සත්ව ආහාර අනුභව කිරීම පාපයක්ද? (Is it a sin to eat animal food?)
පෘථිවියේ ඇති අහාර රටාවන් විවිධාකාර ය. ඇතැම් ජීවින් මාංශ පමණක් අනුභව කරති. ඇතැම් ජීවින් ගස්කොලන් පමණක් අනුභව කරති. ඇතැම් ජීවින් සත්ව සහ ශාක යන දෙකින්ම යැපෙන්නේය. මෙය එම ජීවීන්ගේ උපතින්ම උරුම වූ දෙයක් මිස උන් විසින්ම තෝරාගත් දෙයක් නොවේ. මේ හේතුවෙන් කිසිවෙකුට ලෝකයේ ඇති අහාර රටාවන් වෙනස් කල නොහැක. කෙසේ වෙතත් සත්ව ලෝකයේ ආගමක් අදහන එකම ජීවියා මිනිසා බැවින් ඔහුගේ අහාර රටාව ආගමික නීති වලින් සිමා කොට තිබේ. ඒ අනුව ඇතැම් ආගමික ධර්ෂණ වලින් තමන් වෙනුවෙන් ඝාතනය කරන ලද මාංශ අනුභව කිරීම තහනම් වේ. එහෙත් ආබ්‍රහමික ආගම් වන යුදෙව්, කිතුනු සහ ඉස්ලාම් හි තෝරාගත් ඇතැම් සතුන් හැර අනෙක් සතුන් අනුභව කිරීම සඳහා අවසර ලැබෙන්නේය.
අහාරය පිණිස සතුන් ඝාතනය කිරීම සඳහා අවසර ලබා දී ඇතත් උන්ට හිංසා කිරීම තහනම් ය. ඉස්ලාම් දහම සත්ව කරුණාව සම්බන්දයෙන් බොහෝ දේවල් පවසා තිබේ. ඒ අනුව සතුන් ඇතිකිරීමේදී උන්ට ආහාර, ජලය, නවාතැන් සහ පශු වෛද්‍ය රැකවරණය නිසි පරිදි ලබා දිය යුතුය. සතුන්ට වධ දීම, අබ්බගාත කිරීම බලවත් වරදකි. එක් බනු ඉස්රායිල් කාන්තාවක් බලලෙකුට කෑම නොදී හිරකර තැබීම නිසා ඌ මරණයට පත් විය. මේ නිසා ඇය කොපමණ කුසල් කරත් නිරයට යන බව නබිතුමා පැවසුවේය. එසේම තිපාසයෙන් පෙළුණු බල්ලෙකුට වතුර දීම නිසා ගනිකාවකට සවර්ගය ලැබුණු බව නබිතුමා දැනුම් දුන්නේය.
එක් දිනක් නබිතුමා සිය අනුගාමිකයින් සමග ගමනක් යමින් සිටියදී සුළු වේලාවක් සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ. එතුමා තම අවශ්‍යතාවය අවසන් කොට පැමිණි විට දැක ගත හැකි වුයේ සහාබාවරු කිහිප දෙනෙක් එම ස්ථානයේ සිටි කුරුළු පැටව් දෙදෙනෙකුව මව් කිරිල්ලියගෙන් උදුරාගෙන සිටින බවයි. මේ හේතුවෙන් මව් කිරිල්ලී උගේ පැටවුන් දෙදෙනාගේ වෙන්වීමේ ශෝකයෙන් අහසේ පියාසර කරමින් සිට ඇත. මෙම සිද්ධිය දුටු නබිතුමා 'මෙම කිරිල්ලීට වේදනාව ගෙන දෙන මේ ක්‍රියාව කලේ කව්දැ'යි විමසා ඇති අතර වහාම එම කුරුළු පැටවුන් නිදහස් කරන ලෙස නියෝග කොට තිබේ (සහිහ් මුස්ලිම්).
"යම්කිසිවෙකු සෙල්ලමට හෝ ගේ කුරුල්ලෙකු මරා දැමුවේ නම්, එම ගේ කුරුල්ලා විනිශ්චය දිනයේදී, ‘දෙවියනි! මොහු නිකරුනේ මාව මරා දැමුවා! ඔහු කිසිම වැදගත් කමකට මාව මැරුවේ නෑ’ යනුවෙන් පවසන බව නබි තුමා සහාබා වරුන්ට දැනුම් දුන්නේය. (සුනන් අන් නිසායි).
තවත් අවස්ථාවකදී සහාබි වරයෙක් බුරුවෙකුගේ පිටේ වාඩි ගෙන බොහෝ වෙලාවක් තවත් සහාබි වරයෙකු සමග කතා කරමින් සිට ඇත. එය දුටු නබිතුමා සතුන්ට කරුණාව දක්වන ලෙසත් උන්ව ආසනයක් ලෙස භාවිතා නොකරන ලෙසත් අවවාද කොට තිබේ. තවත් අවස්ථාවකදී සහාබිවරයෙකු දිරා ගිය බුරුවෙකුගෙන් අධික ලෙස වැඩ ගනිමින් සිටිනු දැක නබි තුමා ඔහුට පවසා තිබෙන්නේ එම සතාගෙන් වැඩ ගන්නේ නම් ඌට නිසි ලෙස ආහාර ලබා දෙන ලෙස පවසා ඇත.
ඇතැම් අය මාංශ අනුභව කලත් ගව ඝාතනයට පමණක් විරුද්ධ වෙති. ඒ අනුව ගවයා හැර කුකුලන් එළුවන් මත්ස්‍යයින් මැරීම ගැන ඔවුන් විරුද්ධ වන්නේ නැත. ඔවුන් එසේ කලත් සෑම ජිවියෙකුටම ඇත්තේ එකම ප්‍රාණයක් බවත් සෑම ජීවියෙකුම ජිවත් වීමට අසා කරන බවත් ඔවුන් වටහා ගත යුතුය.
සතුන් ඝාතනය කිරීමට විරුද්ධ වන අය පවා ලෙඩක් සැදුනු විට තම ජීවිතය බේරාගැනීම සඳහා ප්‍රතිජීවක ඖෂද භාවිතා කොට ලක්ෂ සංඛ්‍යාත ක්ෂුද්‍ර ජීවින් විනාශ කරන්නේය. එය කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කර ගැනීමේ න්‍යාය නොවේද?
ප්‍රාණ ඝාතනයට විරුද්ධ වන්නේ නම් බරවා, ඩෙංගු, මැලේරියා වැනි ලෙඩ බෝකරන මදුරුවන් විනාශ කිරීමටද විරුද්ධ විය යුතුය. එහෙත් සත්ව හිංසනයට විරුද්ධ වන අය ඒවාට නිහැඬියාව දක්වන්නේය.
ඇත්ත වශයෙන්ම සත්වයින් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් උන්ගෙන් වැඩ ගැනීමටත් විදුද්ධ විය යුතුය. එසේම උන්ගේ පැටවුන් වෙනුවෙන් එරෙන කිරි දොවා ගැනීමෙනුත් වැලකි සිටිය යුතුය.
ඇත්ත වශයෙන්ම මාංශ අනුභව කිරීම පාපයක් නම් බොහෝ ජීවින් නිරාහාරයෙන් මිය යෑම කිසිසේත්ම වැළැක්විය නොහැක. එය සත්ව ඝාතනය වෙනුවට සිය දිවි හානිකර ගැනීම සඳහා අත වැනීමකි.
By Fasy Ajward.B.Sc(PhysicsSpecial)HonsJapura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment