ඉස්ලාම් දහමෙහි බිද්අත් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (What is meant by bid'ah in Islam?)


'බිද්අහ්' යන්නෙහි පාරිභාෂික අර්ථය අලුතින් නිර්මාණය කිරීම යන්නයි. එහෙත් ෂරියාව අනුව 'බිද්අහ්' යන්නෙන් අදහස් කරනු ලබන්නේ දහමින් පෙන්වා නොතිබෙන විශ්වාසයන් සහ ඇදහිලි අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා සිදු කිරම වේ. ඒ අනුව අල්-කුරානයෙන් හෝ නබිතුමාගේ හදිස්වලින් 'බිද්අහ්' සඳහා මුලාශ්‍රයන් සොයාගැනීමට නොහැකිය.

නබිතුමාගේ අභාවයට කලින්ම ඉස්ලාම් දහම සම්පුර්ණ විය. එම කරුණ මෙම කුර්ආන් වැකියෙන් තහවුරු කර ගත හැකිය. "අද දිනයේදී මා නුඹලාගේ දහම නුඹලාට සම්පුර්ණ කර ඇත්තෙමි" (කුරානය 5;3). එසේ තිබියදී කිසිවෙකුට ඉස්ලාම් දහම තුලට අළුත් විශ්වාසයන් හෝ ඇදහිලි එකතු කිරීමට හෝ අඩු කිරීමට කිසිම අවසරයක් නැත. දහම තුල 'බිද්අහ්' ඇති කරන තැනැත්තා නොකියා කියන්නේ නබිතුමා ඔහුගේ දූත මෙහෙවර සම්පුර්ණ නොකළ බවයි. ඒ අනුව ඔවුන් නබිතුමාට නොහැකි වූ දේවල් ඔහුගේ අභාවයෙන් පසු සම්පුර්ණ කරන බව හඟවමින් දහම තුලට අළුත් ඇදහිලි එකතු කරති. 

පොදුවේ ගත්කල 'බිද්අහ්' ක්‍රියාවන් වැරදි දේවල් බව දහම ගැන මනා දැනුමක් නොමැති කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත නොහැකිය. ඇයිද යත් සෑම 'බිද්අහ්' ක්‍රියාවක්ම ඇදහිල්ලක ස්වභාවය උසුලන නිසාය. උදාහරණයක් වශයෙන් නබිතුමා වෙනුවෙන් සලවාත් පැවසීම පෙන්වා දිය හැකිය. එය විශාල කුසල් ක්‍රියාවක් යන්නෙහි කිසිම මත බේදයක් නොමැත. එහෙත් එය 'බිද්අහ්' ක්‍රියාවක් බවට පත්වන්නේ නබිතුමා පෙන්වා නොදුන් දේවල් ඊට එකතු කිරීම නිසාය. උදාහරණයක් වශයෙන් සලවාත් කීම සඳහා කාල වකවානු සහ වාර ගණනක් නියම කිරීම පෙන්වා දිය හැකිය. එහෙත් එසේ කිරීම සඳහා ෂරියාවේ කිසිම මුලාශ්‍රයක් නොමැත. 

