අල්ලාහ් සමාව නොදෙන පාපයන් කුමක්ද? (What are the sins that Allah does not forgive?)


අල්ලාහ් එක්කෙනෙකි. ඔහුට සමාන වෙනත් කිසිම දෙවි කෙනෙක් නැත. එසේ තිබියදී යම් කෙනෙක් ඔහුට වෙනත් දේවල් සමාන කිරීම අල්ලාහ් අනුමත නොකරන්නේය. එම පාපය හැර අනෙක් වැරදි සඳහා අල්ලාහ් ඔහුගේ අභිමතය පරිදි සමාව දෙන්නේය. 

"නියත වශයෙන්ම අල්ලාහ්ට සමානයන් ඇති කිරීම වෙනුවෙන් ඔහු සමාව නොදෙන්නේය, එහෙත් ඔහු එය හැර වෙනත් දේවල් සඳහා තමන් කැමති අයට සමාව දෙන්නේය: කවරෙක් අල්ලාහ්ට සමානයන් තබයිද ඔහු මහා පාපයක් ඇති කල කෙනෙකි" (කුරානය 4:48).

ඇතැම් පුජකවරුන් ඔවුන්ගේ ලෞකික වාසි වෙනුවෙන් අල්ලාහ් පහළ කරන ලද ආගම හොඳින් දැනගෙන සිටියත් එය අනෙකාට පවසන්නේ නැත. එසේ කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ මේ ලෝකයේදී ලැබෙන වාසිය පමණනි. ඇයිද යත් සත්‍යය පැවසීමෙන් ඔවුන්ට ලැබෙන තාන්න මාන නැතිවී යන්නේය. ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සත්‍යය වසන් කිරීම නිසා පුජකවරුන්ගේ මග පෙන්වීම බලා සිටින බොහෝ අයට සත්‍යය දැනගැනීමට තිබෙන මාර්ගය ඇහිරී යන්නේය. මේ නිසා ඔවුන් අනුභව කරන්නේ ගින්න බව කුරානය මගින් මෙලෙස පෙන්වා දෙයි.
  
"නියත වශයෙන්ම කවරෙක් අල්ලාහ්ගේ පුස්තකයෙහි පහළ කළ දැය සඟවාගෙන එමගින් අල්ප මිලක් ලබාගන්නේද, ඔවුන් තම උදරය තුලට ගින්න මිසක් වෙන දෙයක් අනුභව නොකරති. විනිශ්චය දිනයේදී ඔවුන් සමග අල්ලාහ් කථා නොකරන්නේය. ඔවුන්ව (පව්වලින්) පිරිසිදු කරන්නේද නැත. ඔවුන්ට හිංසාකාරී වේදනාවක්ම ඇත" (කුරානය 2:174).

කෙසේ වෙතත් තමන් කරන දේ වරදක් බව තේරුම් ගත් පසු සම්පුර්ණයෙන්ම එම වරදින් ඉවත් වී අල්ලාහ්ගෙන් සමාව ඉල්ලන්නේ නම් අල්ලාහ් ඔහුට සමාව දෙන බව මෙසේ පවසා ඇත.

"පවසනු: තමන් විසින්ම තමන්ගේ සීමාව ඉක්මවා (වැරදි කරගත්) මාගේ ගැත්තනි! නුඹලා අල්ලාහ්ගේ දයාව කෙරෙහි විශ්වාසය අත් නොහරිනු! නියතව අල්ලාහ් සියළුම පව් සමා කරන්නාය. ඇත්ත වශයෙන්ම ඔහු අධිකව ක්‍ෂමා කරන්නාද, අසම දයාවන්තයාද වේ" (කුරානය 39:53).

අල්ලාහ් ඔහුට යම් දෙයක් සමාන කිරීමේ වරදට සමාව නොදීමේ හේතුව මෙම උදාහරණයෙන් තේරුම් ගත හැකිය. යම් කෙනෙක් විශාල කැපකිරීමකින් පසු විවාහ වී ඔහුට ලැබුණු දරුවා දුක් මහන්සියෙන් හදා වඩා ගෙන ඔහුට දිය හැකි උසස්ම අධ්‍යාපනයද ලබා දී හොඳ තැනකට ගෙන ආ පසු ඔහු හොඳ රැකියාවක් කරමින් සුකොපබෝගී ජිවතයක් ගෙවමින් සිටින විට කුදු ගැසී, හම රැලි වැටී මහලු වියේ පසුවන ඔබ දෙස බලා ඔබගේ පිතෘත්වය පිලි ගැනීමට ලජ්ජා වෙනවා නම් ඔහු ගැන ඔබට කුමක් කිව හැකිද? කෙසේ වෙතත් දෙවියන් කිසිවෙකුගේ උදව් බලාපොරොත්තු වන්නේ නැත. 

අල්ලාහ් මිනිසාව අලංකාර රුපයෙන් මවා ඇත. දේවදුතයින්ටත් නැති ස්වයං තීරණ ගැනීමේ හැකියාව ලබා දී ඇත. නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා දහමක් පහළ කොට ඇත. එසේ තිබියදී මිනිසා අල්ලාහ්ට වෙනත් දේවල් සමාන කිරීම අනුමත කල හැකිද?  

මිනිසාට අල්ලාහ් වෙනුවෙන් වැඳුම් පිදුම් කරන කිසිම දෙයකින් කිසිම උදව්වක් ලබා ගැනීමට නොහැකිය. එම දේව රුප සදා ඇත්තේද මිනිසා විසින්මය. ඒවා නඩත්තු කරන්නේද මිනිසමය. එසේ තිබියදී ඔහු අල්ලාහ් වෙනුවට ඒවායින් කුමක් බලාපොරොත්තු වන්නේද? මරණයෙන් පසු ඒවායින් උදව් ලබා ගත හැකි වේද? 

කෙනෙක් අල්ලාහ්ව විශ්වාස නොකළ පමණින් ඔහුට මෙලොවදී දඬුවම් කරන්නේ නැත. තවද ඔහු වෙනුවෙන් ලබා දිය යුතු කිසිම දෙයක් අඩු කරන්නේද නැත. මේ නිසා ඔහු සිතන්නේ තමන් නිවැරදි මාර්ගයේ සිටින බවයි. එහෙත් එය මුලාවකි. තවද ඔහු නිවැරදි මාර්ගය සොයන තුරු අල්ලාහ් ඔහුට එය පෙන්වන්නේද නැත. මේ නිසා සෑම කෙනෙකුම සත්‍යය මාර්ගය පෙන්වා දෙන මෙන් අල්ලාහ්ගෙන් ප්‍රර්ථනා කල යුතුය. එසේ කල අයට අල්ලාහ් සත්‍යය මාර්ගය පෙන්වා නොදෙන්නේද නැත. 

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)