ඔබ නැමැදිය යුත්තේ කාටද? (To whom you should worship?)


ඕනෑම දෙයකට හෝ කෙනෙකුට නැමදුම් ලැබීමට නොහැකි බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. එහෙත් දේවත්වයෙන් නැමදීම සඳහා තිබිය යුතු සුදුසුකම් කුමක්දැයි දැනගැනීම මිනිසාට පැවරෙන ප්‍රධාන වගකීමකි. එම අවශ්‍යතාව ඉටු නොකර තමන්ට සිතෙන ඕනෑම දෙයකට නැමදීමෙන් ප්‍රයෝජනයක් අත්විය නොහැකි බව තේරුම් ගැනීමට මිනිස් බුද්ධිය හොඳටම ප්‍රමාණවත්ය. එබැවින් පරම්පරාවෙන් උරුම වූ දහමක් නිසි අයුරින් අධ්‍යයනය නොකර පිළිපැදීම බුද්ධි ගෝචර ක්‍රියාවක් වන්නේ නැත. ඒ අනුව කෙනෙකුගේ දෙමව්පියන් මුස්ලිම්වරයෙකු වීම නිසා හෝ හින්දු බක්තිකයෙකු වීම නිසා හෝ කිතුනුවෙකු වීම නිසා හෝ යුදෙව්වෙකු වීම නිසා හෝ බෞද්ධයෙකු වීම නිසා හෝ එම දහම පිළිපැදීම සුදුසු නොවේ. කව්රුන් හෝ එසේ කරන්නේ නම් ඔහු කරනු ලබන ඇදහිලි හුදෙක්ම නාම මාත්‍රික එකක් වනු ඇත.

නැමදීමට සුදුසුකම් තිබෙන තැනැත්තා (දෙවියන්) පිළිබද දැනගැනීමට නම් ගවේෂණයක යෙදිය යුතුය. අවම වශයෙන් දෙවියන් පහත දැක්වෙන කෙනෙක් විය නොහැකි බව තේරුම් ගත යුතුය. මරණයට පත් විය හැකි කෙනෙක්, උපතක් තිබෙන කෙනෙක්, අනුන්ගේ උදව් උපකාර අවශ්‍ය කෙනෙක් විය නොහැකිය. මේ හැර දෙවියන් සතු තව බොහෝ ලක්ෂණ දහම් පොත් හැදෑරීමෙන් අධ්‍යයනය කල හැකිය.

ලොව වෙසෙන විශාල පිරිසක් දෙවියන් පිලිබඳ විශ්වාසයක් ඇති අය වෙති. එහෙත් ඔවුන් අතර ඇති දේව විශ්වාසය එකිනෙකට වෙනස්ය. එබැවින් ඇතැම් අය තමන්ගේම අතින් කල නිර්මාණවලට නමදිති. ඇතැමුන් එක් දෙවියෙකුට වඩා විශ්වාස කරති. තවත් අය බූත බලවේගවලටද මළවුන්ට ද නමදිති. ඇතැමුන් පිළිම වන්දනාවේ යෙදෙති. කෙසේ වෙතත් මෙම ඇදහිලි දෙස බැලීමේදී ඒවා සියල්ල නැමදුම් ලැබීමට සුදුස්සෝ වේදැයි විද්‍යාත්මකව යොයා බැලිය යුතුය.

දෙවියන් පිළිබඳව හැදෑරීමට ඇති ප්‍රධාන ප්‍රභවයන් වන්නේ දෙවියන් විසින්ම පහල කල ආගම්ය. එහෙත් මෙහිදී ප්‍රවේසම් විය යුත්තේ එම ආගම් මිනිසාගේ මැදිහත්වීම් වලින් ආරක්ෂා වී තිබේදැයි සැක නැතිව දැනගැනීමය. අනෙක දෙවියන් පහල කල ආගම් ඒවා පහළ වූ ආකාරයෙන්ම සහ ඒවා පහල වූ භාෂාවෙන්ම තිබීම ඉතා වැදගත්ය. එසේ නොවේ නම පරිවර්තනය කිරීමේදී මිනිස් අදහස් ඒ තුලට ඇතුළු වීම කිසිසේත්ම වැළැක්විය නොහැකිය. තවත් වැදගත් කරුණක් වන්නේ දෙවියන් පහලකල ආගමක් තුල පරස්පරතාවයන් හෝ වැරදි කිසිවක් නොතිබීමය. අද ලොව තිබෙන ආගම් අතුරින් ඉහත සඳහන් කල සෑම අවශ්‍යතාවයක්ම සපුරාලන එකම දහම ඉස්ලාමය. මේ හැරුණු විට අල්-කුරානය දෙවියන්ගෙන් පහල වූ බව සනාථ කිරීමට අවශ්‍ය සාදක ඒ තුලම අන්තර්ගත වී තිබේ. මේවා පිලිබඳ මෙහි සඳහන් කළේ නම් විශාල ඉඩක් අවශ්‍ය විය හැකි බැවින් ඒවා වෙනමම සොයා දැනගත යුතුය.

