ඉස්ලාමයේ බිදඅ'ත් ක්‍රියාවල අන්තරාය (The dangers of innovation in Islam)
ඉස්ලාම් දහමේ ඇති විශේෂත්වය වන්නේ එහි ඇති සියලුම මග පෙන්වීම් අල්ලාහ්ගෙන් පහළ කොට තිබීමයි. ඉන් අදහස් කරනු ලබන්නේ ඉස්ලාම් දහම අල්ලාහ් විසින් පහළ කරන ලද දේ පමණක් බවයි. තවද නබිතුමා ජිවතුන් අතර සිටියදීම ඉස්ලාම් දහම සම්පුර්ණ කරනු ලැබිය. මෙම කුර්ආන් වැකියෙන් එම කරුණ තහවුරු කොට තිබේ. “අද දින, මා නුඹලාගේ දහම නුඹලාට සම්පුර්ණ කර ඇත්තෙමි, මාගේ දායාදයද නුඹලාට සම්පුර්ණ කර ඇත්තෙමි, තවද මා ඉස්ලාමය නුඹලාට ආගම ලෙස පිලිගනිමි” (කුරානය 5:3). එසේ තිබියදී යම් කෙනෙක් ඉස්ලාම් දහම තුලට කුසල් බලාපොරොත්තුවෙන් කුරානයෙන් හෝ හදිස් වලින් පෙන්වා දී නැති අලුත් දෙයක් එකතු කිරීම ඉස්ලාම් දහම අනුමත නොකරන විශාල වරදකි. ඒවා බිදඅ'ත් ලෙස හැඳින්වේ.
ඉහත විස්තර කල අන්දමට බිදඅත් ක්‍රියාවන් සඳහා කුරානයෙන් හෝ හදිස්වලින් මුලාශ්‍රයන් සොයා ගැනීමට හැකි වන්නේ නැත. ඒ අනුව බිදඅ'ත් ක්‍රියාවන් සඳහා ඉස්ලාම් දහම තුල අධ්‍යාත්මික වටිනාකමක් ලැබෙන්නේ නැත. මේ හේතුවෙන් කොතරම් මහන්සිවී බිදඅ'ත් ක්‍රියාවන් සිදු කලත් ඒවා නිෂ්ඵල වන්නේය.
නබිතුමා පෙන්වා නුදුන් සෑම අලුත් ඇදහිල්ලක්ම නොමග ගිය දේවල් බවත් ඒවා ප්‍රතික්ෂේප කල යුතු බවත් නබිතුමා පවසා තිබේ. බිදඅ'ත් සම්බන්දයෙන් නබිතුමා මෙසේද පවසා ඇත. "කව්රුන් හෝ මේ දහම තුලට අලුතින් යමක් එක්කළේ නම් එය දහමේ අංගයක් නොවන සෑම විටම ඒවා ප්‍රතික්ෂේප කල යුතුය" (බුහාරි 2550, මුස්ලිම් 1718). තවත් හදිසයක මෙසේ සඳහන් වේ. "දහමට අලුතින් එක්කරන සියලුම ඇදහිලි නොමග ගිය දේවල් වන අතර නොමග ගිය සියල්ල නිරයට වේ". මේ හේතුවෙන් දහමින් පෙන්වා දී ඇති දේවල් සුළු වශයෙන් හෝ සිදු කිරීම වැඩි වැඩියෙන් බිදඅ'ත් ක්‍රියාවන් සිදු කිරීමට වඩා ප්‍රයෝජනවත් ය.
කෙනෙක් දහම තුලට අලුතින් කොටස් එකතු කරන්නේ අල්ලාහ්ට සමීප වීමේ අරමුණින් වුවද ඉන් සිදු වන්නේ ඔහු අල්ලාහ්ගෙන් දුරස් වීම ය. එපමණක් නොව ඔහු අල්ලාහ්ගේ කෝපයටද පාත්‍ර වන්නේය. බිදඅත් ක්‍රියාවන් කල අයට නබිතුමාගේ හව්සුල් කව්සර් නමැති ජල තටාකයෙන් බිමට ජලය නොලැබෙන බව හදිස්වල සඳහන් වේ. ඔවුන්ව හව්සුල් කව්සර් ජල තටාකය වෙතට යාමට ඉඩ නොදී දේවදුතයින් විසින් පලවා හරින බවද හදිස්වල සඳහන් වේ. එසේ පලවා හැරීමට හේතුව කුමක්දැයි නබිතුමා දේවදුතයින්ගෙන් ඇසු විට දේවදුතයින් පවසන්නේ ඔවුන් නබිතුමාගේ අභාවයෙන් පසු ඉස්ලාම් දහම තුලට අලුතින් කොටස් එකතු කල අය බවයි.
