කාළයේ වටිනාකම (The importance of time)


දෙවියන්ගේ නිර්මාණ අතරින් කාලයද මිල කළ නොහැකි සම්පතකි. සෑම මිනිසෙකුටම මෙම වටිනා කාලයෙන් කොටසක් ලැබී ඇත. එසේ නියම කොට ඇති මෙම වටිනා කාලය අවසාන වූ වහාම මරණයට පත් වනූ ඇත. කිසිවෙකුට මහළුවූ පසු කාලය ආපස්සට හරවා නැවතත් තරුණයෙකු වීමට නොහැකිය. මෙම වැදගත් කරුණ හොඳින් තේරුම් ගත් කිසිවෙකු කාලය අපතේ නොහරිනු ඇත. එහෙත් ඇතැම් උදවිය ජිවිතයේ අරමුණ නිසි අයුරින් තේරුම් නොගැනීම නිසා මෙම වටිනා කාලය අපතේ හරිති.

අල්-කුරානයේ එක් සුරාවකින් පවසා ඇත්තේ සෑම මිනිසෙකුම ජිවිතයේ පාඩු ලබන බවයි. එහෙත් මින් එක් පිරිසක් ඊට අයත් නොවන බවත් පවසා ඇත.

"කාලය කෙරෙහි දිවුරා පවසමි! නියතව මිනිසා පාඩුවෙහිම සිටියි. (නමුත්) කවරහු විශ්වාස කර, යහකම් කර, සත්‍ය මගින් එකිනෙකාට උපදෙස් කර, තවද ඉවසීම මගින් උපදෙස් සිටියෝද ඔවුන් හැරය" (කුරානය 103: 1-3).

මෙහි ඇති විශේෂය වන්නේ දෙවියන් කාලය කෙරෙහි දිව්රා තිබීමය. එයද 'අසර්' වෙලාව හෙවත් මිනිසාට කාර්ය බහුල සන්ද්‍යා කාලය වීම විශේෂයකි. එම අවස්ථාව බොහෝ දෙනෙකු ව්‍යාපාර කටයුතුවල නියැලෙන අවස්ථාවකි. එම දිව්රීමෙන් පසු මුලින්ම පවසා ඇත්තේ දෙවියන් කෙරෙහි විශ්වාසය තැබීම කෙරෙහිය. සැබැවින්ම එම විශ්වාසය නොමැති මිනිසා සදාකල් පාඩුවක්ම ලබන බව අමුතුවෙන් කිව යුතු නැත. මිනිසා නිර්මාණය කොට ඔහුගේ සෑම අවශ්‍යතාවක්ම ලබාදී තිබියදී දෙවියන් අමතක කොට වස්තුව රැස්කිරීම අරමුණු කොට ජිවත් වීම නිසා සිදුවන පාඩුව සුළු පටු එකක් නොවේ.

මිනිසාගේ මරණය සහ ජීවිතය මවා ඇත්තේ යහපත් ක්‍රියාවන් කරන්නේ කව්රුන්දැයි පරික්ෂා කර බැලීමටය. මෙම පරීක්ෂණය කුමන අයුරකින් පැමිණේදැයි කිසිවෙකුට කිව නොහැකිය. ඇතැමුන්ට වස්තුව ලැබීමෙන්ද, ඇතැමුන්ට නිරෝගී ජිවිතයක් ලැබීමෙන්ද තවත් සමහරෙකුට වස්තුව නැති වීමෙන්ද ලෙඩ දුක් වලින්ද පරික්ෂවට පත් විය හැකිය. මේ සෑම දෙයකටම වඩා කෙනෙකුට විවේකය සහ ශරීර සුවය ලැබීම විශාල භාග්‍යයකි. එහෙත් එහි වටිනාකම නොදත් කෙනෙකුට එම භාග්‍යය උදාවීමෙන් සිදු වන්නේ කාලය මෙලොවටත් එලොවටත් ප්‍රයෝජනයක් නොවන ආකාරයට වැය කිරීමය.

කෙනෙකුට අවස්ථාව ලැබුණු පසුත් එය ප්‍රයෝජනයට නොගෙන සිට මරණයට පත් වන්නේ නම් පසුතැවිලි වීමෙන් ඵලක් වන්නේ නැත.  අයිස් කැට දියවීමට පෙර ප්‍රයෝජනයට ගත යුතුය. එසේ නොකළේ නම් එය නිශ්කාරණයේ දියවී යනු ඇත. නැණවතා ද ඔහුට ලැබී ඇති සැම මොහොතක්ම තමන් මෙලොවට පැමිණි අරමුණ ඉතුකර ගැනීම සඳහා වෙහෙසිනු ඇත. උත්සාහයෙන් තොරව එය අත් කර ගැනීමට නොලැබෙන බව දැන ගත යුතුය.  

මිනිසා සත්ව ලෝකයේ උසස්ම මැවීමකි. එහෙත් අවාසනාවකට එම කරුණ බොහෝ අය තේරුම් ගෙන නැත. මිනිසාද තිරිසනා මෙන්ම කාලය ගැන තැකීමක් නොකොට ජිවත් වන්නේනම් මිනිසාටත් තිරිසනාටත් වෙනසක් දැකිය නොහැකිය. මිනිසාට බුද්ධියක් ලබා දී ඇත. ඔහුට කියවීමට සහ ලිවීමට හැකියාව ලබා දී ඇත. කතාකිරීමෙන් අදහස් හුවමාරු කිරීමට හැකියාව ලබා දී ඇත. කොටින්ම උසස් ජිවන තත්වයක් ලබා දී ඇත. මේ සියල්ල නිෂ්කාරණයේ ලබා දුන් ඒවා නොවන බව මිනිසා තේරුම් ගත යුතුය. දෙවියන් මේවා සියල්ල ලබා දී ඇත්තේ විශේෂ අරමුණක් සඳහාය. එම අරමුණ වන්නේ දෙවියන්ව තේරුම් ගෙන ඔහුට නමදිමය.

දෙවියන් මිනිසා අතුරින් නබිවරු තෝරාගෙන ඔවුන්ගේ මාර්ගයෙන් ආගම් පහළ කොට ඇත. මේ සෑම ආගමකින්ම මිනිසාගේ අරමුණ පැහැදිලි කොට තිබේ. අවසාන වරට පහල වූ අල්කුරණය මගින් දෙවියන් පහල කල ආගම් සියල්ල සම්පුර්ණ කොට තිබේ. මේවා හැදෑරීමට මිනිසා කාලය යෙදවිය යුතුය. එසේ කිරීමෙන් ඔහු මෙලොවට පැමිණි අරමුණ හරියාකාරව තේරුම් ගැනීමට හැකිවනු ඇත. එසේ කිරීමට අපොහොසත් වීමෙන් සිදු වන්නේ ජිවිතයේ අරමුණ කරා යාමට නොහැකි වීමය. එවැනි අයගේ එකම පැතුම මෙම තාවකාලික ජීවිතය සතුටින් ගත කිරීම විය හැකිය. එහෙත් එය නිවැරදි තීරණයක් නොවන බව මරණයෙන් පසු දැක ගැනීමට හැකි වනු ඇත. ජිවිතයේ අරමුණ දැනගැනීමට කාලය වැය නොකර මරණය දක්වා බලා සිටීමේ පාඩුව කිසිසේත්ම ආපසු හැරවිය නොහැකිය. මෙයින් සිදු වන්නේ අල්පෙක්ෂ ජිවිතයක් වෙනුවෙන් නිමක් නොමැති ජීවිතය ලංසුවට තැබීමකි.



By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
http://truepath1.blogspot.com/

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)