ඉස්ලාමිය පවුල් ජීවිතය (Islamic Family life)



වෙන කිසිම දහමකට වඩා වැඩියෙන් පවුල් ජීවිතය ගැන අල්-කුරානයෙන් සහ  හදිස්වලින් පෙන්වා දී තිබේ. තවද එය නබිතුමාගේ ජිවිතාදර්ශය තුලින්ද පිළිබිඹු වන්නේය. එක් හදිසයකට අනුව මිනිසෙකු මිය යන විට ඉතිරිකොට යාමට ඇති හොඳම දේවල් තුනකි. ඒවා කවරේද යත් ඔහු වෙනුවෙන් ආයාචනා කරන යහපත් දරුවන්, සෑමදාම කුලිය ලැබෙන පරිදි ඉතිරිකර ඇති පරිත්‍යාග, මිනිසුන්ට ප්‍රයෝජනවත් වන දැනුම වේ (ඉබ්නු හිබ්බාන්). මේවා කෙනෙකුගේ මරණයෙන් පසුත් කුසල් ලැබෙන ආයෝජනයන් ය. නබි තුමා පවසා ඇති පරිදි මුස්ලිම්වරයෙකුගේ ස්වර්ගය තිබෙන්නේ මවකගේ දෙපාමුලය. තවද පියාගේ සතුට අල්ලාහ්ගේ සතුටට හේතුවකි. අල් කුරානය මෙසේ සඳහන් කරයි:

“මිනිසා තම දෙමව්පියන්ට කෘතඥ වන මෙන් සහ කරුණාව දක්වන මෙන් අපි ඔහුට නියම කරන්නෙමු. ඔහුගේ මව ඉතාමත් අමාරුවෙන් (ගර්භයෙහි) ඔහුව උසුලාගෙන හිද, ඉතාමත්  අමාරුවෙන්ම ඔහුව ප්‍රසුත කරන්නීය. ඇය ගැබ් ගෙන සිටීමත් (ප්‍රසුත කල දරුවාට) කිරිවලින් පෝෂණය කිරීමත් මාස තිහකි. මොහු තරුණ වියට පත් වී අවුරුදු හතලිහ අත්කර ගත්පසු, “මගේ දෙවියනි! ඔබ මා කෙරෙහිද, මාගේ දෙමව්පියන් කෙරෙහිද, පහල කරන ලද දයාව සදහා මා කෘතඥ වී ඔබගේ තෘප්තිය් අත් කර ගත හැකි හොද ක්‍රියාවන් කරන මෙන් ඔබ මා හට ශක්තිය ලබා දෙනු මැනව!, තවද මාගේ දු දරුවෝ යහපත් දරුවන් කරනු මැනව!” (Q 46:15).

දරුවන්ගෙන් හොඳක් බලාපොරොත්තු විය හැක්කේ කුඩා කාලයේදීම ඊට සුදුසු පසුබිම සකස් කළහොත් පමණි. මේ නිසා ලෞකික අධ්‍යාපනයට මෙන්ම ආගමික අධ්‍යාපනයටත් වටිනාකමක් ලබා දිය යුතුය. 

ඉස්ලාම් දහම අනුව දෙමව්පියන්ට කීකරු වීම අනිවාර්‍ය වේ. එතෙත් දෙමව්පියන්ට දැනුම නොමැති කම නිසා අල්ලාහ්ට සමානයන් තැබීම සඳහා නියෝග කලේ නම් ඉන් වැලකි සිටීම අනිවාර්‍ය වේ. ඒ බව පහත දැක්වෙන කුර්ආන් වැකියේ සඳහන් කොට ඇත. 

“දෙමාපියන්ට හොඳ කරනමෙන් සහ කීකරුවන මෙන් අපි මිනිසාට නියමකර ඇත්තෙමු. එහෙත් ඔවුන් ඔබට දැනුම නොමැති දෙයක් මා සමග (සමාන කිරීමට) උත්සාහ කරන්නේනම් ඔවුන්ට අවනත නොවනු” (Q 29:8).

දෙමව්පියන් වෙනුවෙන් කල යුතු යුතුකම් ඉතා මැනවින් කුරානයෙන් පෙන්වා දී තිබේ. ඒවා ගැන අවබෝදයක් නොමැති ඇතැම් සමාජවල විශාල වශයෙන් මහලු නිවාස දැකිය හැකිය. එක් අවස්ථාවලදී තම වැදු මව බලු කුඩුවේ ජිවත් වීමට සැලැස්වූ පුවතක් ද වාර්තා වී තිබුනේය. එවැනි ඛේදනීය තත්වයන්ට හේතුව දහම ගැන අවබෝදයක් නොමැති කම වේ. එහෙත් දෙමාපියන්ට සුළු වචනයකින් වත් බැනවැදීම විශාල වරදක් බව කුරානය පෙන්වා දෙන්නේය. තවද ඔවුන් වෙනුවෙන් දුආ ප්‍රර්ථනා කරන මෙන් කුරානය උපදෙස් ලබා දී තිබේ. 

“ඔබගේ දෙවියන් ඔහුට පමණක් නමදින ලෙස ඔබට නියම කර ඇත. තවද ඔබ ඔබගේ  දෙමව්පියන්ට කෘතඥවිය යුතුය. ඔවුන් දෙදෙනාම හෝ එක්කෙනෙකු ඔබගේ ජිවිත කාලය තුල දී මහලු වියට පත් වූයේනම් ඔවුන්ට අගව්රවවන ආකාරයේ කිසිම වචනයක් නොකියනු. ඔවුන්වෙත බැන නොවදිනු, ඔවුන්ට ගෞරවයෙන් ආමන්ත්‍රණ කරනු. ඔවුන්හට යටහත් පහත්ව නිහතමානීව කරුණාව දක්වනු. තවද පවසනු: මාගේ දෙවියනි, මා කුඩාකල සිට හදාවඩාගත් ඔවූන් වෙනුවෙන් ඔබගේ කරුණාව දක්වනු මැනව, ” (Q 17:23-24).

දෙමව්පියන් සම්බන්දයෙන් නබි තුමා මෙසේ පවසා ඇත. 

“අබුහුරෛරා රලි තුමා පවසන වගනම්: “ඔහු දුවිලි මෙන් අවමානයට පත්වේවා! ඔහු දුවිලි මෙන් අවමානයට පත්වේවා!” එවිට සහාබාවරු ඔවුන් කව්රුන්දැයි නබිතුමාගෙන් විමසා ඇත. ඊට පිළිතුරු දුන් නබිතුමා මෙසේ කිවේය. ඔවුන් තම දෙමව්පියන් දෙදෙනාම හෝ ඉන් එක්කෙනෙකු මහලු වියට පත් වූ පසු ඔවුන් හට උපකාර කිරීමෙන් ස්වර්ගය අත්කර නොගන්නා අය බවයි”(මුස්ලිම් 6189).

මුස්ලිම්වරයෙකුගේ පරමාර්ථය විය යුත්තේ මරණයෙන් පසු ජීවිතය සාර්ථක කර ගැනීම වේ. එය ඉටු කර ගත හැකි වන්නේ කුඩා කාලයේදීම දහම ගැන මනා දැනුමකින් කටයුතු කළහොත් පමණි. 


By Fasy Ajward. B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path







Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)