ඉස්ලාමයේ දෙවන කුළුණ වන සලාතය (Salat, the second pillar of Islam)


මුස්ලිම්වරුන්ට අනිවාර්ය කොට ඇති කරුණු පහෙන් දෙවැන්න සලාතය වේ. එම නියෝගය නබිතුමාට ලැබෙන්නේ ඔහු අල්ලාහ්ව බැහැ දැකීමට ගිය මිහ්රාජ් ගමනේදීය. එසේ තිබියදී අනෙක් සෑම නියෝගයක්ම නබිතුමාට පහළ වුයේ ජිබ්‍ර්ල් නම් දේවදුතයා ගෙනෙන ලද පණිවිඩ හරහා ය. මේ නිසා සලාතයට විශේෂ තැනක් හිමිවේ.

මිනිස් වර්ගයා සහ ජින් වර්ගයාව මවා තිබෙන්නේ අල්ලාහ්ට නැමදීම සඳහා ය. එමගින් මිනිසාට අල්ලාහ් සමග සමීප වීමට විශේෂ අවස්තාව උදාවේ. කෙනෙක් ඉටු කරන සලාතය මගින් තම උවමනාවන් ඍජුවම අල්ලාහ්ගෙන් අයැද සිටීමට අවස්ථාවක් ලැබේ. තවද සලාතය මගින් මානසික සුවය මෙන්ම  ශරීර සෞඛ්‍යය අත්වේ.

සලාතය නිසි පරිදි ඉටු කල විට පාපිෂ්ඨ ක්‍රියාවන්ගෙන් ආරක්ෂාව අත්වේ. එම කරුණ කුරානය තුල මෙසේ දැක්වේ. "සලාතය ස්ථාපනය කරන්න. නියතව සලාතය මගින් ලජ්ජාශීලි දේවල් වලින්ද පිළිකුල් සහගත දේවල් වලින්ද වළක්වන්නේය" (කුරානය 29:45). එසේ තිබියදී යම් කෙනෙක් සලාතය කරන අතරම වැරදි ක්‍රියාවන්හි නිරත වන්නේ නම් ඉන් පෙනී යන්නේ ඔහුගේ සලාතයේ යම් වැරැද්දක් තිබෙන බවයි. එවැනි කෙනෙක් කල යුත්තේ ඔහුගේ සලාතය නිසි ලෙස ඉටු කිරීමට උත්සාහ කිරීමය. 

සලාතය ඉටු කරන තැනැත්තා "සුරා ෆාතිහාව" අනිවාර්යයෙන්ම පරායණය කල යුතු ය. එසේ කරන තැනැත්තා අල්ලාහ්ව ප්‍රසංසා කරන අතරම ඔහුගෙන් නිවැරදි මාර්ගය පෙන්වන ලෙස දෛනිකව අවම වශයෙන් අනිවාර්ය සලාත්හිදී දාහත් වතාවක් ප්‍රාර්ථනා කරන්නේය. එහි සිංහල පරිවර්තනය පහත දැක්වේ. 

"අසීමිත කරුනාවන්තයාවුද අසම දයාවන්තයාවුද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි). සියලු ප්‍රසංශා සකල ලෝකයම මවා පාලනය කරන්නාවූ අල්ලාහ්ටමය. (ඔහු) අසීමිත කරුනාවන්තයාය, අසම දයාවන්තයාය. විනිශ්චය දිනයෙහි අධිපති (ඔහුය). (ඕ අල්ලාහ්!) අපි නුඹවම නමදිමු. නුඹගෙන්ම උදවු පතමු. නුඹ අපව ඍජු මගෙහි යවනු මැනව!. (එය) නුඹ කව්රුන් කෙරෙහි දායාදය පිරිනැමුවේද ඔවුන්ගේ මගය. (එය නුඹගේ) කෝපයට ලක්වුවන්ගේද නොමග ගියවුන්ගේද මඟ නොවේ" 

