ෆාතිමා (رضي الله عنه) තුමියගේ විවාහය (Marriage of Fathima (رضي الله عنه))


නබිතුමාගේ සෑම ක්‍රියාවක්ම මුස්ලිම්වරුන්ට ආදර්ශයන් ලබා දෙන්නේය. ඒ අනුව ෆාතිමා (رضي الله عنه) තුමියගේ විවාහය තුලින්ද අපට බොහෝ ආදර්ශයන් ගැනීමට තිබේ.

ෆාතිමා (رضي الله عنه) තුමිය නබිතුමාට ලැබුණු දියණියන් සිව් දෙනා අතරින් ලා බාලතම දියණිය වේ. අනෙක් දෙදෙනා පුතුන් වන අතර ඔවුන් කුඩා කාලයේදීම මිය ගියෝය. ෆාතිමා (رضي الله عنه) තුමිය ඉපදුනේ නබිත්වය ලැබී පළමු වසරේදීය. ඇය නබිතුමාගේ වඩාත්ම ආදරයට පත්වුවාය. ඇය ඉතා ඉවසිලිවන්ත, දහමට ඉතා ලැදි, පරිත්‍යාගශීලි, සදාචාර සම්පන්න, දෙවියන්ට ඉතා කෘතඥ වු දැරියකි. ඇයගේ කථා විලාශය නබිතුමාගේ කථා විලාශයට ඉතා සමානය. 

අරාබියාවේ පැවති සිරිත අනුව ෆාතිමා (رضي الله عنه) තුමියට වයස පහළොවේදී විවාහ යෝජනාවන් ගලා ආවේය. එහෙත් නබිතුමා ඒවා කෙරෙහි කැමැත්ත පල කලේ නැත. එසේ තිබියදී එක් දිනක් නබිතුමා මස්ජිදුල් නබවි දේවස්ථානයේ සිටින විට අබුබක්කර් රලි තුමා සහ උමර් රලි තුමා යන දෙදෙනා නබිතුමාව මුණ ගැසී  ෆාතිමා වෙනුවෙන් බොහෝ ධනවතුන් විවාහ යෝජනාවන් සිදු කරන බව පැවසුවෝය. ඊට සවන්දුන් නබිතුමා පැවසුවේ එය අල්ලාහ්ගේ කැමැත්ත අනුව සිදු වීමට නියමිත බවයි. 

කෙසේ වෙතත් නබිතුමාගේ සමීපතම ඥාතියෙක් වන අලි රලි තුමා ෆාතිමා සම්බන්දයෙන් කිසිවක් නොකියා නිහඬව සිටින්නේ ඇයිදැයි කල්පනා කල අබුබක්කර් සහ උමර් රලි තුමන්ලා අලි රලි තුමාව හමුවීමට ගියේය. එම අවස්ථාවේදී අලි රලි තුමා සුපුරුදු පරිදි වැඩට ගොස් තිබුනේය. මේ හේතුවෙන් එම දෙදෙනා අලි රලි තුමා සිටින තැනට ගොස් ඔහුගෙන් ෆාතිමා රලි තුමිය ගැන විමසා සිටියෝය. එවිට ඔහු, "කාටද ෆාතිමා සමග විවාහ වීමට අකමැති එහෙත් මගේ දුගී කම නිසා එම යෝජනාව නොකර සිටිමි'යි" පවසා තිබේ. එවිට අබුබක්කර් සහ උමර් රලි තුමන්ලා අලි රලි තුමාට උපදෙස් දුන්නේ ඒ සම්බන්දයෙන් නබිතුමා වෙත ගොස් සාකජ්ජා කිරීමට ය. ඊට එකඟතාවය පල කල අලි රලි තුමා නබිතුමා හමු වීමට ගියේය (Jila ul Ayun, P.122-123). කෙසේ වෙතත් නබිතුමාව හමු වීමට ගිය අලි රලි තුමා ඔහුගේ ලැජ්ජාශීලි කම නිසා කිසිවක් කතා කර ගැනීමට නොහැකිව ඉගියක් පමණක් සිදු කොට නබිතුමා ඉදිරියේ නිහඬව බලා සිටියේය. එය තේරුම් ගත් නබිතුමා ඔහු පැමිණියේ ෆාතිමා ගැන විමසීමට දැයි විමසුවේය. අලි රලි තුමා ඊට "ඔව්" යැයි පිළිතුරු ලබා දුන් විට නබිතුමා සිනහ වී එම යෝජනාව ඉතා සතුටින් පිළිගත්තේය. එහෙත් මේ සම්බන්දයෙන් ෆාතිමා තුමියගෙන් විමසීමට අවශ්‍ය බව පැවසූ නබි තුමා නිවස තුලට ගොස් ෆාතිමා රලි තුමියට මෙම විවාහ ජෝජනාව ඉදිරිපත් කළේය. කෙසේ වෙතත් ඇයගේ ලැජ්ජාශීලි කම නිසා ඇය කිසිවක් ප්‍රකාශ නොකොට නිහඬව සිටියාය. ඇයගේ නිහැඬියාව කැමැත්ත ලෙස තේරුම් ගත් නබිතුමා අලි රලි තුමා සමග මෙම විවාහයට කැමැත්ත පල කළේය. 

