ත්‍රස්තවාදය සහ ජිහාද් අතර වෙනස කුමක්ද? (What is the difference between terrorism and jihad?)



ත්‍රස්තවාදය සහ ජිහාද් අතර විශාල වෙනස්කම් තිබේ. එහෙත් ඉස්ලාම් දහම ගැන නොදන්නා අය සිතන්නේ ඒ දෙකින්ම අදහස් කරන්නේ එකම දෙයක් බවයි. ජිහාද් යන්නෙහි වචනාර්ථය අනුව ඉන් අදහස් කරන්නේ දහම නිවැරදිව පිළිපැදීම සඳහා කරනු ලබන දැඩි උත්සාහය ලෙස ය. ඒ අනුව යම් කෙනෙක් ඔහුගේ පහත් ආශාවන්ට එරෙහිව අරගල කිරීම ජිහාද් ලෙස සැලකේ. තවද සත්‍යය කියා දීම සඳහා වාද විවාද කිරීමත් ජිහාද් වේ. සතුරන්ට එරෙහිව රටක පාලකයෙකු විසින් මෙහෙයවනු ලබන යුද්ධයටත් ජිහාද් යැයි කියනු ලැබේ. එහෙත් ත්‍රස්තවාදය කිසිම අකාරයකින් ජිහාද් ලෙස සලකනු ලබන්නේ නැත. ඇයිද යත් ත්‍රස්තවාදය මෙහෙය වනු ලබන්නේ රටක පවතින නිත්‍යානුකුල හමුදාවක් විසින් නොවන නිසාය.

ජිහාදයකදී සතුරාට එරෙහිව සටන් කරන විට අනුගමනය කල යුතු නීති රීති ඉස්ලාම් දහමින් පෙන්වා දී තිබේ. ඒ අනුව සතුරා යුද්ධය ආරම්භ කිරීමට පෙර ඔවුන්ට පහර දීම කල නොහැකිය. යුද්ධයට අදාළ නොවන කිසිවෙකු ඝාතනය කල නොහැකිය. ඒ අනුව යුද්ධයට සම්බන්ද නොවන කාන්තාවන් වයසක උදවිය ළමුන් ඝාතනය කල නොහැක. ගස්කොලන් හෝ සතුන් විනාශ කල නොහැකිය. පාසල් පුජනිය ස්ථාන විනාශ කල නොහැකිය. සතුරා සාමයට ආරාධනා කලේ නම් වහාම ඊට එකඟ විය යුතුය. එහෙත් ත්‍රස්තවාදීන් කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් අහිංසක ජනතාව ඝාතනය කිරීමයි. ඒ අනුව ඔවුන්ට යුධ පිටියත් සාමාන්‍ය මිනිසුන් ගැවසෙන බස්නැවතුම් පොලත් අතර වෙනසක් නැත. 

අල් කුරානයට අනුව හේතුවක් නොමැතිව කරනු ලබන මනුෂ්‍ය ඝාතනය සලකනු ලබන්නේ ලෝවැසියන් සියලු දෙනා ඝාතනය කිරීමක් ලෙසය. එහෙත් ත්‍රස්තවාදීන් කරන්නේ අහිසක මිනිසුන් ඝාතනය කිරීමයි. එවැනි දේවල් ඉස්ලාම් දහමින් අනුමත කරන්නේ නැත. 

එක් අවස්ථාවකදී අයිෂා තුමිය නබිතුමාගෙන් මෙසේ විමසා ඇත: ‘නබිතුමාණෙනි! අපටත් ඔබ සමග යුද්ධ කිරීම සඳහා සහබාගි විය හැකිද?' එවිට නබිතුමා පවසා ඇත්තේ කාන්තාවන්ගේ හොඳම ජිහාදය අල්ලාහ් විසින් පිළිගනු ලැබූ හජ් වන්දනය ඉටු කිරීම බවයි. ඊට සවන් දුන් ආයිෂා තුමිය; 'මින් පසු හජ් වන්දනය අත් නොහැරීමට මා අධිෂ්ඨාන කරගතිමි'යි පවසා ඇත (සහිහ් අල් බුහාරි 3.84).

මවට උදව් කිරීමත් ජිහාද් වේ. අබ්දුල්ලා ඉබ්නු උමර් රලි තුමා පවසන වග නම්: එක් සහාබිවරයෙක් පැමිණ ජිහාද්හි සහභාගී වීම සඳහා අවසර පතා තිබේ. ඊට සවන් දුන් නබිතුමා ඔහුගේ දෙමාපියන් ජිවතුන් අතර සිටිනවාදැයි විමසා ඇත. ඔහු, 'ඔව්' යනුවෙන් පිළිතුරු දුන් විට ඔවුන්ගේ යහපත වෙනුවෙන් ජිහාද් කරන්නැයි නබිතුමා පවසා තිබේ (සහිහ් බුහාරි 8.3).

ත්‍රස්තවාදීන් බිහිවන්නේ නබිතුමාගෙන් අභාවයෙන් බොහෝ කලකට පසුවය. එබැවින් ත්‍රස්තවාදය සම්බන්දයෙන් කිසිම ඉගැන්වීමක් ඉස්ලාම් දහම තුල නැත. එහෙත් නවීන ලෝකය දෙස බලන කල මුස්ලිම් වරුන් අතර ත්‍රස්තවාදීන් සිටින්නේය. එය දහමේ වරදක් නොවේ. එවැනි අය ඉස්ලාම් දහම තුල පමණක් නොව අනෙක් දහම් වල සාමාජිකයින් අතරද සිටින්නේය. එවැනි අය කරන වැරදි වලට ඔවුන් නියෝජනය කරන දහම සම්බන්ද කර ගත යුතු නැත.

ඉස්ලාම් දහම පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිදානය පවා නිත්‍ය යුද හමුදාවක් නඩත්තු කරන්නේය. අවශ්‍ය විට ඔවුන් සාමය වෙනුවෙන් යුද්ධ කරති. ඉස්ලාම් දහමද ජිහාද් කිරීම සඳහා අවසර ලබා දී තිබෙන්නේ සාමය ඇති කිරීම සඳහාය.

By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)