අල්-කුරානයට අනුව දෙවියන්ගේ නිර්වචනය පහත දැක්වෙන පරිදි වේ.

"අල්ලාහ් එක් කෙනෙකුමයැයි (නබි) නුඹ පවසන්න! අල්ලාහ් ( කිසිම) අවශ්‍යතාවයක් නොමැත්තාය. ඔහු (කිසිවෙකුව) ප්‍රසූත කලේද නැත. ඔහු (කිසිවෙකුගෙන්) ප්‍රසූත වුයේද නැත. තවද, ඔහුට සමානව කිසිවෙකුද නොමැත." (කුරානය 112:1-4)

ඉහත කුර්ආන් පාඨය අනුව දෙවියන් එක්කෙනෙකි. විශ්වයේ භෞතික නීති සහ සැකසුම හැදැරීමේදී එය තහවුරු වන්නේය. තවද එක් දෙවියෙකුට වඩා සිටියේනම් ඔවුන් අතර ඇතිවිය හැකි ගැටුම් නිසා විශ්වය විනාශයට පත් වනු ඇත. එහෙත් එවැනි දෙයක් මේ දක්වා සිදුවී නොමැත. මේ නිසා විශ්වයට අධිපති එක් දෙවියෙකුට වඩා සිටිය නොහැකි බව තහවුරු වන්නේය.

දෙවියන් කිසිවෙකුගෙන් උදව් පතන කෙනෙකු විය නොහැකිය. තවද දෙවියන් මවකගේ කුසින් ප්‍රසූතිය ලැබූ කෙනෙකු විය නොහැකිය. එසේ වීම දෙවියන් හැර අනෙකුත් සෑම ජීවීයෙකුගේම ලක්ෂණයන්ය. එසේම දෙවියන් කිසිවෙකු ප්‍රසුත කරන්නේද නැත. දෙවියන් කිසිම අඩුපාඩුවක් නොමැති සර්ව සම්පුර්ණ කෙනෙකු විය යුතුය. ඔහුගේ මැවීම්වල දැකිය හැකි අඩුපාඩු කිසිවක් ඔහුවෙත තිබිය නොහැකිය. ඒ අනුව ඔහුට නින්ද හෝ මරණය සිදු විය නොහැකිය. එසේ වුයේ නම් විශ්වය විනාශයට පත් වනු ඇත. මේ සියල්ල ඉස්ලාම් දහමින් උගන්වා ඇති අල්ලාහ් දෙවියන් සතු වන්නේය. 

දෙවියන් ගැන අල්-කුරානයේ තවත් තැනක මෙසේ සඳහන්වී ඇත.

“අල්ලාහ්. (සැබවින්ම) නැමදුම් ලැබීමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙකු නොමැත. (ඔහු) රජුය, පිරිසිදුවන්තයාය, ශාන්තිය ලබා දෙන්නාය, ආරක්ෂාකරන්නාය, නිරික්ෂකයාය. සියල්ල අභිභවූ කෙනාද, බලයෙන් පාලනය කරන්නාද, විශාලවත්ව වර්ණනා කිරීමට අයත් කෙනාද වේ. ඔවුන් සමකරන දේ කෙරෙන් ඈත්වූ අල්ලාහ් සුවිශුද්ධ වන්තයාය. ඔහුමය, අල්ලාහ්. (ඔහු) මවන්නාද, අලුතින් ඇතිකරන්නාද, රූ සකසන්නාද වේ. ඔහුට ලස්සන නාමයන් ඇත. අහස් හා පොළොවෙහි ඇති දෑ ඔහුව සුවිශුද්ධ කරයි. ඔහු සියල්ල අභිභවූ කෙනාය; අධික ඥානවන්තයාය" (කුරානය 59:23-24).

දෙවියන්ගේ කිසිම ක්‍රියාවක් ඔහුගේ මැවීම්වල ක්‍රියාවන් සමග සැසඳිය නොහැකිය. එබැවින් දෙවියන්ගේ බැල්ම සහ ඔහුගේ මැවීම් වල බැල්ම හාත්පසින්ම එකිනෙකට වෙනස්ය. දෙවියන් එකම විට මුළු විශ්වයම බලන්නේය. එසේ කරන්නේ කෙසේදැයි මිනිසාගේ සීමිත දැනුමෙන් තේරුම් ගැනීමට නොහැකිය. එහෙත් ජිවින්ට බැලීම සඳහා ඇස්දෙක සහ ආලෝකය අවශ්‍යය. එහෙත් දෙවියන්ට ඒ වෙනුවෙන් කිසිම කොන්දේසියක් බලපාන්නේ නැත. එබැවින් දෙවියන් සහ ඔහුගේ මැවිම් අතර කිසිම ආකාරයක සැසඳිමක් කළ හොහැකිය. 