බිදඅ'ත් ක්‍රියාවන් පිළිපදින බොහෝ අය එසේ කරන්නේ දහම ගැන නිවැරදි අවබෝදයක් නොමැති කම නිසාය. ඔවුන් සිතන්නේ තමන් කැමති ඕනෑම දෙයක් කිරීමෙන් අල්ලාහ්ට ලං විය හැකි බවයි. එවැනි අයට ඔවුන් කරන දේවල් සඳහා මුලාශ්‍රයන් නොමැති බව පෙන්වා දෙනු ලැබුවත් ඉන් වළකින්නේ ද නැත. මේ හේතුවෙන් ඔවුන් ස්වෙජ්ජාවෙන්ම නිවැරදි මාර්ගය වෙනුවට වැරදි මාර්ගය තෝරා ගන්නා බවක් පෙනේ.
අද දක්නට ලැබෙන බිදඅ'ත් ක්‍රියාවන් සඳහා උදාහරණ බොහෝ තිබේ. සලාතයෙන් පසු සාමුහිකව දුආ ප්‍රාර්ථනාවන් සිදු කිරීම, ෂබාන් මාසයේ පහළොස්වන දිනය විශේෂ කොට සැලකීම, මිහ්රාජ් රාත්‍රිය විශේෂ කොට සලකා උපවාස කිරීම, මළවුන් වෙනුවෙන් දින නියම කරගෙන දාන දීම, අසාන් පැවසීමට පෙර සලවාත් කීම, ජනසාවක් රැගෙන යාමේදී ශබ්ද නගා zසිකර් කිරීම, ජනසාව භූමිදානය කල පසු තල්කින් කියා දීම, එහි රැස්ව සිටින අය විසින් යාසීන් සුරාව පරායණය කිරීම ආදිය ඉන් සමහරක් වේ.
ඉස්ලාම් දහම අනුව යම් කිසි ක්‍රියාවකට කුලිය ලැබෙන්නේ කෙනෙකුගේ සිතේ ඇතිවන චේතනාව අනුවය. මේ නිසා ක්‍රියාවකට පෙර චේතනාව අනිවාර්ය වේ. එහෙත් චේතනාව ශබ්ද නගා පැවසීම දහමට අලුත් දෙයක් වේ. මේ හේතුවෙන් ශබ්ද නගා නියතය පැවසීම "බිදඅත්" ක්‍රියාවකි.
"සලාතුන් නාරියා" ඉතා මෑත කාලයේදී බිහිවූ බිදඅ'ත් ක්‍රියාවකි.. එය බොහෝ විට කාන්තාවන් එකතුවී 4444 වතාවක් පාරායණය කරන්නේය. තවද එම සලවාතය තුලින් නබිතුමාව අල්ලාහ්ගේ තැනට ඔසවා තිබේ. එම කරුණ මෙම වැකි වලින් පෙනී යයි. "නබිතුමාගේ ශිලයෙන් සියලුම බාදාවන් දුරස් වෙයි, කරදර තුරන් වෙයි, අවශ්‍යතාවයන් ඉටු වෙයි, බලාපොරොත්තු ඉටු වෙයි, හොඳ අවසානයක් ලබා දෙයි" එහෙත් කුරානය පවසන්නේ මෙසේය. "නබිවරයානෙනි! ඔවුන්ට මෙසේ පවසනු: නුඹට හානියක් කිරීමට හෝ නුඹලාව නිවැරදි මාර්ගයේ ගෙන එමට හෝ මාගේ ශක්තියෙන් කල නොහැකි යැයි කියනු"
මේ හැරුණු විට බොහෝ තරිකාවල අල්ලාහ්ගේ නාමය නබි තුමා පෙන්වා දී නැති වදන් වලින් සාමුහිකව පරායණය කරනු ලැබේ. එහෙත් නබිතුමා හෝ කලීෆා වරුන් හෝ එවැනි දෙයක් සිදු කොට නැත. මේ හේතුවෙන් ඒවා නොමග ගිය බිදඅත් දේවල් බවට පත් වන්නේය.
මෙහි සඳහන් කරුණු අනුව ස්වර්ගය අත්කර ගැනීම සඳහා තමන් කරමින් සිටින සියලුම බිදඅ'ත් ක්‍රියාවන් අත්හැරිය යුතුය. ඒ වෙනුවට අල් කුරානයෙන් සහ නබිතුමාගේ හදිස්වලින් පෙන්වා දී ඇති නිවැරදි දහම පිළිපැදිය යුතුය.
By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Japura.
Ex: Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment