ඉස්ලාම් දහම අනුව ජිවිතයේ අරමුණ කුමක්ද? (What is the purpose of life according to Islam?)




කුරානය මගින් මිනිස් ජිවිතයේ අරමුණ පැහැදිලිව සඳහන් කොට ඇත. එහි සඳහන් වන්නේ මෙසේය. “තවද මම ජින්වරුන් සහ මිනිසුන්ව මැව්වේ මා හට නැමදීමට මිස වෙන කිසිවක් සඳහා නොවේ” (කුරානය: 51:56). කෙසේ වෙතත් බොහෝ අය ජිවත් වන්නේ එම අරමුණ වෙනුවට ලෞකික ජීවිතය සඳහා පමණි. ඒ අනුව ඔවුන් මරණයෙන් පසු එළඹෙන ජීවිතය ගැන සිතා බලන්නේ නැත. එවැනි අය ගැන කුරානය මෙසේ පවසා ඇත. "කවරෙක් එය ඉවත දමයිද, නියත වශයෙන්ම ඔහු එලොවෙහි පාපය උසුලන්නේය. ඔවුහු එහි සදාකල් සිටින්නෝය. විනිශ්චය දිනයේදී ඔවුන් හට එය නපුරු බරක් වන්නේය" (කුරානය 20:101,102).

බොහෝ අයට ජිවිතයේ සැබෑ අරමුණ ගැන පැවසුවත් ඔවුන් ක්‍රියා කරන්නේ අන්දයින් සහ බිහිරන් හැටියට ය. එම නිසා ඔවුන්ට මෙලොවදී දුෂ්කර ජිවිතයක් ලැබෙන බවත්, මතු ජීවිතයේදී ඔවුන්ව නැගිටවනු ලබන්නේ අන්දයින් හැටියට බවත් කුරානය පවසයි. "කවරෙකු මගේ උපදේශය ඉවත දමන්නේද නියත වශයෙන්ම ඔහුට දුෂ්කර ජිවිතයක් ඇත. තවද විනිශ්චය දිනයේදී ඔහුව අන්දයෙකු ලෙස නැගිටවන්නෙමු" (කුරානය 20:124).

කුරානයේ දැක්වෙන ආකාරයට අන්දයින් ලෙස නැගිටින ඔවුන් මෙසේ පවසන්නේය. "මාගේ සමිඳුනි! ඇස්පෙනීම ඇත්තෙකුව සිටි මාව අන්දයෙකු ලෙසින් නැගිට්ටෙව්වේ මන්දැයි අසන්නේය" එවිට ඔනුනට දෙනු ලබන පිළිතුර වන්නේ, "එසේමය. අපගේ වැකි නුඹ හමුවට පැමිණියේය. නුඹ ඒවා අමතක කළෙහිය, ඒ අකාරයටම අද දින නුඹව ද අමතක කරනු ලබන්නේය" (කුරානය 20:125,126). මෙලොව ජිවිතයේදී සත්‍යයට පිටුපාමින් ජිවත් වීමේ විපාක ඒ ආකාරයට අත්විඳීමට සිදු වන බව කුරානය පෙන්වා දෙන්නේය. 

කුරානය හරි හැටි අධ්‍යයනය නොකළ බොහෝ අය එය දකින්නේ පැරණි කතා ගොන්නක් හැටියටය. ඔවුන් කුරානය දෙස එසේ බැලුවත්, හත්වන සිය වසේදී පහළ කරන ලද කුරානය තුල නවීන විද්‍යාව මගින් විසිවන සිය වසේදී සොයාගන්නා ලද බොහෝ දේවල් ඉතා නිවැරදිව සඳහන් කොට තිබේ. ඒ හැරුණු විට කුරානයේ සත්ත්‍යතාව උරගා බැලීම සඳහා අවශ්‍ය කරන සියලුම දේවල් ඒ තුලින්ම ලබා දී තිබේ. එහෙත් කිසිවෙකු විසින් එම අභියෝගයන් මෙතෙක් ජය ගෙන නැත. 

