ඉස්ලාමයට අනුව දරුවන් සඳහා දෙමාපියන්ගේ වගකීම් ( Parental responsibilities for children according to Islam)


ඉස්ලාම් දහම අනුව දරුවන්ට නිවැරදි ආගමික දැනුම ලබා දීම ප්‍රධාන වගකීමකි. මේ නිසා එය නිවසේදීම ආරම්භ කල යුතුව තිබේ. දරුවන්ගේ මුලික අධ්‍යාපනය සිදු විය යුත්තේ පෙර පාසලට කලින් දෙමව්පියන් ළඟය. එම අදියර දරුවන් කෙනෙකුගේ ක්‍රියාකාරකම් බලා හදාරන කාලයයි. ඒ අනුව දෙමව්පියන් කරන සෑම දෙයක්ම දහමින් පෙන්වා ඇති පරිදි සිදු කිරීම ඉතා වැදගත් ය. මේ නිසා ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් විලාසිතා, ආගමික කටයුතු, කතා විලාසයන් ඉතා මැනවින් පාලනය කල යුතු කාලය වේ.

ළමුන් එක් වයස් සීමාවක් පසු කල පසු ඔවුන්ට ආදරය කරුණාව පෙන්වන ගමන්ම වේවැලකින් දඬුවම් කිරීමටද අමතක නොකළ යුතුය. මෙවැනි දඬුවම් මුලදීම නොකළහොත් පසුවට දුක් වනු ඇත. අවම තරමින් දරුවන්ට පෙනෙන පරිදි නිවසේ වේවැලක් එල්ලා තැබීමට කටයුතු කිරීම ඉතා වැදගත් ය. කිසිම අවස්ථාවකදී අතින් පයින් ළමයින්ට දඬුවම් නොකල යුතු වන්නේ එවැනි ක්‍රියා මගින් ඔවුන්ගේ මනසට විශාල හානියක් සිදු කල හැකි නිසාය.

ළමුන් ස්වඋත්සාහයෙන් කරන සියළුම දේවල් වලට තහංචි දැමීම නොකළ යුතුය. එසේ කිරීමෙන් ඔවුන්ගේ මානසික වර්ධනය අඩු වන බව විද්වතුන්ගේ මතය වේ. කෙසේ වෙත්ත ළමුන් කරන කාර්යයන් කෙරෙහි දෙමව්පියන් අධීක්ෂණය කල යුතුය. ළමුන්ගේ ක්‍රියාවන් සහ උත්සාහයන් ධෛරිය මත් කිරීමෙන් ඔවුන්ගේ මනස දියුණු වීමට හේතුවක් වන්නේය.

අද අපි ජිවත් වන්නේ අධාපනයට වැඩි සැලකිල්ලක් දක්වන කාලයක වේ. මේ නිසා ළමුන්ට ශාරීරික ක්‍රියා කාරකම් වලට ලැබෙන අවස්තාවන් බෙහෙවින් අඩුවී ඇත. එය නිරෝගී ජිවිතයකට විශාල බාදාවකි. එහි ප්‍රතිපලයක් ලෙස කුඩා කාලයේදීම තරබාරුකම සහ දියවැඩියාව ඇති වීමට හේතුවක් වී තිබේ.

බොහෝ ළමුන්ට සමාජ ආශ්‍රය ලැබෙන්නේ ඉතා අඩුවෙනි. එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් තම ළඟම ඥාතින් පවා නාඳුනන තත්වයකට පත්ව තිබීම ඉතා බැරෑරුම් කරුණක් වන්නේය. ඉස්ලාම් දහම අනුව නෑදෑයින් ට විශාල උරුමයක් තිබේ. නෑදෑයින් ගෙන් වෙන්ව සිටීම දෙවියනේ කෝපයට හේතුවක් වන්නේය. එසේම අසල්වැසියන් කුමන ආගමකට කුමන ජාතියකට අයත් වුවත් ඔවුන් සමග ආශ්‍රය කිරීමට කුඩා කාලයේදීම පුහුණු කල යුතුය.