මැවීම දෙවියන්ට පමණක් ඇති ගුණාංගයකි. ඔහුට ඒ සඳහා කිසිවෙකුගේ උදව් උපකාර අවශ්‍ය වන්නේ නැත. එහෙත් මිනිසාට යම් දෙයක් නිර්මාණය කිරීමට දෙවියන්ගේ මැවීම්වල උදව් උපකාර අවශ්‍යය. දෙවියන් දෙයක් මැවීමට අදහස් කලේ නම් ඒ සඳහා නියෝගක් පමණක් සිදු කරන අතර වහා එය සිදු වන්නේය. එම කරුණ අල්-කුරානයේ මෙසේ සඳහන් වන්නේය.

"ඔහු කවර දෙයක් මැවීමට අදහස් කළත් එයට, 'කුන්' (වෙනු) යි පැවසීම පමණය; එවිගසම එය වන්නේය." (කුරානය 36;82). 

දෙවියන්ගේ මැවීම් සියල්ලම අංගසම්පුර්නය. ඒවා අමුතුවෙන් වෙනස් කිරීමට අවශ්‍ය නැත. එසේම සෑම ජීවියෙකුගේම පෝෂණය රඳා පවතින්නේ ඔහු වෙතමය. සියලුම මැවීම්වල සෑම අවශ්‍යතාවයක් සඳහා ඔහු වෙතින්ම උදව් පැතිය යුතුය. මේ නිසා සෑම ජීවියෙකුම ඔහුට සදා ණයගැතිය. මෙවැනි කරුණු නිසා සෑම ජීවියෙකුම දෙවියන්ට නැමදීමෙන් කෘතගුණ දැක්විය යුතුය. 

දෙවියන් මුළු විශ්වයම පාලනය කරන අතර ඔහුට නින්ද හෝ මද නින්ද ඇති වන්නේ නැත. නැමදීමට සුදුස්සා ඔහුම පමණි. ඔහුගේ කැමැත්ත නොමැතිව කිසිවෙකුට තවත් කෙනෙකු වෙනුවෙන් පෙනී සිටිය නොහැකිය. එබැවින් තම තමන්, තමන්ගේ විමුක්තිය වෙනුවෙන් අවශ්‍ය දේ සුදානම් කරගත යුතුය. මේ කරුණ ඉතා පැහැදිලිව අල්-කුරානයේ මෙසේ පවසා ඇත. 

“(සත්‍ය ලෙසම) නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත. ඔහු නිත්‍ය ජීවමානය සදාකාලිකය. මඳ නින්ද හෝ තද නින්ද හෝ ඔහුව නොඅල්වන්නේය. අහස්හි ඇති දේ ද පොළවෙහි ඇති දේද ඔහුටම හිමිය. ඔහුගේ අනුමැතිය නොමැතිව ඔහු හමුවෙහි කවරෙකුට මැදිහත්විය හැකිද? (මැවුම් වන) ඔවුන්ට පෙර ඇති දේ ද ඔවුන්ට පසු ඇති දේ ද ඔහු හොඳින් දනියි. ඔහු මනාපවු දේ හැර, ඔහු දැන සිටින දෙයින් කිසිවක් ඔවුන් විසින් දැනගත නොහැක. ඔහුගේ “කුර්සි” අහස්හිද පොලවෙහිද ව්‍යාප්තව පවතියි. ඒ දෙකම ආරක්‍ෂා කිරීම ඔහුට අපහසුවක් නොවේ. ඔහු වඩාත් උතුම් කෙනාද මහඟු බව ඇත්තාද වේ (කුරානය 2:255).

දෙවියන් එක්කෙනෙකු වුවද ඔහුට අලංකාර නාමයන් අනුනවයක් ඇති බව සඳහන්ය. ඒවා සියල්ල ඔහුගේ ගුණාංගයන්ය.  එම ඕනෑම නමකින් දෙවියන්ට ආමන්ත්‍රණය කල හැකිය. ඔහුගෙන් යදින සියල්ලන්ටම ඔහු ක්ෂණිකව හෝ ප්‍රමාද වී ප්‍රතිචාර දක්වනු ඇත.

ඇතැමුන් දෙවියන් බිහි වූ සැටි ප්‍රශ්න කරති. එහෙත් මේ ලිපිය මගින් පැහැදිලි කළේ දෙවියන්ට තිබිය යුතු ලක්ෂණයන්ය. ඒ අනුව දෙවියන්ට ආරම්භයක් නැතහොත් උපතක් තිබිය නොහැකි බව පැහැදිලි කොට ඇත. දෙවියන්ට උපතක් තිබුනේ නම් ඔහු දෙවිකෙනෙකු විය නොහැකි බව ලිපියෙන් පැහැදිලි කර ඇත.

By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.



Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)