ජන්දය දීමේදී මේවා ගැන සිතා බලනවාද? (Do you think about voting?)


ජන්දය දීමේදී ඉතාමත්ම කල්පනාකාරී විය යුත්තේ එහි අවසාන ප්‍රතිපලය ඉතාමත්ම තීරණාත්මක වන නිසාය. ජන්දය දීමේදී කරනු ලබන වරද නිසා රට ආපස්සට යා හැකිය. එහෙත් අපට අවශ්‍ය වන්නේ රට දියුණු කිරීම සඳහා පාලකයින් පත්කිරීම මිස පාලකයින් පොහොසත් කිරීම නොවේ.

කෙනෙක් පාලකයෙකු බවට පත්වීම සහ කෙනෙකුව පාලකයා වශයෙන් පත්කර ගැනීම යන කරුණු දෙකම ඉතාමත්ම බැරෑරුම් කාර්යයන් වන්නේය. එබැවින් දුෂ්ට පාලකයෙකු තෝරා පත්කර ගන්නේ නම් එසේ බලයට පත් වූ තැනැත්තා පමණක් නොව ඔහුට බලය ලබා දුන් අයත් ඊට වග කිව යුතුය.

ජන්දදායකයා කිසිම පක්ෂයක් ඔහුගේ ආගම ලෙස සැලකිය යුතු නැත. ඒ අනුව තමන් එකම පක්ෂයකට බැඳී සිටිය යුතු නොවේ. ජන්දය දීමේදී වඩාත් සැලකීමත් විය යුත්තේ ජන්දය ඉල්ලන අයගේ ස්වභාවය ගැනයි. ඔවුන් පොරොන්දු ඉටුකරන අය විය යුතුය. එබැවින් කිසිම ජන්ද දායකයෙකු නැවත නැවත රැවටීමට ලක් නොවී තම කාර්ය භාරය ඉටු කිරීමට වග බලා ගත යුතුය. මේ නිසා තමන් දෙන වටිනා ජන්දය සුදුස්සාට පමණක් ලබා දීමට අධිෂ්ඨාන කර ගත යුතුය. එසේ කලේ නම් තම අපේක්ෂකයා පරාජය උනත් සැනසීමට පත් විය හැකි වනු ඇත.

වරක් බලය ලබා දී තිබියදී සොරකම් කොට ඇත්නම් හෝ ඔහුගේ සේවය නිසියාකාරව ඉටු කර නොතිබුනේ නම් නැවත වරක් ඔහුට ම බලය ලබා දීම බලවත් වරදකි. අද බොහෝ විට සිදු වන්නේ මෙවැනි වරදවල් ය.

ඕනෑම පාලකයෙකු තමන්ගේ වගකීම් නිසියාකාරව ඉටු කිරීමට බැඳී සිටින්නෝය. ඔවුන් සෑම කෙනෙකුටම සාධාරණය ඉටු කළ යුතුය. පාලකයින් රටේ පොදු මුදල් අපහරණය කළහොත් ඒ සඳහා දෙවියන් ඉදිරියේ වගකිව යුතු බව මතක තබා ගත යුතුය. එබැවින් ජනතා මුදල් වලින් කොමිස් ගැසීම හෝ ඒවා අපයෝජනය කිරීම ගැන දෙවියන්ට වගකිව යුතු බව තරයේ මතක තබා ගත යුතුය.

යමෙක් තමන්ට කළ නොහැකි දෙයක් සඳහා බලය ලබාගැනීමෙන් සිදු වන්නේ කෙටි කාලයක් සැප විඳ විශාල කාලයක් නිරයේ දුක් විඳීමට ය. එබැවින් පාලන සඳහා ජනතාව විසින් ඊට සුදුසු අයම පමණක් තෝරා පත්කර ගත යුතුය. අද සිටින බොහෝ පාලකයින්ට අධ්‍යාපන සුදුසුකම් නොමැත. දහම ගැන දැනුමක්ද නොමැත. එහෙත් ඔවුන් දහමේ නාමයෙන් බලය ලබා ගැනීමට උත්සාහ කරති. එවැනි අයට ජන්දය දීම බලවත් වරදකි. ඔවුන් නිසා සමාජය බේද වන්නේය. 

ඇතැම් අය ජන්දයට පෙර ජිවත් වූ අන්දම අමතක කරමින් බලයට පත් වු පසු සුකොපබෝගී වාහන ගැන සහ ඔවුන්ගේ අනෙක් සියළු පහසුකම් ගැන සිතා බලති. මෙවැනි දේවල් රටේ නිතිය කුමක් වුවත් කිසිම දහමකින් අනුමත කරන්නේ නැත. එවැනි අයට හෝ ඒවා අනුමත කරන පක්ෂයකට හෝ ජන්දය දීම රටට කරන ද්‍රෝහී කමකි.

ජනතා සේවකයෙක් කළ යුත්තේ ඔවුන්ගේ කාර්යාල අලුත්වැඩියාව සහ වාහන සඳහා කෝටි ගණන් වියදම් කිරීම නොව ජනතාවගේ දුවා දරුවන් යන පාසල දියුණු කිරීම වෛද්‍ය පහසුකම් ලබා දීම රටේ කර්මාන්ත ඇතිකොට රැකියා උත්පාදනය කිරීම වැනි දේවල්ය. එහෙත් ඒවා කළ හැක්කේ උගත් පළපුරුදු අය පත්කර ගත්තේ නම් පමණක් බව සිතා බැලිය යුතුය. 

අද සිදු වන්නේ කුමක්ද? සෑම දෙයකටම පාලකයින්ගේ දෙපාමුල වැඳ වැටීමට සිදුවී තිබේ. දුක් මහන්සියෙන් උපාදියක් කලත් දේශපාලකයාගේ උදව් නොමැතිව රැකියාවක් ලබා ගත නොහැකි තත්වයක් උත්ගත වී ඇත. එසේම ළමයෙක් පාසලට දැමීම සඳහා ද දේශපාලකයින් මැදිහත් වන අවස්ථා ඇත. මේවා ජනතාව වහල් බාවයට පත් කිරීමක් නොවේද? මේවා වෙනස් වන්නේ කවදාද? සෑම ගමකම හොඳ පාසලක් ඉදි වන්නේ කවදාද? රටේ සම්පත්වලින් රැකියා ඇති කරන්නේ කවදාද? මේවා ගැන සිතා බලා සුදුස්සන්ට බලය පැවරීමට ක්‍රියා කළ යුතුය. එවිට රජයේ රැකියාවන්ට සුදුස්සන් පත්වනු ඇත. රට දියුණු වනු ඇත.

By Fasy Ajward.B.Sc(Phy.Sp)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path


ඉස්ලාම් දහම ගැන විස්තරාත්මකව දැනගැනීමට අවශ්‍ය අය මා විසින් ලියා පලකොට ඇති "පිවිතුරු ඉස්ලාම් දහම" (පිටු 400කි මිල රු.675/) සහ "නිවැරදි දහමක නිර්ණායකයන්"(පිටු 380යි මිල රු. 575/)  යන පොත් මිලදී ගෙන කියවන්න. 

පාසල් සිසුන්ට මෙන්ම වැඩිහිටියන්ට ප්‍රයෝජනවත් වේ. 

ලබාගත හැකි ස්ථානය: ඉස්ලාමික් බුක් හවුස්, 77 දෙමටගොඩ පාර, මරදාන. ටෙලිපොන්. 011 2684851, 011 2669197.

Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)