zසුල් හජ් මාසයේ මුල් දින දහය (The first ten days of Dhu’l-Hijjah)


මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාගේ අනුගාමිකයින්ට කුසල් කිරීමට විශේෂ වූ දිනයන් අල්ලාහ් විසින් නියම කොට ඇත. එහෙත් ඒවා අනිර්වාර්ය කර නැත. මෙම දිනයන් වන්නේ උපවාස සමයේ ලෛලතුල් කදර් රාත්‍රිය, zසුල් හජ් මාසයේ මුල් දින දහය, අරෆා දිනය සහ ආෂුරා දහවන දිනය වේ. මෙම දිනයන්හිදී කරනු ලබන කුසල් වලට සාමාන්‍ය දිනවලදී කරනු ලබන කුසල්වලට වඩා අතිශයින් විශාල ආනිසංස හිමි වන්නේය. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම එම අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සෑම උත්සාහයක්ම ගැනීම වැදගත් වේ. 

ඉබ්නු අබ්බාස් (රලි) තුමා නබිතුමා ගේ හදිසයක් මෙසේ විස්තර කොට තිබේ. අල්ලාහ්ට zසුල් හජ් මාසයේ මෙම දින දහය තුලදී කරනු ලබන පින් දහම් තරම් කැමති දෙයක් තවත් නැතැ'යි නබිතුමා පවසා තිබේ. එවිට සහාබාවරු, “අල්ලාහ් වෙනුවෙන් කරනු ලබන ජිහාද් වලටත් වඩා දැයි” විමසා තිබේ. එවිට නබිතුම, “අල්ලාහ් වෙනුවෙන් කරනු ලබන ජිහාද් වලටත් වඩා යැයි පැවසූ ඔහු කෙනෙක් තමන්ගේ ජීවිතය සහ සියළු වස්තුව අල්ලාහ් වෙනුවෙන් පරිත්‍යාග කොට හිස් අතින් පැමිණෙන තැනැත්තා හැරුණු විට යැයි” දැනුම් දී ඇත (බුහාරි 2/457).

අල්ලාහ් යම් දෙයක් මත දිව්රන්නේ නම් එහි සැබෑ වටිනාකමක් තිබිය යුතුය. ඒ අනුව අල්-කුරානයේ පවසා ඇති දින දහය මත අල්ලාහ් දිව්රා පැවසීමෙන් එහි ඇති වැදගත්කම දැක ගත හැකි වේ. අල්-කුරානයේ එම කරුණ මෙසේ ද සඳහන් කොට තිබේ.

“අළුයම මතද රාත්‍රීන් දහයක් මතද ඔත්ත ඉරට්ට (සලාතය) මතද නික්ම යන රාත්‍රිය මතද සත්තකින්ම! (ප්‍රශ්න ගණනය කරන දින අනිවාර්‍යයෙන්ම පැමිණෙන්නේය)” (කුරානය 89:1-4).

ඉබ්නු අබ්බාස්, ඉබ්නු ජුබෛර්, මුජාහිද් සහ තවත් විද්වතුන් ගණනාවක්ම කියා සිටින්නේ ඉහත සඳහන් දින දහයෙන් සනිටුහන් වන්නේ zසුල් හජ් මාසයේ මුල් දින දහය බවයි.

මේ නිසා නබිතුමා පවසා ඇත්තේ මේ දිනවල වැඩි වැඩියෙන් සුබහානල්ලාහ්, අල්හම්දුලිල්ලාහ්, අල්ලාහු අක්බර් යැයි පවසන ලෙසය (අහමද් 7/224).

මෙම විශේෂ දින දහය ඇතුලත අරෆා දිනය අඩංගු වේ. එම දිනයේදී අල්ලාහ් ඔහුගේ දහම සම්පුර්ණ කළේය. තවද එම දිනයේදී ඉටු කරන උපවාස නිසා එම දිනයට පෙර වසරේත් ඊට පසු වසරේත් පව් සමා කරනු ලබන බව හදිස් වල දැක්වේ. 

තවද යව්මුල් තශ්රික් දිනයන්හිදී උළුහියියා ඉටු කිරීම විශාල පුණ්‍ය කර්මයකි. හැකියාව ඇති සියළුදෙනාටම එය ඉටුකරන ලෙස නබිතුමා පවසා තිබේ. ඇයිද යත් අල්ලාහ් එය ඉතාමත් කැමති කුසල් ක්‍රියාවක් නිසාය. උලුහියා දීමට අදහස් කරන අය එය ඉටුකරන තුරු zසුල් හජ් මාසයේ මුල් දිනයේ සිටම නියපොතු සහ කෙස් කැපීම නොකළ යුතුය. එම කොන්දේසි බලපාන්නේ උළුහියියා දෙන පුද්ගලයාට පමණි. ඒ අනුව ඔහුගේ භාර්යාවට හෝ දරුවන්ට එය බලපාන්නේ නැත.


Comments

Popular posts from this blog

ඉස්ලාම් දහම තුල අධ්‍යාපනයට ඇති වැදගත්කම (The importance of education in Islam)

දෙවියන් මිනිසාට ලබා දී ඇති දායාදයන් ගැන ඔබ සිතා බැලුවාද? (Have you thought about the gifts God has given to man?)

ඉස්ලාමයේ දෙවන කුළුණ වන සලාතය (Salat, the second pillar of Islam)