ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත වූ බව පැවසීමේ සත්‍යයක් තිබේද? (Is there any truth to the claim that Islam spread by the sword?)



ඉස්ලාම් විශ්වාසය මත පදනම් වූ දහමකි. තවද, විශ්වාසය සිත හා බැඳී පවතී. එම නිසා විශ්වාසය කඩුවෙන් බිය වද්දා ඇතුලත් කල නොහැකිය. ඇයිද යත් බිය වැද්දීම නිසා කෙනෙකුට බොරුවට ඉස්ලාම් දහම වැළඳ ගෙන පසුව එය අත්හැරිය හැකි නිසාය. කෙසේ වෙතත් ඇතැම් විවේචකයින් පදනම් විරහිතව පවසන්නේ ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත වූ බවයි. එය සත්‍යයක් නම් අද ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය අඩාල විය යුතුය. එහෙත් අපට අදටත් දැක ගත හැක්කේ ලොව වේගයෙන්ම ව්‍යාප්ත වන දහම ඉස්ලාම් බවයි. ඉන් පැහැදිලි වන්නේ ඉස්ලාම් විරෝධීන්ගේ තර්කය පුස්සක් බවයි. 

ඉසලාම් දහම තුල බල කිරීමක් නැත. ඒ බව කුරානයේ මෙලෙස සඳහන් කොට ඇත. "මෙම ධර්මය (වැළඳ ගැනීමෙහිලා) කිසිඳු බල කිරීමක් නැත" (කුරානය 2:256). එසේ තිබියදී කඩුවෙන් ඉස්ලාම් දහම ව්‍යාප්ත කල නොහැකිය. කුරානයේ මෙසේද සඳහන් වේ. "පවසනු! සත්‍යය ඔබගේ පරමාධිපතිගෙන් ලැබෙන දෙයකි. එහෙත් කැමති කෙනෙකුට එය විශ්වාස කල හැකිය. කැමති කෙනෙකුට එය ප්‍රතික්ෂේප කළ හැකිය" (කුරානය 18:29). 

අල්ලාහ්ට අවශ්‍ය නම් මෙලොව සිටින සියලුම දෙනා ඔහුගේ විශ්වාසවන්තයින් බවට පත්කළ හැකිය. "ඔබගේ දෙවිඳුන් සිතා සිටියේ නම් පොළොවෙහි සිටින සියල්ලෝම විශ්වාස කර තිබෙන්නොය. (එසේ තිබියදී) මිනිසුන් විශ්වාසවන්තයින් ලෙස වෙනස් විය යුතු යැයි ඔබ ඔවුන්ට බල කරන්නෙහි ද?" (කුරානය 10:99). එසේ තිබියදී ඉස්ලාම් දහම ව්‍යාප්ත කිරීම සඳහා කඩුවක් අවශ්‍ය වෙයිද?

යම් කෙනෙක් ඉස්ලාම් දහම වැළඳ ගන්නේ නම් ඉන් ලැබෙන ප්‍රයෝජනය ඔහුටම ය. ඇයිද යත් එය ස්වර්ගය අත්කර ගැනීම සඳහා අවශ්‍ය මුලික කොන්දේසියක් වන නිසාය. "(නබියේ) පවසනු! මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සත්‍යය නුඹලා හමුවට පැමිණ ඇත. (එමගින්) කවරෙක් යහමග ලබයිද ඔහු තමාටම යහපතක් කරගනියි. කවරෙක් මංමුලාවෙහි ගමන්කරයිද ඔහු තමාටම එරෙහිව නොමගෙහි යන්නෙකි. මා නුඹලාට භාරකාරයෙක් නොවෙමි" (කුරානය 10:108). 

ඉස්ලාම්, බලෙන් දිය හැකි දෙයක් නම් නබිතුමා ඔහුගේ සුළු පියා වන අබු තාලිබ් තුමාට එය මුලින්ම දෙනු ඇත. එතුමා නබිතුමාව ඉතා ආදරයෙන් හදා වඩා ගත්තේය. එබැවින් නබිතුමා ඔහුගේ අවසාන මොහොත දක්වාම ඉස්ලාම් දහම වෙත ඇරයුම් කළා මිස ඉස්ලාම් දහම වැළඳ ගැනීම සඳහා බල කරේ නැත. මේ නිසා අබු තාලිබ් මිය ගියේ කාෆිර් වරයෙකු ලෙසය. එනම් ඉස්ලාම් දහම පිළිනොගත් කෙනෙකු ලෙසය.

ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත කළ හැකි නම් නබිතුමා මක්කාව අත්පත් කර ගත් අවස්ථාවේදී එහි සිටි සියලු දෙනාවම බලෙන් ඉස්ලාම් දහමට හරවා ගත හැකිව තිබුනේය. එහෙත් නබිතුමා එවැනි දෙයක් කළේ නැත. ඒ වෙනුවට සියළු දෙනාටම පොදු සමාව පිරි නැමුවේය. එම පොදු සමාව දීමෙන් පසු ඉස්ලාම් දහමේ පරම සතුරෙකු වන අබු සුෆියාන් ඉස්ලාම් දහම වැළඳ ගත්තේය. ඉන් පසු ඔහුගේ භාර්යාව වූ හින්දා ද තවත් බොහෝ අය ද ඉස්ලාම් දහම වැළඳ ගත්තෝය. 

ඉස්ලාම් දහම බලෙන් දීමට තරම් නොවැදගත් දෙයක් නොවේ. එබැවින් එය පිරිනමනු ලබන්නේ සත්‍යය සොයා යන්නාට පමණි. "කවරෙක් අල්ලාහ්ව විශ්වාස කරත්ද, (අල්ලාහ්) ඔහුගේ හදවත නිවැරදි මගෙහි යවන්නේය" (කුරානය 64:11). 

ඉස්ලාම් දහම එදා මෙන්ම අදත් ව්‍යාප්ත වන්නේ එහි ඇති සත්‍යතාව නිසාය. ඒ අනුව ඉන්දුනීසියාවේ වැසියන් ඉස්ලාම් දහම වැළඳ ගත්තේ එහි ගිය මුස්ලිම් වෙළෙන්දන්ගේ ඉස්ලාම් දහම දැකීමෙන් ය. ඒ හැර ඉන්දුනීසියාවට ඉස්ලාම් දහම පරචාරය කිරීම සඳහා කිසිම හමුදාවක් එහි ගියේ නැත. එසේ කිරීම හමුදාවේ ක්‍රියාවක්ද නොවේ. එහෙත් කිසිම යුද්ධයක් නොකොට එම රට සම්පුර්ණයෙන්ම ඉස්ලාම් රාජ්‍යයක් බවට පත් විය. කෙසේ වෙතත් අනෙක් ආගම් මෙන්ම ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීම මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන වගකීමකි. 

M.F.Ajward.B.Sc(Phy.Sp)Hons,Japura. 
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)