විශ්වයේ පෝෂක දෙවියන් (God who feeds the universe)


නව ඇස්තමේන්තුවකට අනුව ස්වාභාවික ලෝකයේ සත්ව විශේෂ මිලියන 8.7 ක් පමණ ඇත. එය විද්‍යාඥයින් විසින් මෙතෙක් සිදු කොට ඇති වඩාත්ම නිවැරදි තක්සේරුව ලෙස සලකනු ලැබේ. මේ සෑම ජිවියෙකුටම ආහාර ලබා දෙන්නේ කවුද? 

අළු තල්මසුන් දින 130 සිට 140 දක්වා වන කාල පරාසය තුළ ආහාර කිලෝ ග්‍රෑම් 150,000 ක් පමණ ආහාරයට ගන්නේය. එනම් උගේ දෛනික අහාර අවශ්‍යතාවය කිලෝග්‍රෑම් 1,089 පමණ වේ. මෙය දල වශයෙන් මිනිසුන් 6000කගේ පමණ ආහාර අවශ්‍යතාවය වේ. මෙතරම් විශාල ආහාර අවශ්‍යතාවයක් තිබියදීත් කිසිම තල්මසෙකු බඩගින්නේ මිය යන්නේ නැත. එසේම අලියෙකු දිනකට රාත්තල් 250ත් 300ත් අතර ප්‍රමාණයක් ආහාර පරිබෝජනය කරන්නේය. මෙය දල වශයෙන් මිනිසුන් 1650කගේ අහාර අවශ්‍යතාවය වේ. එසේ තිබියදීත් සෑම අලියෙකුම කෙසේ හෝ උන්ගේ එම අවශ්‍යතාවය සපුරා ගන්නේය. මේ අකාරයටම ලොව සිටින ලොකු කුඩා සියලුම සතුන් උන්ගේ අහාර ලබා ගන්නේය. මෙහි ඇති විශේෂත්වය වන්නේ මිනිසා හැර වෙනත් කිසිම සතෙක් උන්ගේ හෙට දිනයට අවශ්‍ය අහාරය ගැන බියට පත් නොවීමයි.  
 
ඇත්ත වශයෙන්ම ලෝකයේ පවතින අති දැවැන්ත ආහාර දාමයක් නොවන්නට සියලුම ජීවීන්ගේ අහාර අවශ්‍යතාවයන් ඉටු කල හැකි වන්නේ නැත. ආහාර දාමයක් ඇති කිරීම පමණක් නොව එහි සමතුලිතතාවයක් පවත්වා ගැනීම දෙවියන්ටම මිස වෙනත් කිසිවෙකුට කල හැකි කාර්යයයක් නොවේ. මේ සම්බන්දයෙන් දෙවියන් පහළ කරන ලද සෑම ආගම් පුස්තකයකින්ම පවසන්නේ අල්ලාහ් විශ්වයේ මැවුම් කරුවා සේම එහි රක්ෂකයා ද පෝෂකයා ද වන බවයි. 

අල්ලාහ් කෙරෙහි පුර්ණ විශ්වාසය තබා ඇති සෑම ජීවියෙකුටම ඔහු අහාර ඇතුළු සියළුම උවමනාවන් ඉටු කර දෙන්නේය. එසේ තිබියදී මිනිසා ඔහුගේ ශක්තිය කෙරෙහි විශ්වාසය තැබීම නිසා ඔහුට තම අවශ්‍යතාවයන් විශාල උත්සයකින් පසු ලබා ගැනීමට සලස්වා තිබේ. මිනිසා තම රැකියාව කෙරෙහි ඕනෑවට වඩා විශ්වාසය තබා එය තම රක්ෂකයා ලෙස සලකන්නේය. එබැවින් මිනිසාට අනෙක් ජිවින්ට මෙන් නොව ඔහුගේ ආහාර වේල සඳහා විශාල කැප කිරීමක් සිදු කිරීමට අවශ්‍ය වේ. එසේ තිබියදී අනෙක් බොහෝ ජීවින් හෙටට කියා දෙයක් ඉතුරු කරන්නේ නැත. ඇතැම් ජීවින් සිටින්නේ පස යටය. ඇතැම් ජිවින්ට ඇස් නැත. ඇතැම් ජිවින්ට අත්පා නැත. එහෙත් එම සෑම ජීවියෙකුමට දෙවියන් අහාර ලබා දෙන්නේය. මේ නිසා උන් ජිවිතයේ සෑම දෙයක්ම අඩුවක් නැතුව කරන්නේය. එහි ප්‍රතිපලයක් ලෙස උන්ගේ වර්ගයා විනාශ නොවී පවතින්නේය. 

සෑම පක්ෂියෙකුම උදේට තම කුඩුවෙන් පියාසර කර යන්නේ ආහාර සොයමින් ය. මේ සඳහා ඇතැම් පක්ෂීන් විශාල දුරවල් ගෙවා යන්නේය. එසේ යන සෑම පක්ෂියෙකුම හවස තම කුඩුවලට පැමිණෙන්නේ තම කුස පුරවාගෙනය. තවද බොහෝ සතුන් ඉපදුනු පසු තම ආහාරය තමා විසින්ම සොයා ගන්නේය. එහෙත් මිනිසා උපදින විට එම සතුන්ටත් වඩා දුබලය. එහෙත් මිනිසාගේ මැවීම ලොව සිටින අනෙකුත් ජීවින්ට වඩා වෙනස්ය.

