ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)


ඉස්ලාමීය ඉගැන්වීම අනුව ඉවසීමේ ගුණයට විශාල වටිනාකමක් තිබේ. එය කොපමණදැයි කිවහොත් ඉවසිලිවන්තයින් සමග අල්ලාහ් ද සිටින්නේය. මේ නිසා සෑම තරාතිරමකම අයට එය වැදගත් වේ. තනිව ක්‍රියා කිරීමේදී ද කණ්ඩායම් වශයෙන් ක්‍රියා කිරීමේදී ද පවුල් පාලනයේදී ද රාජ්‍ය පාලනයේදී ද ඉවසීම තිබිය යුතුය. මිනීමැරුම්, දික්කසාද වීම්, ඥාති සම්බන්දතා පලුදු වීම් වැනි දේවල් වලට ප්‍රධාන හේතුවක් වන්නේ නොඉවසිලි වන්තව ක්‍රියා කිරීමය. කුරානයේ එක් තැනක මෙලෙස සඳහන් වේ. "තවද, නුඹලා අල්ලාහ්ටද ඔහුගේ දුතයාටද අවනත වන්න. නුඹලා අතර මතබේද ඇති නොකරන්න. එසේ වුයේ නම්, අධෛරියමත් වන අතර නුඹලාගේ ශක්තියද හීන වනු ඇත. ඉවසිලිවන්තව සිටින්න, නියතව ඉවසිලිවන්තයින් සමග අල්ලාහ් ද සිටින්නේය" (කුරානය 8:46).

නායකත්වය සඳහා ද ඉවසීම තිබිය යුතු බව කුරානය පෙන්වා දෙන්නේය. "ඔවුන් ඉවසිලිවන්තයින් ලෙසද අපගේ වැකි ස්ථිරව විශ්වාස කරන්නන් ලෙසද සිටි කළ, ඔවුන් අතරින් යහමග පෙන්වන නායකයින්ව අපගේ අණ පරිදි පත් කළෙමු" (කුරානය 32:24). 

ඉවසීම තිබෙන අයට සාර්ථක ලෙස ප්‍රශ්න වලට මුහුණ දීමට හැකි වේ. කුරානයේ එක් තැනක මෙසේ සඳහන් වේ. "නුඹලා ඉවසිලිවන්තව (අල්ලාහ්ට) බියවී ක්‍රියා කලේ නම් ඔවුන්ගේ කුමන්ත්‍රණ නිසා ඔබලාට කිසිඳු පිඩාවක් නොකරන්නේය" (කුරානය 3:12). එහෙත් බොහෝ අය ඉවසීම වෙනුවට යම් කෙනෙකුගෙන් වරදක් සිදු වූ විට ඒ වෙනුවෙන් පලිගන්නේය. මේ හේතුවෙන් තිබෙන ප්‍රශ්න තවත් උග්‍ර අතට පත් වීමට හේතුවක් වේ.

මුස්ලිම්වරයෙක් මුහුණ දෙන ප්‍රශ්නයකදී කල හැකි හොඳම ක්‍රියාව වනුයේ ඉවසිමෙන්ද සලාතය ඉටු කිරීමෙන්ද අල්ලාහ්ගෙන් උදව් පැතීමය. කුරානයේ මෙසේ සඳහන් වේ. "ඉවසිමෙන්ද, සලාතය ඉටු කිරීමෙන්ද, (අල්ලාහ්ගෙන්) උදවු පතන්න. නියත වශයෙන්ම එය සත්‍ය විශ්වාසයින්ට මිස අනෙක් අයට බරක් වේ" (කුරානය 2:45). 

ඉවසිලිවන්තයින් සමග අල්ලාහ් සිටින විට ඊට වඩා දෙයක් අවශ්‍ය වේද? මේ සඳහා කුරානය තුල බොහෝ උදාහරණ තිබේ. යුසුෆ් නබිතුමාගේ සහෝදරයින් විසින් ඔහුව පාළු ලිඳක දමා විත් ඔහුගේ පියා වන යඃකුබ් නබිතුමා හට බොරු පුවතක් සැල කල අවස්තාවේදී එතුමා එය ඉවසීමෙන් භාර ගත්තේය. කෙසේ වෙතත් වසර ගණනාවක් මෙම දුක දරාගෙන සිටීමේ ප්‍රතිපලයක් ලෙස යඃකුබ් නබි තුමාගේ දෑස් නොපෙනී ගියේය. කෙසේ වෙතත් එතුමාගේ එම ක්‍රියාව නිසා නැවතත් පව්ලේ සියලු සාමාජිකයින් සතුටින් එකතු විය. එපමණක් නොව අල්ලාහ්ගේ ආශීර්වාදයෙන් යඃකුබ් නබි තුමාගේ දෑස්වල පෙනුමද නැවතත් යතා තත්වයට පත් විය. තවද යුසුෆ් නබි තුමා ඊජිප්තුවේ රාජ්‍ය ධාන්‍යාගාරයට අධිපති වශයෙන් පත් විය. 

ඉස්ලාම් දහම ඉවසීම සලකන්නේ කුසල් ක්‍රියාවක් ලෙසය. එයට ලැබෙන කුලියද අසීමිතය. ජිවිතයේ නොයෙකුත් අවස්ථා වලදී ඉවසීම අවශ්‍යය. ඒ අනුව අල්ලාහ් නියමකොට ඇති අනිවාර්ය කරුණු ඉටු කිරීම සඳහා ඉවසීම අවශ්‍යය. ඊට වඩා ඉවසීම අවශ්‍ය වන්නේ අල්ලාහ් තහනම් කල දේවල් වලින් වැලකී සිටීම සඳහාය. මෙය ස්වර්ගය අත්කර ගැනීමට ඉවහල් වේ. ඉවසීම නොමැතිව ක්‍රියා කරන සෑම විටම තමන් ඉටු කල කුසල් ක්‍රියාවන් නැසී යන්නේය.

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


Comments

Popular posts from this blog

ඉස්ලාම්, ආදම් තුමා පටන් මුහම්මද්(ﷺ) තුමා දක්වා (Islam, from Adam to Muhammad (ﷺ))

නබිතුමා ඔහුගේ උපන් දිනය සැමරුවාද? (Did the Prophet celebrate his birthday?)

පින් දහම් කරන සමහර අය නිරයට යන්නේ ඇයි? (Why do some people who do good deeds go to hell?)