හේතු ඵල වාදය තුලින් විශ්වයේ බිහිවීම විස්තර කල හැකිද? (Could the bigining of the universe explained by Cause and Effect theory?)


ඵලයක් ඇතිවීමට හේතුවක් තිබය යුතුය. කාර්‍යයක් සිදු වීමට බලයක් ක්‍රියාත්මක විය යුතුය. මේවා භෞතික විද්‍යාවේ මුලික සිද්ධාන්ත වේ. කෙසේ වෙතත් මෙම න්‍යාය ක්‍රියාත්මක විය හැක්කේ බලය යෙදු විට ඇතිවන ප්‍රතිපලය කුමක් විය යුතු දැයි කලින්ම සැලසුම් කොට තිබුනොත් පමණි. උදාහරණයක් වශයෙන් බිත්තරයකින් කිකිලියෙක් ඇතිවීමටත් කිකිලිගෙන් බිත්තරයක් ඇතිවීමටත් නම් ඒ සඳහා පෙර සැලසුමක් තිබිය යුතුය. එසේ නොවන්නට එවැනි දෙයක් කිසිසේත්ම ඉබේ සිදු නොවනු ඇත. මෙය අනෙකුත් දේවල් සඳහාද ප්‍රකට සත්‍යයකි. 

බිත්තරයකින් කිකිලියෙක් ඇති වීම බැලු බැල්මට සුළු සිද්ධියක් ලෙස පෙනුනත් ඒ සඳහා ඥානාන්විත මවුම්කරුවෙකුගේ මැදිහත් වීමකින් තොරව සිදු විය නොහැකි කාරණාවකි. එවැනි දෙයක් ලෝකයේ සිටින සියළුම විද්‍යාඥයින් එකතු වුවත් සිදු කල නොහැකි දෙයකි. විශ්වයේ ආරම්භයත් එසේමය. 

විශ්වයට ආරම්භයක් ඇති බව විද්‍යාඥයින් නිගමනය කොට තිබේ. එසේ නම් එම ආරම්භය ඇතිකළ කෙනෙක් ද සිටිය යුතුය. එසේ නොවන්නට මෙතරම් සංකීර්ණ විශ්වයක් ඉබේ ඇතිවිය නොහැකිය. උදාහරණයක් ලෙස කොතරම් අමුද්‍රව්‍ය තිබුනත් පරිගණකයක් ඉබේ නිර්මාණය වන්නේ නැත. ඒ සඳහා නිර්මාණ කරුවන් සිටිය යුතුය. එය සෑම මැවීමක් සඳහාම පොදු න්‍යායකි. එහෙත් එය කිසිවෙකුගේ මැවීමක් නොවන මැවුම් කරුට බලපාන්නේ නැත. ඊට එක් හේතුවක් වන්නේ කෙළවරක් නොමැතිව අනන්තයට ගියත් මුල් හේතුවට ආරම්භයක් සෙවීමට නොහැකි වීමයි. තර්කානුකුලව බලන කල ද ආරම්භක හේතුවක් එනම් දෙවිකෙනෙක් නොසිටියේ නම් විශ්වය ඇති වූ අන්දම විස්තර කල නොහැකිය. තවත් අතකින් බලන කල විශ්වය ඇතිවීමට බලපාන ලද මුල් හේතුව (දෙවියන්) විශ්වයට අයත් නොවන බැවින් ඒ ගැන කිසිම දෙයක් අපට පැවසීමට නොහැකිය. 

විශ්වය බිහිවන්නේ මහා පිපිරුමකින් බව විද්‍යාඥයින්ගේ මතය වුවද මෙහිදී සිතා බැලිය යුතු ඉතා වැදගත් කරුණක් වන්නේ එම පිපිරිම ඇති වීමට තුඩු දුන් හේතුව කුමක්ද යන්නයි. විශ්වයේ ඇති සංකීර්ණ නිර්මාණයන් දෙස බලන කල මෙම පිපිරුමට හේතු කාරකය ඥානාන්විත මැවුම්කරුවෙකු විය යුතුය. එසේ නොවන්නට මෙවැනි සංකීර්ණ විශ්වයක් ඉබේ ඇතිවීම සිහිනයක් පමණි. කෙසේ වෙතත් හේතු ඵල වාදය අනුව විශ්වය බිහිවීමට නම් හේතුව වශයෙන් සැලකිය යුත්තේ සර්වබල ධාරී දෙවියන් ය. එවැනි විශ්වාසයකින් තොරව විශ්වය බිහිවූ අන්දම ප්‍රායෝගික වශයෙන් විස්තර කල නොහැකිය. 

විශ්වය ඇති වීමට හේතුව දෙවියන් වශයෙන් සැලකිය හැකි වුවත් ඔහු නිර්මාණය කල විශ්වය තුල ඔහු සිටීම අනිවාර්ය නොවේ. ඒ අනුව දෙවියන් සිටින අවකාශය සහ ඔහු මවන ලද විශ්වය එකම අවකාශය තුල තිබිය යුතු නැත. වෙනත් අකාරයකින් පවසනවා නම් දෙවියන් අප සිටින කාල - අවකාශය තුල සිටිය යුතු නැත. තවද ඔහු විශ්වයේ ඇති පදාර්තවලින් යුක්ත වන්නේද නැත. ඒ අනුව දෙවියන් කුමකින් සැදුම් ලද්දේද යන්න සහ ඔහු සිටින අවකාශය යන දෙකම අපගේ දැනුමින් ඔබ්බට යන දේවල් වන්නේය. මින් නිගමනය කල හැකි තවත් වැදගත් කරුණක් වන්නේ දෙවියන් ඔහු මැවූ කාලයෙන් සිමා නොවන බවයි. 

දෙවියන් පහළ කල සෑම ආගමකම දෙවින් ගැන සඳහන් වේ. කෙසේ වෙතත් දෙවියන් පිලිබඳ ඉතා පැහැදිලි අර්ථ දැක්වීමක් දැකිය හැක්කේ අල් කුරානයේ පමණි. එම අර්ථ දැක්වීම අනුව දෙවියන් කිසිම දෙයකට සමාන වන්නේ නැත. තවද ඔහුට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ඔහු ඥානාන්විත ය. ඔහු මවන්නාය. රූ සකසන්නාය. මෙවැනි වෙනත් බොහෝ ගුණාංග ඔහු සතුව ඇත. මෙවැනි විශ්වාසයකින් තොරව විශ්වයේ බිහිවීම වෙනත් කිසිම ආකාරයකින් අංග සම්පුර්න්ව විස්තර කල නොහැකිය. 


By Fasy Ajward B.Sc(Special)Hons,

Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Twitter:-thetrue_path

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)