බුදු දහම අනුව දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට හිස නමා හෝ දණගසා වැඳීම වරදක් නොවේ. එහෙත් ඉස්ලාම් දහම අනුව එය විශාල වරදකි. එමගින් ඉස්ලාම් දහමේ මුලික සිද්ධාන්තයක් උල්ලංගනය වන්නේය. ඉස්ලාම් දහම අනුව නැමදීමට සුදුසු එකම තැනැත්තා අල්ලාහ් ය. ඔහුට හැර වෙන කිසිම කෙනෙකුට හෝ වස්තුවකට හිස නමා නැමදුම් කල නොහැකිය. පහත දැක්වෙන කුර්ආන් වැකිය තුල දෙවියන්ට කල යුතු කොටස සහ දෙමව්පියන්ට කල යුතු කොටස ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ.

“ඔබගේ දෙවියන් ඔහුට පමණක් නමදින ලෙස ඔබට නියම කර ඇත. තවද ඔබ ඔබගේ  දෙමව්පියන්ට  කෘතඥවිය යුතුය. ඔවුන් දෙදෙනාම හෝ එක්කෙනෙකු ඔබගේ ජිවිත කාලය තුල දී මහලු වියට පත් වූයේ නම් ඔවුන්ට අගව්රව වන ආකාරයේ කිසිම වචනයක් නොකියනු. ඔවුන් වෙත බැන නොවදිනු, ඔවුන්ට ගෞරවයෙන් ආමන්ත්‍රණ කරනු. ඔවුන් හට යටහත් පහත්ව නිහතමානීව කරුණාව දක්වනු. තවද පවසනු: මාගේ දෙවියනි, මා කුඩාකල සිට හදාවඩාගත් ඔවූන් වෙනුවෙන් ඔබගේ කරුණාව දක්වනු මැනව” (Q 17:23,24).   

පාසලේදී මුස්ලිම් නොවන ගුරුවරුන් ඉහත සඳහන් කල කරුණු ගැන දැනගෙන සිටීම බෙහෙවින් ප්‍රයෝජනවත්ය. මේ නිසා දෙමව්පියන් පාසලට ගොස් ගුරුවරුන්ව හමුවී ඉතා කරුණාවෙන් මෙම කරුණ පැහැදිලිකර දීම අත්‍යවශ්‍ය කරුණකි. 

දෙමව්පියන් වශයෙන් තම දරුවන්ට වයස 7 දී නැමදීමට පුරුදු කල යුතුය. ඒ සඳහා අවශ්‍ය ගාථාවන් කියා දිය යුතුය. පහත දැක්වෙන හදිසයෙන් එය පැහැදිලි වන්නේය.

“අබ්දුල්ලා ඉබ්නු මසුද් රලි තුමා පවසන වගනම්: මා නබිතුමාගෙන් හොඳම පින (virtue) කුමක්දැය් ඇසුවෙමි. එවිට නබිතුමා, “සලාතය ප්‍රමාදයෙන් තොරව එයට නියමිත වෙලාවේදී ඉටුකිරීම” යනුවෙන් පැවසුවේය. ඉන්පසු හොඳම පින කුමක්දය් මා නබිතුමාගෙන් නැවත ඇසුවෙමි. එවිට නබිතුමා, “දෙමාපියන්ට හොඳින් සැලකීම සහ ඔවුන්ට කීකරු වීම” යනුවෙන් පැවසුවේය. ඉන්පසු ඇති හොඳම පින කුමක්දැයි නැවත ඇසුවෙමි. එවිට නබිතුමා, “අල්ලාහ් වෙනුවෙන් ජිහාද් කිරීම” යනුවෙන් පැවසුවේය. ඉන් එහා කිසිවක් මා නබිතුමාගෙන් ප්‍රශ්න කලේ නැත. මා තවත් ප්‍රශ්න අසා තිබුනේ නම් නබිතුමා ඒවාටත් පිළිතුරු දෙනු ඇත”. 

දරුවන්ට කුඩා කාලයේදී නිසි ආගමික දැනුම ලබා නොදී ලෞකික අධ්‍යාපනයට පමණක් මුල් තැන දුන් දෙමව්පියන් අද දුක්වනු දැකිය හැකිය. ඊට හේතුව ළමයින්ට දෙමව්පියන්ගේ වටිනාකම කුඩා කාලයේදී කියා නොදීමය. ඇතැම් දරුවන් ලොකු වූ පසු දෙමව්පියන්ට ඉතා නින්දිත ආකාරයට සැලකු අවස්ථා ඔනෑ තරම් අසන්නට දකින්නට ලැබෙන්නේය. එම වරදට ළමයින් වෙනුවෙන් නිසි ආගමික දැනුම ලබා නොදුන් දෙමව්පියන්ද කොටස් කරුවෝ වෙති. 


By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)