කෙනෙකුගේ සලාතය අල්ලාහ් පිළිගැනීමට නම් ඔහු අඳින වස්ත්‍රය හලාල් විය යුතුය. ඔහු අනුභව කරන අහාර හලාල් විය යුතුය. එවැනි දෙයක් කල හැකි වන්නේ හලාල් මාර්ග වලින් උපයා තිබුනේ නම් පමණි. ඒ අනුව කෙනෙක් පොලී ගනු දෙනු වලින් වැලකී සිටිය යුතුය. අනුන්ට වංචා කිරීමෙන් වැලකී සිටිය යුතුය. එසේම රැකියාවල නියුතු අය අල්ලස් ගැනීමෙන් වැලකී සිටිය යුතුය. වෙළඳාම් කිරීමේදී සෑම විටම අවංක විය යුතුය. එසේ කල විට තමන් ඉටු කරන සලාතයේ පුර්ණ කුලිය අත්කර ගත හැකි වේ. ඔවුන් ගැන කුරානය මෙසේ පවසයි. "කවරහු පුස්තකය ක්‍රියාවට නංවන අතරම සලාතයද ස්ථාපනය කරන්නේද නියත වශයෙන්ම අපි ඔවුන්ගේ කුලිය අපතේ නොහරින්නෙමු" (කුරානය 7:17).

යම් කෙනෙකුව භූමදානය කල පසු සොහොනේදී මුලින්ම ප්‍රශ්න කරන්නේ සලාතය ගැන ය. මේ හේතුවෙන් කෙනෙකුගේ සලාතය හොඳින් ඉටු කර තිබුනේ නම් මතු ජිවිතයේ හමු වන පළමු අධියර සාර්ථක වන්නේය. ඉන් පසු ඔහු මුහුණ දෙන සෑම අවස්තාවක්ම ජය ගැනීමට නියමිතය.

නබිතුමා සලාතය උපමා කලේ කෙනෙකුගේ ශරීරයට ඔහුගේ හිසෙහි ඇති වටිනාකමත් සමගය. කෙනෙකුට යම් අවයවයක් නොමැතිව ජිවත් විය හැකි වුවත් කිසිසේත්ම හිස නොමැතිව ජිවත් විය නොහැකිය. ඒ අනුව සලාතය ඉටු නොකරන අය මෙම හදිසය ගැන අවධානය යොමු කල යුතු වේ. තවත් අවස්ථාවකදී නබිතුමා පවසා ඇත්තේ මුස්ලිම්වරයෙකුටත් මුස්ලිම් නොවන කෙනෙකුටත් අතර වෙනස සලාතය පැහැර හැරීම බවයි. සලාතය නිසි පරිදි ඉටු නොකරන අය මෙම කරුණු කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. 

එසේ තිබියදී සලාතය නිසි ලෙස ඉටු කිරීමෙන් කෙනෙකුගේ සුළු වැරදි වලට සමාව ලැබෙන බව නබිතුමා පවසා ඇත. තවද. නබිතුමා සලාතය උපමා කොට ඇත්තේ කෙනෙකුගේ නිවස අසලින් ගලා බසින ගංගාවකින් ඔහු දෛනිකව පස් වතාවක් ස්නානය කිරීමටය. (මුලාශ්‍රය සහිහ් බුහාරි සහ මුස්ලිම්). එවැනි කෙනෙකුගේ ශරීරය අපවිත්‍ර දේවල් වලින් පිරිසිදු වන අකාරයට ම සලාතය නිසා ඔහුගේ සුළු අකුසල් ක්‍රියා ඉවත්ව යන්නේය.

By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

ඉස්ලාම් දහම තුල අධ්‍යාපනයට ඇති වැදගත්කම (The importance of education in Islam)

දෙවියන් මිනිසාට ලබා දී ඇති දායාදයන් ගැන ඔබ සිතා බැලුවාද? (Have you thought about the gifts God has given to man?)