අල්ලාහ්ට සමානයන් ඇති කිරීම (Making equals to Allah)


ඉස්ලාම් දහමේ මුලික ඉගැන්වීම වන්නේ අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගනිම වේ. ඉන් අදහස් කරන්නේ අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු වෙනුවෙන් අල්ලාහ්ට ලැබිය යුතු ගරුත්වය ලබා නොදීම වේ. මෙලොවට පැමිණි සියලුම නබිවරුන් ඉගැන්නුවේද එයයි. එසේ තිබියදී ඉස්ලාම් බක්තිකයෙක් අල්ලාහ්ට සමානයන් තබන්නේ නම් ඔහු කරන්නේ විශාල වරදකි. එවැනි කෙනෙක් මරණයට පෙර එම වැරැද්දෙන් මිදී අල්ලහ්ගෙන් සමාව ගෙන නොතිබුනේ නම් ඔහුට ස්වර්ගය තහනම් වේ. ඒ අනුව ඔහු ඉස්ලාම් දහමින් නියම කොට ඇති සලාතය ඉටු කර තිබුනත්, සකාත් බද්ද ගෙවා තිබුනත්, උපවාසය සිදු කොට තිබුනත් යන්නේ නිරයට වේ. මේ නිසා අල්ලාහ්ට සමානයන් තැබීමේ භයානක කම ගැන සෑම මුස්ලිම්වරයෙකුම දැනගෙන සිටිය යුතු ය. ලුක්මාන් අලෛහි සලාම් තුමා සිය පුතුන්ට මෙසේ අවවාද කළ බව කුරානය පෙන්වා දෙන්නේය. "ලුක්මාන් තම පුතාට අවවාද කරන කල පැවසුවේ, 'මාගේ දයාබර පුතුනි! අල්ලාහ්ට කිසිම දෙයක් සම නොකරන්න! නියතවශයෙන්ම අල්ලාහ්ට වෙනත් දෙයක් සමකිරිම ඉතා දරුණු අපරාධයකි" (කුරානය 31:13). මෙතරම් දරුණු අවවාදයක් සිදු කොට තිබියදීත් අද බොහෝ මුස්ලිම්වරුන් මළවුන් හරහා අල්ලාහ්ට සමානයන් තැබීම දැකිය හැකිය. 

තමන් ගරු කරන කෙනෙක් මිය ගිය විට ඔහුට කල යුත්තේ ඔහුව පොදු සුසාන භුමියේ මිහිදන් කිරීමයි. එසේ නොකර ඔහුව වෙනම ම  මිනිදන් කරගෙන ඔහු වෙනුවන් ස්ථිර ගොඩනැගිලි ඉදිකොට එම ස්ථානය පුජනීය ස්ථානයක් කර ගැනීම ඉස්ලාමීය ඉගැන්වීම නොවේ. නබිතුමා වෙනුවෙන් හෝ වෙනත් නබිවරුන් වෙනුවෙන් හෝ එවැනි දෙයක් ඉස්ලාම් දහම තුල දැකිය නොහැකිය. එසේ තිබියදී තමන් ගරු කරන  කෙනෙක් වෙනුවෙන් වන්දනා මාන කරන්නේ කෙසේද?  මේ නිසා එම වරදට ඉස්ලාම් දහම තුල සමාවක් නැත. ඒ සම්බන්දයෙන් කුරානය මෙසේ පවසයි. "නියතවශයෙන්ම අල්ලාහ් ඔහුට (වෙන දෙයක්) සම කරනු ලැබීම ක්ෂමා නොකරන්නේය. එය හැර අනෙක්වා ඔහුගේ අභිමතය පරිදි ක්‍ෂමා කරන්නේය. කවරෙක් (නැමදීමේ දී) අල්ලාහ්ට (යමක්) ආදේශ කරයිද ඔහු නියතවශයෙන්ම මහා පාපයක්  ගොතන ලද්දෙක් වේ" (කුරානය 4:48). එසේ තිබියදී ඇතැම් අය අල්ලාහ්ට නමදින අතරම ඔවුන් ගරු කරන සාස්තෘවරුන් මිය ගිය පසු ඔවුන්ගේ සොහොන්වලට ගොස් ඔවුන් හරහා අල්ලාහ්ට ප්‍රාර්ථනා කරන්නේය. එහෙත් එවැනි දෙයක් නබිතුමා පෙන්වා දී නැත. තවද ඉස්ලාමිය ඉගැන්වීම් අනුව එය අල්ලාහ්ට සමානයන් තැබීමක් ලෙස සලකනු ලැබේ. එබැවින් එය විශාල පවක් වන්නේය. 

ඉස්ලාම් දහම පෙන්වා දී ඇති පරිදි මුස්ලිම්වරුන් නැමැදිය යුත්තේද, ප්‍රාර්ථනයන් යොමු කල යුත්තේද, පඬුරු දැමිය යුත්තේද අල්ලාහ්ට පමණි. එසේ තිබියදී යම් මුස්ලිම්වරයෙක් හිතා මතාම අල්ලාහ් වෙනුවට වෙනත් කෙනෙකුගෙන් ප්‍රාර්ථනා කරන්නේ නම් ද ඔවුන් වෙනුවෙන් පඬුරු දමන්නේ නම් ද එවැනි කෙනෙකුට අත්වන්නේ නිරය වේ. එබැවින් ඔවුන් මරණයට පත්වීමට පෙර තමන් කරමින් සිටි වරද වෙනුවෙන් සමාව ගෙන තිබිය යුතුය. 

