අහිංසක මිනිස්සු මැරුවාට කන්‍යාවන් 72ක් ලැබෙනවාද? (Does killing innocent people get 72 virgins?)


බොහෝ අයට ඉස්ලාම් දහම ගැන හරි හැටි අවබෝදයක් නොලැබෙන්නේ ජන මාධ්‍ය ඔස්සේ සිදු කරනු ලබන අසත්‍ය ප්‍රචාරයන් නිසාය. උදාහරණයක් ලෙස 2019 අප්‍රේල් 21දී සිදු කල බෝම්බ ප්‍රහාරය පෙන්වා දිය හැකිය. ඇත්ත වශයෙන්ම එම ත්‍රස්තවාදී ක්‍රියාවටත් ඉස්ලාම් දහමටත් කිසිම සම්බන්දයක් නැත. එහෙත් එදා සිදුවූ එම බෝම්බ ප්‍රහාරය ජනමාධ්‍යවලින් ප්‍රචාරය කරනු ලැබුවේ ඉස්ලාම් දහමට මඩ ගැසීම සඳහාය. තවද සහරාන් විසින් සිසු කල බෝම්බ ප්‍රහාරය ගැන ඔවුන් හේතු වශයෙන් දැක්වුයේ ස්වර්ගයේ කන්‍යාවියන් 72ක් ලබා ගැනීම සඳහා එය සිදු කල බවයි. 

ඉස්ලාමිය ඉගැන්වීම් අනුව හේතුවක් නොමැතිව කරන මිනිස් ඝාතනයකට ලැබෙන්නේ නිරය වේ. ඇයිද යත් අල් කුරානයට අනුව හේතුවක් නොමැතිව සිදු කරනු ලබන මිනිස් ඝාතන සලකනු ලබන්නේ මුළු මිනිස් සංහතියම ඝාතනය කලාට සමානවය. "නියතව කවරෙක් ඝාතනය කිරීම නිසා හෝ පොළොවෙහි කළහ ඇති කළ නිසා හෝ හැර තවත් කෙනෙකු ඝාතනය කරයිද ඔහු මුළු මිනිස් සමුහයාවම ඝාතනය කළ කෙනාට සමාන වන්නේ යැයිද කවරෙක් එය ජිවත් කරවන්නේද ඔහු මුළු මිනිස්වර්ගයාවම ජිවත් කරවූ කෙනා සේ වන්නේයැයි ද ඉස්රායිල් දරුවන්ට අපි දැනුම් දුන්නෙමු" (කුරානය 5:32).

අල් කුරානය තුල ත්‍රස්තවාදය යන වචනය පවා දැක ගත නොහැකිය. ඒ අනුව ත්‍රස්තවාදය ඉස්ලාම් අනුමත නොකරන දෙයකි. කෙසේ වෙතත් මුස්ලිමරුන් අතර ත්‍රස්තවාදය කරලියට එන්නේ දේශපාලනික හේතුන් මත ය. එය කුරානය පහළ වී සියවස් ගණනාවකට පසු ඉතා මෑත කාලයකදී උපත ලැබුවකි. මේ හේතුවෙන් ඉස්ලාම් දහමටත් ත්‍රස්තවාදයටත් අතර කිසිම සම්බන්දතාවයක් නැත. 

මුස්ලිම්වරුන් අතර පමණක් නොව අනෙක් ආගමිකයින් අතරද ත්‍රස්තවාදීන් සිටින්නේය. එසේ තිබියදී කොතැනක හෝ ත්‍රස්තවාදී සිදුවීමක් සිදු වූ වහාම එය සනාථ කර ගැනීමට කලින්ම එම ක්‍රියාව මුස්ලිම්වරුන්ගේ ගිණුමට බැර කරන්නේය. තවද යම් කණ්ඩායමක ගේ ක්‍රියාව සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙතම එල්ල කරන්නේ ය. එමගින් සම්පුර්ණ මුස්ලිම් ජන කොට්ටාසයටම ඉතා විශාල අසාධාරණයක් සිදු වේ.

ඌරෙක් මල් වත්තකට දැම්මත් ඌ සොයන්නේ එහි ඇති අසුචි පමණි. ඌට එහි ඇති අලංකාරයෙන් වැඩක් නැත. එසේම ඇතැම් ජන මාධ්‍යවලට අවශ්‍ය වන්නේ ඉස්ලාම් දහමේ නැති වැරදි මවා පෙන්වීම ය. ඒ අනුව කිසිසේත්ම ඉස්ලාම් දහමේ ඇති හොඳ දේවල් ඔවුන් ප්‍රචාරය කරන්නේ නැත. මේ නිසා පොදු ජනතාව ඉස්ලාම් දහම කෙරෙහි වැරදි ආකල්ප ඇතිකරගෙන තිබේ.

2019 අප්‍රේල් 21 බෝම්බය එල්ල කලේ නොමග ගිය ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසිනි. එම ක්‍රියාව ඉස්ලාම් දහමින් කිසිසේත්ම අනුමත කරන්නේ නැත. ඉස්ලාම් දහම අනුව එවැනි වැරැද්දකට ලැබෙන්නේ නිරය වේ. එහෙත් ඇතැම් ජන මාධ්‍ය වලින් පුන පුනා ප්‍රචාරය කලේ ස්වර්ගයේ කන්‍යාවන් 72ක් වෙනුවෙන් එය සිදු කල බවයි. ඇත්ත වශයෙන්ම එම බොරුව ප්‍රචාරය කිරීමට පෙර එහි සත්‍යතාව කුමක්දැයි ඉස්ලාමීය මුලාශ්‍ර ඇසුරෙන් සොයා බැලීමට තිබුනේය. එසේ කිරීම ජනමාද්‍යවල යුතුකමක් ද වේ. 

ඉස්ලාම් දහමෙහි ත්‍රස්තවාදය ගැන නැතත් ජිහාද් ගැන සඳහන් වේ. එය කිසිසේත්ම ත්‍රස්තවාදීන් විසින් සිසු කරනු ලබන ආකාරයේ දෙයක් නොවේ. ඒ සඳහා ඉස්ලාමීය ශරියාව තුල පුළුල් අර්ථයක් ලබා දී තිබේ. ඒ අනුව යම් මුස්ලිම්වරයෙකු ජිවත් වීම සඳහා කරන වැයමත් ජිහාද් ලෙස සලකනු ලැබේ. තවද තම රට ආගම වෙනුවෙන් කරන සටනද ජිහාද් වේ. ඒවා හැරුණු විට අහිංසක මිනිසුන් ඝාතනය කිරීම කිසිසේත්ම ජිහාද් නොවේ. 

By Fasy Ajward.B.Sc(Phy.Sp)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)