අල්ලස සහ දූෂණයට එරෙහි ඉස්ලාමීය ඉගැන්වීම් (Islamic teachings against bribery and corruption)


අල්ලස යනු යම් කෙනෙකුගෙන් අයුතු වාසියක් හෝ  ප්‍රයෝජනයක් ලබා ගැනීම වෙනුවෙන් නිත්‍යානුකුල නොවන අන්දමින් යම් කිසි දෙයක් ලබා ගැනීම හෝ ලබා දීම වේ. එහෙත් දුෂණය යනු නීත්‍යානුකූල නොවන මාර්ගවලින් වාසි ලබා ගැනීම සඳහා දරන ඕනෑම උත්සාහයකි. මේ දෙ ආකාරයටම මුදල් ඉපැයිම බලවත් වරදවල් ලෙස ඉස්ලාමය පෙන්වා දෙන්නේය. එසේ උපයාගත් සියලුම දේවල් නිරයේ ගින්නට බව ඉස්ලාමය පවසයි. 

අල්ලස සහ දුෂණය සම්බන්දයෙන් කුරානය මෙසේ පවසයි. “නුඹලාගේ වස්තුව නුඹලා අතර අසාධාරණ ලෙස අනුභව නොකරන්න. තවද පාලකයින් හමුවට අල්ලස් නොදෙන්න. එසේ කිරීමෙන් ඔබ නොදැනුවත්ව අනුන්ගේ වස්තුවෙන් කොටසක් අයුක්ති සහගත ලෙස කා දමනු ඇත” (කුරානය 2:188). කුරානයේ තවත් තැනක මෙසේ සඳහන් වේ. "ඔවුන්ගෙන් වැඩි දෙනා පව් කිරීමෙහිද, සීමාව ඉක්මවිමෙහිද, තහනම් කරනු ලැබූ දෑ අනුභව කිරීමටද වේගයෙන් යෑම නුඹ දකින්නේහිය. ඔවුන් කරමින් සිටින දැය ඉතා නපුරුය" (කුරානය 5:62).

ඉහත දැක්වෙන කුර්ආන් වැකි වලට අනුව අල්ලස් ගැනීම මෙන්ම අල්ලස් දීමත් වරදවල් වේ. අල්ලස් ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ තමන්ට අයිති නැති දෙයක් අයුතු ලෙස ලබා ගැනීම යි. එහෙත් ඇතැම් අය අල්ලස් ලබා ගන්නේ කොමිස් යන ලේබලය හරහාය. මොන ලේබලය යටතේ ලබාගත්තත් ඒවා නිරයට අයත් වන්නේය.

ඇතැම් පාලකයින් අල්ලස් වලින් පරම්පරා ගණනාවකට සෑහෙන වස්තුව උපපා ගෙන තිබේ. ඒවා ඔවුන්ගේ ජිවිත කාලයේදී සම්පුර්ණයෙන්ම ප්‍රයෝජනයට ගත නොහැකි තරම් ය. එම නිසා ඔවුන්ගේ මරණයෙන් පසු වෙනත් අය ඒවා බුක්ති විඳිනු ඇත. එහෙත් එම වස්තුව වැරදි ආකාරයට ඉපයීම වෙනුවෙන් දඬුවම් විඳීය යුත්තේ ඒවා උපයා ගත් අය විසිනි. 

ඉස්ලාම් දහම අනුව අල්ලස් ගත් තැනැත්තාටත් අල්ලස් දුන් තැනැත්තාටත් ශාප වේ. නබිතුමාගේ හදිසයකට අනුව විනිශ්චය දිනයේදී ආදම්ගේ දරුවන් කරුණු පහකට පිළිතුරු දෙන තුරු තමන් සිටි තැනින් සෙලවීමටවත් ලැබෙන්නේ නැත. මෙම ප්‍රශ්න වනුයේ ජීවිතය ගත කළේ කෙසේද, යෞවනය ගත කළේ කෙසේද, වස්තුව රැස් කළේ කෙසේද එම වස්තුව වියදම් කළේ කෙසේද ඔහුට දෙනු ලැබූ දැනුම අනුව ඔහු ක්‍රියා කළේ කෙසේද යන්න වේ (තිර්මිසි). මෙම හදිසය අනුව අල්ලස් ගත් තැනැත්තා විනිශ්චය දිනයේදී ඊට පිළිතුරු දෙන්නේ කෙසේදැයි සිතා බැලිය යුතු ය. 

එක් අවස්ථාවකදී නබිතුමා සකාත් එකතු කිරීම සඳහා ඔහුගේ අනුගාමිකයින්ගෙන් කිහිප දෙනෙකුව පිටත්කොට හැරියේය. ඔවුන්ට පැවරුණු රාජකාරිය වුයේ නිවැරදි තක්සේරුවකින් පසු සකාත් එකතු කොට ඒවා එම ගමේදීම බෙදා හැරීමට යි. කෙසේ වෙතත් එම ගමනේ ගිය එක් බදු රැස් කරන්නෙක් නබිතුමා වෙත පැමිණ ඔහු ගෙනෙන ලද දේවල් නබිතුමාට පෙන්වා, “මේවා සකාත් වලට අයත් ඒවා බවත් මේවා මට ලැබුණු තෑගී” බවත් පවසා ඇත. ඊට සවන් දුන් නබිතුමාගේ මුහුණ කෝපයෙන් රතු පාට වූ අතර “ඔබට අයිති නොවන දෙයක් අත්පත් කර ගැනීමට ඇති අයිතිය කුමක්ද? ඔබ නිවසේ සිටින විටත් මෙලෙස ඔබට ලැබෙනවාදැ”යි ප්‍රශ්න කොට ඇත. අල්ලස පිලිබඳ තවත් හදිසයක් අබු උමාමා රලි තුමා මෙසේ සඳහන් කරයි: “කව්රුන් හෝ ඔහුගේ සහෝදරයෙකු වෙනුවෙන් අතරමැදියෙකු ලෙස ක්‍රියා කිරීම නිසා පරිත්‍යාගයක් ලබා ගන්නේ නම් එය ඉතා දරුණු අල්ලසක් වේ” (මුලාශ්‍රය අබු දාවුද්).

බොහෝ අය රාජකාරීන් කරන විට තම සේවා දායකයින්ගෙන් අල්ලස් ලබා ගන්නේය. එහෙත් මෙහි පෙන්වා දී ඇති ආකාරයට ඒවා නිරයේ ගින්නට අයත් වේ. මේ නිසා මරණයෙන් පසු ජිවිතයක් ඇති බව විශ්වාස කරන කිසිම කෙනෙක් එවැනි වැරදිවල නිරත නොවිය යුතුය.  

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)