මිනිසාට අනෙකුත් සතුන්ට නැති ශරීරයක්ද බුද්ධියක්ද ලබා දී තිබේ. මේ නිසා මිනිසාට ඔහුගේ අවශ්‍යතාවයන් අනෙකුත් සතුන්ට වඩා වෙනස් ක්‍රමවලින් ලබා ගැනීමට සලස්වා ඇත. මේ හේතුවෙන් මිනිසා ජිවත් විය යුත්තේ දෙවියන් ලබා දී ඇති නීතිවලට යටත් වෙමින් ය. මිනිසා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබිය යුතු අතර නිවැරදි මාර්ගය අනුගමනය කරමින් තම අවශ්‍යතාවයන් සම්පුර්ණ කර ගත යුතු වේ. මේ නිසා මිනිසාට සතුන්ට මෙන් තවත් කෙනෙකුගේ දෙයක් උදුරාගත නොහැකිය. ඔහු සෑම දෙයක්ම කල යුත්තේ දෙවියන් පනවා ඇති නීතිවලට යටත් වෙමින් ය. එහෙත් කොටියෙකුට අහාරය පිණිස මුවෙක් මරාගෙන කෑ හැකිය. එය උන්ට ලබා දී තිබෙන ජිවත් වීමේ ක්‍රමය වේ. 

මිනිසාටද අනෙක් ජිවින්ට මෙන්ම අහාර නියම කොට හමාරය. මේ බව කුරානයේ සඳහන් කොට ඇත. එහෙත් මිනිසා ඔහුගේ අවශ්‍යතාවයන් ඉටු කර ගත යුත්තේ නීතිමය රාමුවක් තුලය. කෙසේ වෙතත් මිනිසා අල්ලාහ් කෙරෙහි පුර්ණ විශ්වායෙන් ජිවත් වන්නේ නම් සත්ව ලෝකය තුල අනෙක් ජිවින්ට අහාර ලබා දෙන අකාරයටම මිනිසාටත් අහාර ලබා දෙන බව නබිතුමා පවසා ඇත. ඒ අතරම කුරානයේ මෙසේ පවසා ඇත. “කවරෙක් අල්ලාහ්ට බියවී ක්‍රියා කරයිද ඔහුට අල්ලාහ් මඟක් ඇති කරන්නේය. තවද, ඔහු නොසිතු ආකාරයට ඔහුට අහාර ලබා දෙන්නේය. තවද, කවරෙක් අල්ලාහ් කෙරෙහි පූර්ණව විශ්වාස කරයිද ඔහුට (අල්ලාහ්) ප්‍රමාණවත් වන්නේය” (කුරානය 65:2-3). මේ නිසා අල්ලාහ් කෙරෙහි ස්ථිර විශ්වාසයෙන් ජිවත් වන තැනැත්තා තම වෙළඳාම අඩුවීම කෙරෙහි හෝ රැකියාව අහිමි වීම ගැන හෝ අනිසි බියක් ඇති කර ගත යුතු නැත. අල්ලාහ් වෙනත් ක්‍රමයකින් ඔහුගේ අවශ්‍යතාවයන් ලබා දෙනු ඇත. 

අබ්දුර් රහ්මාන් ඉබ්නු අව්ෆ් රලි තුමා මක්කාවේ සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකි. එහෙත් කුරෛෂ් වරුන්ගේ වද හිංසා නිසා ඔහු තම සියළුම වස්තුව හැර දමා හිස් අතින් මදිනා නගරයට හිජ්රත් ගියේය. කෙසේ වෙතත් ඔහු අල්ලාහ්ගේ උදව්වෙන් ටික කලකදී නැවතත් පෙර පරිදිම කොටි පති ව්‍යාපාරිකයෙක් විය. මින් පැහැදිලි වන්නේ අල්ලාහ් කෙරෙහි ස්ථිර වශයෙන් විශ්වාස කරන්නේ නම් ඔහුට කිසිවෙකුගේ කුමන්ත්‍රණ වලට බිය විය යුතු නැති බවයි.

මිනිසාගේ නියම ඉලක්කය විය යුත්තේ මරණයෙන් පසු ජීවිතය ජය ගැනීම වේ. එම නිසා අල්ලාහ් ඔහුට ලබා දී ඇති ජීවිතය නිසි මගට යොමු කල යුතු ය. එවිට අල්ලාහ් ඔහුගේ ලෞකික දේවල් සඳහා උදව් කරනු ඇත. එසේ නොකොට ලෞකික ජීවිතය පමණක් අසා කරමින් අධික ලෙස වස්තුව සෙවීමට යාමෙන් සිදු වන්නේ ඔහුගේ නියම ඉලක්කය කරා යාමට නොහැකි වීම වේ. එය මිනිසා ලබන විශාලම පාඩුව වේ. 

By Fasy Ajward.B.Sc(Special)Hons,Japura. 
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.





Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)