දෙවියන්ගේ මැවීම් අතරින් මිනිසාට සුවිශේෂී තැනක් හිමිවන බව බුද්ධිමත් ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය. ඒ අනුව නොයෙකුත් භාෂාවන් කතා කරන්නේ මිනිසා පමණි. තවද, කිසිම ජීවියෙකුට නොමැති ඉහල බුද්ධියක් පිහිටන්නේ මිනිසාට පමණි. එසේම නීතිරීති වලට යටත්ව ජිවත් වන එකම ජීවියා මිනිසාය. මේ සෑම දෙයකින්ම පෙන්නුම් කරන්නේ මිනිසා සෙසු ජිවින්ට වඩා වෙනස් නිර්මාණයක් බවයි. 

මිනිසාගේ ආරම්භයේ සිටම ඔහුට ආගමක් ලැබී ඇත. එමගින් මිනිස් ජිවිතයේ අරමුණ පෙන්වා දෙන්නේය. එසේම මරණයෙන් පසු මුහුණ පෑමට සිදුවන දේවල් සම්බන්දයෙන් පුර්ව දැනුම් දීමක් එමගින් සිදු කොට තිබේ. මේ සෑම දෙයක්ම සිදු කොට තිබෙන්නේ මිනිසා දෙවියන්ගේ විශේෂ මැවීමක් නිසාය. කෙසේ වෙතත් මිනිස් ජීවිතය පරීක්ෂාවක් වන බැවින් කිසිම කෙනෙකුට ඉස්ලාම් දහම වැළඳ ගැනීම සඳහා බලකිරීමක් කෙරෙන්නේ නැත. එහෙත් දෙවියන් පහළ කරන ලද සෑම දහම් පණිවිඩයකින් ම මිනිස් ජිවිතයේ අරමුණ පෙන්වා දී තිබේ. 

මිනිසා හට නිවැරදි දහමක් ලැබී තිබියදීත්, දෙවියන් වෙනුවට තම ආශාවන් පසු පස ගමන් කරන්නේ නම් මතු ජීවිතය ඉතා දුක්ඛිත එකක් වන්නේය. ඇයිද යත් මිනිසා මෙලොවදී ක්‍රියා කල අකාරය ගැන මරණයෙන් පසු ප්‍රශ්න කිරීමට නියමිතය. එය සිදු වන්නේ ලෝක අවසානයෙන් පසුව ඇති විනිශ්චය දිනයේදීය. විනිශ්චය දිනය යනු මෙලොව ඉපදී මිය ගිය සෑම ආත්මයක්ම නැවත නැගිටුවා ප්‍රශ්න කරන දිනය වේ. ඒ සඳහා මිය ගිය සෑම කෙනෙක්ම එක් ස්ථානයකට රැස්කිරීමට නියමිතය. එම දිනයේදී කෙනෙකුට කෙනෙක් උදව් කල නොහැකිය. ඒ අනුව තම තමන් කල දේවල් සඳහා තම තමන්ම වග කිව යුතුය. අල් කුරානයෙන් දෙවියන් කව්රුන්දැයි පැහැදිලිකොට තිබේ. එසේ තිබියදී මිනිසා තමන්ගේ උවමනාව පරිදි යම් දෙයකට දේවත්වයෙන් සලකන්නේ නම් මිනිසා උදව් පැතිය යුත්තේද එවායින්ම වේ.

ලෞකික ජීවිතයේදී සත්‍යය දෙවියන්ව විශ්වාස නොකළ අයටත් සත්‍යය දෙවියන් වෙනුවට වෙනත් දේවල් සඳහා නැමදුම් කල අයටත් කිසිම අකාරයකින් ස්වර්ගය ලැබෙන්නේ නැත. එසේම දෙවියන්ව විශ්වාස කලත් කුසල්වලට වඩා වැඩියෙන් අකුසල් කර තිබුනේ නම් ඔවුන්ද නිරයට යන්නේය. එහෙත් එවැනි අය තමන් කල පව් වලට දඬුවම් විඳීමෙන් පසු යම් දවසක ස්වර්ගයට යාමට නියමිතය. 


By Fasy Ajward, B.Sc(Physics Special)Hons Japura. 
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path



Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

ඉස්ලාම් දහම අනුව අකුසල් ක්‍රියාවන්හි ප්‍රතිවිපාක (Consequences of evil deeds in Islam)

කුරානය දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් වන්නේ ඇයි? (Why is the Quran a message from God?)