා තබා ඔහුගේ දෘෂ්ටියෙහිද තිරයක් ඇති කළේය. අල්ලාහ් හැර ඔහුව යහ මගෙහි යවන්නා කවරෙක්ද? නුඹලා (මේ ගැන) මෙනෙහි නොකරන්නෙහිද?" (කුරානය 45:23).

අධික ලෙස උදරය පිරවීමත් මනසට බලපෑම් ඇති කරන්නේය. එමගින් මිනිසා අලස වන අතර අල්ලාහ්ව මෙනෙහි කිරීමට පෙළඹෙන්නේ නැත. එහි ප්‍රතිපලයක් ලෙස හදවත දැඩි වේ. කෙසේ වෙතත් මුස්ලිම්වරුන් වසරකට වරක් උපවාස කිරීම නිසා එම තත්වයෙන් මිදීමට පුහුණුවක් ලබා ගන්නේය.

ලෞකික දේවල් කෙරෙහි අධික ලෙස කාලය වැය කිරීමද මනස දැඩි වීමට හේතුවකි. කෙසේ වෙතත් මුස්ලිම්වරුන් zසකාත් සහ අනෙක් දානමය පින්කම් කිරීමෙන් ලෞකික ආශාවන්ගෙන් තරමක් හෝ නිදහස් වන්නේය. 

මිනිස් ජිවිතය තාවකාලික එකකි. එබැවින් මිනිසාගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ මරණයෙන් පසු ජීවිතය ජය ගැනීමයි. එය කල හැක්කේ හදවත අන්ද නොවූ කෙනෙකුටය. එම නිසා මිනිසා තම හදවත කෙරෙහි විශේෂ උනන්දුවෙන් ක්‍රියා කිරීමට කටයුතු කල යුතුය. 

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)