සෑම 'බිද්අහ්' ක්‍රියාවක්ම නොමග ගිය දේවල් බව නබිතුමා ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත (අබුදාවුද් 4607). තවත් හදිසයකට අනුව සෑම 'බිද්අහ්' ක්‍රියාවක්ම නිරයට මාර්ගය වේ (අන් නසායි 1/224). තවද, බිදඅත් ඇති කරන අය සහ ඊට උදව් කරන අය අල්ලාහ්ගේද ඔහුගේ සුර දුතයින්ගේද විශ්වාසවන්තයින්ගේ ද ශාපයට ඇතුලත් වන්නෝය (බුහාරි 12/41 සහ මුස්ලිම් 9/140). තවද දහමට අළුතින් කොටස් එකතු කිරීමෙන් දහමේ ඇති දේවල් සදහටම අහෝසි වන බව නබිතුමා පැවසුවේය. ඔවුන්ට විනිශ්චය දිනයේදී නබිතුමාගේ හව්සුල් කව්සර් තටාකයෙන් ජලය පානය කිරීමට නොලැබෙන බව නබිතුමා පවසා ඇත. ඊට සම්බන්ද හදිසයය මෙසේය. කියාමත් දිනය හෙවත් විනිශ්චය දිනයේදී "හව්සුල් කව්සර්" තටාකයෙන් ජලය පානය කිරීම සඳහා විශාල පිරිසක් පැමිණෙමින් සිටිනු ඇත. නබිතුමා ඔවුන්ව හඳුනා ගන්නා අතර ඔවුන්ද නබිතුමාව හඳුනා ගන්නෝය. එහෙත් දේවදුතයින් විසින් එම පිරිසට "හව්සුල් කව්සර්" තටාකය වෙන පැමිණීමට ඉඩ නොදී නතර කරනු ඇත. එවිට ඔවුන්ව නතර කිරීමට හේතුව කුමක්දැයි නබිතුමා එම දේවදුතයින්ගෙන් විමසනු ඇත. ඊට පිළිතුරු දෙන දේවදුතයින් පවසනු ඇත්තේ ඔවුන් නබිතුමාගේ අභාවයෙන් පසු දහමට අළුතින් කොටස් එකතු කල අය බවයි. එම පිළිතුර ඇසීමට ලැබීමෙන් නබිතුමා ද ඔවුන්ව පලවා හරින ලෙස නියෝග කරනු ඇත.

අද අප අතර බහුලව දැකිය හැකි බිද'අත් ක්‍රියාවන් සමහරක් මෙසේය. නබිතුමාගේ උපත් දින සැමරීම, මළවුන් වෙනුවෙන් දින නියම කර ගනිමින් දාන දීම, කාන්තාවන් විසින් සලාතුන් නාරියා 4444 වතාවක් පාරායනය කිරීම, සලාතය අවසාන කළ පසු සාමුහිකව දුආ ප්‍රාර්ථනා කිරීම, අසාන් පැවසීමට මත්තෙන් සලවාත් සහ ඉස්තික්ෆාර් පැවසීම, ජනාසාවක් ගෙන යාමේදී ශබ්ද නගා සිzක්ර් කිරීම, යම් ආගමික කටයුත්තක් කිරීමට පෙර ෆාතිහා සුරාව පාරායනය කිරීම, නැමදීමට පෙර ශබ්ද නගා නියතය උච්චාරණය කිරීම වේ. මේවා කිසිවක් නබිතුමා හෝ ඔහුගෙන් පසු පැමිණි කලීෆා වරුන් හෝ සිදු කල බවට කිසිම මුලාශ්‍රයක් නැත. තවද මස්හබ් ඉමාම්වරුන් විසින්ද ඒවා අනුමත කොට නැත.

ඇතැම් අය අලංකාර බිදඅත් සහ නොමග ගිය බිදඅත් යැයි වර්ගීකරණය කරති. එහෙත් ඒවා සනාත කිරීම සඳහා පැහැදිලි මුලාශ්‍රයන් නොමැත. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන දේවල් කිසිවකින් ඔවුන්ගේ මතය තහවුරු වන්නේ නැත.

ඇතැම් අය කොරෝනා වසංගතය මුල්කරගෙන බිද්අත් ක්‍රියා ආරම්භ කොට ඇත. එනම් දින නියමකරගෙන උපවාස කිරීම සහ ඇතැම් විශේෂ සික්ර් නියමකරගත් වාර ගණනක් පරායණය කිරීම සිදු කරන්නේය. එහෙත් එවැනි දෙයක් කිරීම සඳහා මුලාශ්‍ර නොමැත. මෙම අවස්ථවේදී කල යුතුව තිබෙන්නේ එම වසංගතයෙන් අපව බේරා දෙන මෙන් තනි තනිවම අල්ලාහ්ගෙන් ප්‍රර්ථනා කිරීමය. ඒ සඳහා තමන් කැමති දිනක උපවාසය කල හැකිය. ඒ සඳහා ෂරියාවෙන් මග පෙන්වා තිබේ. මෙම කරුණු ගැන අපි හොඳින් තේරුම් ගත යුතුව තිබේ. නැතහොත් අප කරන දේවල් වලින් කිසිම ප්‍රතිපලයක් ලැබෙන්නේ නැත. 

By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Research.
Twiter:- thetrue_path














Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)