අල් කුරානයේ මෙසේ සඳහන් වේ. "නුඹගේ 'ර‍බ්' ඔහුට හැර (වෙන කිසිවෙකුටත්) නැමදුම් නොකළ යුතු යැයි නියෝග කරයි" (කුරානය 17:23). කුරානයේ තවත් තැනක මෙලෙස සඳහන් වේ. "අවංක ලෙස අල්ලාහ්ට පමණක් මිස වෙන කිසිවෙකුට නැමදුම් කරන ලෙස ඔවුන්ට නියෝග කෙරුවේ නැත" (කුරානය 98:5). එසේ තිබියදී  වෙනත් දේවල් සඳහා නැමදීම පමණක් නොව තවත් කෙනෙකුගේ සිත දිනා ගැනීම සඳහා නැමදුම් කරන්නේ නම් එයද දෙවියන්ට සමානයන් ඇති කිරීමක් ලෙස සලකනු ලැබේ. මේ නිසා පින් දහම් කිරීමේදී පිරිසිදු චේතනාව අනිවාර්ය වේ.  

ආදම් තුමා පටන් නුහ් නබි තුමා දක්වා සොහොන් වන්දනාව තිබුනේ නැත. එහෙත් නුහ් නබිතුමාගේ කාලයේදී එය ආරම්භ විය. ඒ අනුව එකල ජීවත්වූ සාස්තෘවරුන්ට ගෞරව කිරීමේ පදනමින් ආරම්භ කරන ලද මෙය අවසාන කෙරුනේ ඔවුන් අල්ලාහ්ගේ අතරමැදියන් ලෙස පත් කර ගැනීමෙනි. එහෙත් අල්ලාහ්ට අතරමැදියන් පත්කර ගැනීම විශාල පාපයක් ලෙස ඉස්ලාම් දහම පෙන්වා දෙන්නේය. මළවුන්ගෙන් ප්‍රර්ථනා කිරීම හෝ ඔවුන්ව අතරමැදියන් ලෙස පත්කරගනිමින් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම කෙනෙකුව දහමින් බැහැර කල හැකි වරදවල් ය. එවැනි වරදක් සිදු කරමින් කරන සලාතයට හෝ උපවාසයට හෝ අනෙක් පින් දහම් වලට කුසල් නොලැබෙන්නේය. ඒ අනුව කෙනෙකුගේ කුසල් අල්ලාහ් වෙත පිලිගැනීම සඳහා තිබිය යුතු මුලික කොන්දේසිය වන්නේ ඔහු අල්ලාහ්ට සමානයන් නොතැබීමය. "ඔබ පිළිම වන්දනාවේ යෙදෙනවා නම්, නුඹලාගේ සියලු ක්‍රියා නිෂ්ඵල වන්නේය. තවද ඔබ පරාජිතයින් සමඟ සිටින්නෙහිය" (කුරානය 39:65).

මුස්ලිම්වරයෙකු යාක්ඥා කල යුත්තේද පඬුරු දැමිය යුත්තේද සලාතය ඉටු කල යුත්තේද අල්ලාහ්ට පමණි. මේ නිසා කිසිම කෙනෙක් මළවුන් වෙනුවෙන් පඬුරු දැමීම හෝ ඔවුන්ගෙන් යාක්ඥා කිරීම නොකල යුතුය. මෙය පැහැදිලිව දැකිය හැක්කේ මුස්ලිම්වරයෙකු සලාතය ඉටු කරන අවස්ථාවේදීය. ඔහු ෆාතිහා සුරාව පරායණය කරන අවස්ථාවේදී "අපි නුඹවම නමදිමු. නුඹගෙන්ම උදව් පතමු" (කුරානය 1:5) යනුවෙන් පවසන නිසාය. තවද ඔහු අත්තහියාත් පරායණය කිරීමේදී පවසන්නේ සෑම පඬුරක්ම අල්ලාහ්ට බවයි. එසේ තිබියදී මුස්ලිම්වරයෙකුට කිසිම හේතුවක් නිසාවත් මළවුන්ගෙන් හෝ සාස්තෘවරුන්ගෙන් උදව් පැතීමට හෝ ඔවුන් වෙනුවෙන් පඬුරු දැමීමට හෝ ඔවුන් වෙනුවෙන් සතුන් කැප කිරීමට හෝ නොහැකිය.

ඉහත සඳහන් කල වරද සිදු කරන බොහෝ අය සිතන්නේ එම වරදට උදව් නොකරන අය ඉස්ලාම් දහමේ සතුරන් බවයි. ඇත්ත වශයෙන්ම එය සාතන්ගේ විශාල උගලක් බව ඔවුන් තේරුම් ගත යුතුව තිබේ. 

By Fasy Ajward.B.Sc(Sp.Phy) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)