සුෆි නිකායන් ඉස්ලාමයෙන් බැහැර වන්නේ ඇයි? (Why do Sufi sects deviate from Islam?)


ඉස්ලාම්, මිනිසාට යහ මග පෙන්වීම සඳහා අල්ලාහ්ගෙන් පහළ කරන ලද දහමකි. එය  ආදම් තුමාගෙන් පටන් ගෙන මුහම්මද් නබි තුමාට පහළ කරන ලද කුරානයත් සමග අවසාන වන්නේය. ඉස්ලාම් දහම දෙසීම සඳහා සිය දහසකට වඩා නබිවරුන් මෙලොවට පැමිණ තිබේ. ඒ අනුව මුහම්මද් නබි තුමා කුරානයට අනුව ඉස්ලාම් දහම ප්‍රචාරය කළේය. මුහම්මද් නබිතුමාගේ පටන් දසක කිහිපයක් යන තුරුම ඉස්ලාම් දහම තුල කිසිම නිකාය බේදයක් දක්නට තිබුනේ නැත. 

සුෆි නිකාය ආරම්භ වන්නේ ලෞකික ආසාවන්ගෙන් සම්පුර්ණයෙන්ම වැලකී සිටීමේ අරමුණ ඇතිවය. ඔවුන් එවැනි පියවරක් ගැනීමට හේතු වුයේ ලෞකික ජීවිතය පමණක් අරමුණු කරගත් මුස්ලිම්වරුන්ව යහ මගට ගැනීමේ චේතනාව නිසාය. කෙසේ වෙතත් ක්‍රමක් ක්‍රමයෙන් එය ඉස්ලාම් දහමේ වෙනමම නිකායක් බවට පත් විය. ඒ අනුව පසු කාලයේදී සුෆි නිකාය තුලට ඉස්ලාම් දහමේ නැති ඉගැන්වීම් ඇතුලත් විය. එහි ප්‍රතිපලයක් ලෙස සුෆි නිකායන් නොමග ගිය කණ්ඩායම් බවට පත් විය. 

ඇතැම් සුෆිවරුන් සලාතයට ප්‍රමුඛතාවයක් දක්වන්නේ නැත. ඒ වෙනුවට නබිතුමා පෙන්වා නොදුන් අලුත් ක්‍රම මගින් අල්ලාහ්ව zසික්ර් කිරීම තෝරාගෙන ඇත. තවද සුෆිවරුන්ගෙන් බොහෝ අය නබිතුමාගේ සුන්නාවන් පිළිපදින්නේ නැත. ඇතැම් සුෆි නායකයින් පවා සාමුහික සලාතයට සහභාගී වන්නේ නැත. එසේ තිබියදී ඔවුන් පවසන්නේ සුෆි නිකායේ මග පෙන්වන්නන් වන්නේ අලි රලි තුමා, ජාෆර් සාදික්, ජුනෙයිදුල් බග්දාදී, ඉමාම් ගස්සාලි, අබ්දුල් කාදීර් ජිලානි වැනි අය බවයි. මෙවැනි ප්‍රකාශයන් තුලින් ඔවුන් ජනතාව නොමග යැවීමට උත්සාහ කාන්නේය.

සුෆිවරුන්ගේ අවසාන ඉලක්කය අල්ලාහ් සමග එකතු වීමයි. එය "වහ්ජතුල් වුජුද්" ("Wahdat al- wujud") ලෙස නම් කොට ඇත.  එම සංකල්පය මුල් වරට ඉදිරිපත් කරනු ලැබුවේ සුෆි වරුන්ගේ ප්‍රධානියෙකු වන මුහියද්දීන් ඉබ්නු අරාබි විසිනි. කෙසේ වෙතත් ඔහු ඉස්ලාම් දහමින් බැහැර වූ අයෙකු බව ඉස්ලාමීය විද්වතුන් විසින් ප්‍රකාශ කොට තිබේ. 

සුෆි ඉගැන්වීම්වල ඉස්ලාම් දහමමේ නැති බොහෝ අළුත් ඇදහිලි ඇතුලත් කොට තිබේ. ඒ අනුව ඇතැම් සුෆි නිකායන්වල හින්දු සහ කතෝලික දහම්වල ඇති විශ්වාසයන් කලවම් වී තිබේ. එසේ වන්නට ඇත්තේ පසු කාලීනව ඉස්ලාම් දහම වැළඳ ගත් අය ඔවුන්ගේ පැරණි විශ්වාසයන්ගෙන් සම්පුර්ණයෙන්ම ඉවත් නොවීම නිසා විය හැකිය. උදාහරණයක් වශයෙන් දෙවියන් සෑම තැනම සිටිනවා යන්න හින්දු දහමේ විශ්වාසයකි. ඒ අනුව ඉස්ලාම් දහම වැළඳ ගත් හින්ඳු බක්තිකයින් විසින් එම විශ්වාසය මුස්ලිම් වරුන්ට උගන්වා තිබිය හැකිය. කෙසේ වෙතත් එවැනි විශ්වාසයක් අල් කුරානයෙන් හෝ නබිතුමාගේ හදිස් වලින් උගන්වා නැත. 

සුෆි වරුන් අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා නබිතුමා පෙන්වා නොදුන් ක්‍රම සහ වදන් උපයෝගී කර ගන්නේය. ඔවුන් එම ක්‍රම උපයෝගී කරගනිමින් නබිතුමා පෙන්වා දී නැති අකාරයේ සාමුහික සික්ර් ක්‍රියාවල යෙදෙන්නේය. තවද කුරානයට පටහැනිව යමින් ශබ්ද නගා එම සික්ර් කරන්නේය. 

සුෆි නිකාය ඉස්ලාම් දහම තුලට මුලින්ම ඇතුලත් කරනු ලැබුවේ බාසෛzදුල් බිස්තාමි, මන්සුර් අල් හලාජ්, ඉබ්නු අරබි වැනි අය විසිනි. ඔවුන් විසින් අල් කුරානයට ගුප්ත අර්ථයන් ලබා දෙන්නේය. එහි ප්‍රතිපලයක් ලෙස සාමාන්‍ය ජනතාව කුරානය තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ නැත. ඔවුන් අනුගමනය කරන්නේ තම තමන්ගේ නිකායන් වල නායකයින් කියන දේවල් පමණි. ඉන් බලාපොරොත්තු වන්නේ පින් දහම් කිරීමෙන් ස්වර්ගය අත්කර ගැනීම වෙනුවට ඔවුන් පිළිපදින තරිකා ෂෙයික් වරුන් හරහා ස්වර්ගය අත්කර ගැනීම ය.

සුෆි නිකායේ ප්‍රධාන තැනක් උසුලන්නේ බාසෛzදුල් බිස්තාමි තුමාය. ඉන් පසු ජුනෙයිදුල් බග්දාදී සහ මන්සුර් අල්-හලාජ් ද එහි ප්‍රධාන කර්තව්‍යයක් සිදු කොට තිබේ. එහෙත් බාසෛzදුල් බිස්තාමි සහ මන්සුර්  අල් හලාජ් යන දෙදෙනා විසින් කල ඉස්ලාම් විරෝදී ප්‍රකාශයන් නිසා එවකට සිටි පාලකයින් විසින් ඔවුන්ට මරණ දඬුවම ලබා දී තිබේ.

සුෆි විස්වාසය අනුව ඔවුන්ගේ අධ්‍යාත්මික නායකයින් තම අනුගාමිකයින් කොතැනක සිටියත් දැක ගන්නා බව පවසන්නේය. ඒ අනුව ඔවුන් කොතනකදී හෝ ෂෙයික් වරුන්ව ආමන්ත්‍රණය කලේ නම් ඔවුන් එම ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන බව කියනු ලැබේ. එහෙත් එය මුසාවකි. ඉස්ලාමිය ඉගැන්වීම්වලට අනුව එවැනි දෙයක් කල හැක්කේ අල්ලාහ්ට පමණි. 

ඉබ්නු ජව්සිz යන විද්වතා විසින් ඔහුගේ තල්බිස් ඉබ්ලිස් යන ග්‍රන්ථයේ පහත සඳහන් පරිදි සඳහන් කොට ඇත. "සුෆි සංකල්පයේ ආරම්භය ලෞකික කටයුතුවලින් වැලකී සිටීමයි. ඒ සඳහා ජනතාව එකතු වූ පසු ඔවුන්ට ගැලපෙන අන්දමට තවත් කරුණු ඇතුලත් කර තිබේ. ඒ අනුව සුෆිවරුන්ට ගායනා කිරීමට සහ නැටීමට ඔවුන්ගේ දහමින් අවසර ලැබේ. එහෙත් ජිහාද් කිරීම, දේශපාලනයේ නියැලීම, දහම හැදෑරීම සහ එය අනෙක් අයට කියා දීම කළ නොහැකිය. සුෆිවරුන්ට සංගීතය, මැජික් මෙන්ම ඉස්ලාම් දහමින් තහනම් වන වෙනත් බොහෝ දේවල් සඳහා අනුමැතිය තිබේ”

මේ වන විට සුෆි තරිකාව ඉස්ලාම් සමාජයයේ විශාල කොටසක් ආක්‍රමණය කොට තිබේ. ඔවුන් තමන්ව සම්ප්‍රදායික මුස්ලිම්වරුන් ලෙස හඳුන්වා ගන්නේය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සොහොන් වන්දනාව සිදු කරන්නේය. මිය ගිය ප්‍රභූ වරුන් වෙනුවෙන් උත්සව පවත්වන්නේය. ඔවුන්ගෙන් තම උවමනාවන් සඳහා ප්‍රාර්ථනා කරන්නේය. ඔවුන් වෙනුවෙන් පඬුරු දමන්නේය. මේවා ඉස්ලාම් දහමට විරුද්ධ ක්‍රියාවන් වේ. කනගාටුවට කරුණ නම් බොහෝ ආලිම් හෙවත් විද්වතුන් පවා එම වරදට අනුබල දීමය. මේ නිසා මුස්ලිම්වරයෙකු වශයෙන් අල්ලාහ්ව හමුවීමට බලාපොරොත්තු වන අය කල යුත්තේ අල් කුරානය සහ මුහම්මද් සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාගේ මග පෙන්වීම අනුව ජිවත් වීමය. 

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.



Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)