මහර් යනු මනාලයා විසින් මනාලියට දිය යුතු අනිවාර්‍ය දීමනාවකි. ඒ අනුව නබිතුමා අලි රලි තුමාගෙන් මහර් සඳහා ඔහු ළඟ කුමක් තිබෙන්නේ දැයි විමසුවේය. ඊට පිළිතුරු දුන් අලි රලි තුමා පැවසුවේ ඔහු සතුව අශ්වයෙක් සහ ලෝහයෙන් නිමවූ සන්නාහයක් (an armour) පමණක් ඇති බවයි. එවිට නබිතුමා අලි රලි තුමාට උපදෙස් දුන්නේ අශ්වයා ඔහුගේ ප්‍රයෝජනයට තබාගෙන ලෝහ සන්නාහය විකුණා මුදල් කරගෙන පැමිණෙන ලෙස ය. 

නබිතුමාගේ ඉල්ලීම පරිදි අලි රලි තුමා එම ලෝහ සන්නාහය උස්මාන් රලි තුමාට දිර්හම් 400 කට විකුණුවේය. කෙසේ වෙතත් එය මිලදී ගත් උස්මාන් රලි තුමා නැවතත් එම සන්නාහය එවෙලේම අලි රලි තුමාට තෑග්ගක් ලෙස පිලිගැන්නුවේය. මෙම මුදල් රැගත් අලි රලි තුමා නබිතුමාව හමුවීමෙන් පසු විවාහය සඳහා කටයුතු සුදානම් කළේය (Manaqib, by Khwarizmi, p. 252-253). 

විවාහය සඳහා ඇරයුම් කිරීමට අනස් රලි තුමාව නබි තුමා පිටත් කොට හැරියේය. ඒ අනුව අබුබක්කර්, උස්මාන්, තල්හා, සුබෛර් ඇතුළු තවත් හිත මිතුරන් (ඔවුන් සියළුදෙනාට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) පිරිසක් සාදයට පැමිණියෝය. එම විවාහය සඳහා නබිතුමා කුත්බා දේශනය සිදු කළේය. ඉන් පසු පැමිණ සිටි සියළු දෙනා සාක්ෂිකරුවන් බවට පත් කරමින් එම විවාහය මික්දාල් 400 ක් වූ මහර් වෙනුවෙන් ඉටු කළේය. අනතුරුව නබිතුමා ඔහුගේ දෑත ඔසවා මනාල යුවල වෙනුවෙන් දුආ ප්‍රාර්ථනයක් සිදු කළේය. එහි පැමිණ සිටි සියළු දෙනාට රට ඉඳි වලින් සකස් කළ ආහාරයකින් සංග්‍රහ කරන ලදී. 

නිකාහ් වලින් පසු ෆාතිමා රලි තුමියව උම්මු අයිමන් තුමියත් සමග අලි රලි තුමාගේ නිවසට පිටත්කර හැරියේය. මේ සඳහා අද මෙන් විශාල පිරිසක් සහභාගී වුයේ නැත. ඉෂා වන්දනයෙන් පසු නබිතුමා අලි රලි තුමාගේ නිවස වෙත ගොස් ඔවුන්ගේ අවසරය ගෙන නිවසට ඇතුළු විය. පසුව නබිතුමා භාජනයකට වතුර ගෙන ඔහුගේ සුරත එම භාජනය තුලට දමා වතුර ගෙන ඔවුන්ට ඉස ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කළේය. මෙම විවාහයේදී නබිතුමා ඔහුගේ දියණියට රිදී වළලු ජෝඩුවක් ද, යෙමනයෙන් ගෙන්වන ලද ඇතිරිලි දෙකක්ද, මෙට්ටයක්ද, පොරෝනයක්ද, කොට්ටයක්ද, කෝප්පයක් ද තෑගී කොට තිබේ. 

මෙම විවාහය සිදු වුයේ නබිත්වයෙන් වසර පහළොවක් පමණ ගෙවී ගිය පසුවය. ඒ අනුව නබිතුමා බොහෝ සහාබා වරුන්ට ඇරයුම් කල යුතුව තිබුනේය. එහෙත් එවැනි දෙයක් සිදු වුයේ නැත. එය අපටද ආදර්ශයකි. 

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)