ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)


ඉස්ලාම් දහම අනුව ජීවිතය පරික්ෂාවකි. මිනිසාව මවා තිබෙන්නේ ඊට මුහුණ දීමට හැකි වන පරිද්දෙනි. තවද මිනිසා වෙනුවෙන් දහමක් පහළ කොට ඇති අතර එහි ස්වර්ගයට යන මාර්ගය සහ නිරයට යන මාර්ගය පෙන්වා දී තිබේ. මිනිසා කළ යුත්තේ ඉන් තමන් කැමති මාර්ගයක් තෝරාගැනීම යි. ඒ සඳහා මිනිසාට පුර්ණ නිදහස ලබා දී තිබේ. මේ නිසා මරණයෙන් පසු යමෙක් ස්වර්ගයට යන්නේද නැති නම් නිරයට යන්නේද ඔහුගේම තේරීම අනුවය.  මෙවැනි අවස්තාවක් ලොව වෙසෙන අන් කිසිම  ජීවියෙකුට ලබා දී නැත. එහෙයින් මිනිසා හැර අන් සියලුම ජීවින් විනිශ්චය දිනයෙන් පසු දුවිලි බවට පත් කරනු ඇත. එම අවස්ථාව ගැන කුරානයේ එක් තැනක මෙසේ සඳහන් කොට ඇත. "නියත වශයෙන්ම, අපි නුඹලාට සමීප වෙමින් පවතින වේදනාව ගැන අවවාද කළෙමු - මිනිසා තම දෑත පෙරටු කළ දෙය දකින දවසෙහි, ප්‍රතික්ෂේප කරන්නා 'අහෝ! මාගේ පසුතැවිල්ල! මා පස් ලෙස තිබෙන්න එපායැ'යි පවසන්නේය" (කුරානය 78:40).

මිනිසාගේ විමුක්තිය රඳා පවතින්නේ තම මැවුම්කරු ගැන තබා ඇති විශ්වාස මතය. එය ඉතා පහසු දෙයක් වුවද බොහෝ අය එම පරීක්ෂාවෙන් පරාජය වන්නේ තම මමත්වය නිසාද සාතන්ගේ බලපෑම නිසාද වේ. ඒ අනුව කිසිම දෙයක් ඉබේ ඇති නොවන බව දැන දැනත් විශ්වය ඇතුළු මිනිසා ඉබේ ඇතිවූ බව ඇතැම් අය විශ්වාස කරන්නේය. තවත් සමහරු කට වචනයෙන් පමණක් තමන්ව මැවූ දෙවි කෙනෙක් සිටින බව විශ්වාස කරන්නේය. ඒ අනුව මිනිසා  දෙවියන් කෙරෙහි තබා ඇති විශ්වාසය නොයෙකුත් පරීක්ෂාවන්ට මුහුණ දෙමින් සනාත කල යුතුව තිබේ. කුරානයේ එක් තැනක මෙසේ පවසා තිබේ. "නියත වශයෙන්ම අපි බියෙන්ද, කුසගින්නෙන්ද, සම්පත් විනාශ වීමෙන්ද, ජිවිත හානි වීමෙන්ද, පලදාවෙහි ඇතිවන අලාභ වලින්ද නුඹලාව පරික්ෂා කරන්නෙමු. (එහෙත්) ඉවසිලිවන්තයින්ට සුබාරංචි පවසනු!" 

ලෞකික ජීවිතයේදී දෙවියන්ට වඩාත් සමීප අය දරුණු පරීක්ෂාවන්ට මුහුණ දෙන්නේය. එහෙත් ඊට ලැබෙන ආනිසංස විශාලය. එය කෙසේද යත් විශ්වවිද්‍යාල විභාගයක් සහ සාමාන්‍ය පෙළ විභාගයක් වැනිය. විශ්වවිද්‍යාල විභාගයක් ආමාරු වුවත් ඉන් ලැබෙන සහතිකයේ වටිනාකම ඉතා ඉහලය. මේ නිසා දෙවියන්ට වඩාත් සමීප නබිවරුන් දරුණු පරීක්ෂාවන්ට මුහුණ දී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන්ට ස්වර්ගයේ උස්සස්ම ස්ථානයන් හිමිවේ. ඉන් පසු වැඩියෙන්ම පරීක්ෂාවන්ට ලක් වන්නේ දෙවියන්ට වඩාත් සමීප අය වේ. දෙවියන් කෙරෙහි දුර්වල විශ්වාසයන් ඇති අයට ඔවුන්ගේ විශ්වාසයේ තරම අනුව පරීක්ෂාවන්ට මුහුණ දීමට සිදු වේ. 

ලෞකික ජීවිතය දෙස බලන කල ඇතැම් අය දහමට පටහැනිව ක්‍රියා කරත් සුකොපබෝගී ජිවිත ගත කරන්නේය. එසේ තිබියදී යහ කම් කරන ඇතැම් අය නොයෙකුත් පරීක්ෂාවන්ට මුහුණ දෙන්නේය. එසේ වූ පමණින් කෙනෙක් දෙවියන්ට සමීපද නැද්ද යන්න මැනිය නොහැක. බොහෝ අවස්ථාවලදී එය වැරදි කරන අයට ලැබුණු දඬුවමකි. ඇයිද යත් ඔවුන් සුකොපබෝගී ජිවිත ගත කරන විට සිතන්නේ ඔවුන් නිවැරදි මාර්ගයේ ගමන් කරන බවයි. ඒ අනුව ඔවුන් මැරෙන තුරු සත්‍ය වෙත ලඟා වීමට උත්සාහ කරන්නේ නැත. මේ හේතුවෙන් ඔවුන්ගේ අවසානය නිරයෙන් කෙළවර වීමට තිබෙන ඉඩ ඉතා විශාලය. එම නිසා වැරදි කරන අය සුකොපබෝගී ජිවිත ගත කිරීම දැක මුලා නොවිය යුතු ය. අප කල යුත්තේ සෑම විටම නිවැරදි මාර්ගය තෝරාගෙන එම මාර්ගයේ ගමන් කිරීම ය.

අල් කුරානයේ එක් තැනක මෙසේ සඳහන් කොට ඇත. "නුඹලා අතරින් ලස්සන ක්‍රියාව ඇත්තේ කවරෙකුට දැයි සෝදිසි කිරීම පිණිස නුඹලාට මරණය සහ ජිවය මවා ඇත". මේ හේතුවෙන් මිනිසා හැකි තරම් පින් දහම් වල යෙදිය යුතුය. 


By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.pura,

Comments

Popular posts from this blog

පින් දහම් කරන සමහර අය නිරයට යන්නේ ඇයි? (Why do some people who do good deeds go to hell?)

හජ් වන්දනය සහ ඉබ්‍රාහිම් නබි තුමා (Hajj and Prophet Ibrahim)

විශ්වයේ පෝෂකයා වන අල්ලාහ් (Allah, the Sustainer of the Universe)