උඩඟුකම (Pride)


උඩඟුකම අල්ලාහ් අතිශයෙන්ම පිළිකුල් කරන ක්‍රියාවක් වේ. එබැවින් අංශු මාත්‍රයක හෝ උඩඟු කම ඇති කෙනෙක් ස්වර්ගයට යන්නේ නැත. මේ බව සහිහ් මුස්ලිම් ග්‍රන්ථයේ පලවන හදිසයකින් කියැවේ. ඇත්ත වශයෙන්ම සාතන්ව ස්වර්ගයෙන් නෙරපීමට බලපෑවේද ඔහුගේ උඩඟුකම වේ. එසේ තිබියදී ඇතැම් උදවිය තම පරම්පරාව ගැනත් වංශය ගැනත් ධනය ගැනත් බලය ගැනත් උඩඟු වීම කොතරම් මුග්ධ ක්‍රියාවක් විය යුතුද? ඇත්තෙන්ම එය උඩඟු කම පෙන්වන අයගේ විනාශයට හේතුවක් බව ඔවුන් තේරුම් ගත යුතුය. 

ඇතැම් අය සත්‍යය දැක දැකත් ඊට පිටු පාන්නේ ඔවුන්ගේ උඩඟු කම නිසාය. මෙය සාතන්ගේ ලක්ෂණයක් වේ. දෙවියන්ගේ නියෝජිතවරුන් වන නබිවරුන් ගෙනෙන ලද සත්‍යය දහම බොහෝ අය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේද උඩඟු කම නිසාය. මේ සඳහා එක් උදාහරණයක් නම් ඊජිප්තුවේ රජකම් කල පාරාවෝය. දෙවියන් ඔහු වෙත නබිවරුන් දෙදෙනෙකුම යවා සත්‍යය වෙත ඇරයුම් කළේය. තවද එම නබිවරුන් දෙවියන්ගේ නියෝජිතයින් බව සනාථ කිරීම සඳහා බොහෝ ප්‍රාතිහාරයන් පැවෝය. ඒ අනුව මුසා නබි තුමා ඔහුගේ සැරමිටිය දෙවියන්ගේ උදව්වෙන් නාගයෙකු බවට පත් කළේය. තවද ඔහුගේ අතින් ආලෝකය පිට කළේය. මේවා සියල්ල පාරාවෝ රජු සිය ඇසින් දුටු පසුත් ඒවා ප්‍රතික්ෂේප කලේ ඔහුගේ උඩඟු කම නිසාය. අදටත් බොහෝ අය සත්‍යය දැක දැක ඒවා පිළිගැනීමට සුදානම් නැත්තේ උඩඟු කම නිසාය. 

මිනිසාගේ ආරම්භය දෙස බලන කල ඔහුට උඩඟු වීමට කිසිම හේතුවක් නොමැත. ඇත්ත වශයෙන්ම මිනිසාගේ ආරම්භය සිදු වන්නේ මිනිසුන් පිළිකුල් කරන ශුක්‍රානුවකිනි. මෙම ශුක්‍රානුවෙන් අලංකාර රුපයෙන් ලබා දුන්නේ දෙවියන් විසින් ය. මෙහි දෙවියන් යන්නෙන් අදහස් කරන්නේ ඒ සඳහා සුදුසුකම් ඇති සර්ව බලධාරි කෙනෙකුටය. ඔහු මිනිසා මෙළොවට පැමිණෙන විටම ඔහුගේ අහාරය සුදානම් කර දුන්නේ ය. එසේ තිබියදීත් බොහෝ අය ඔහුගේ දේවත්වය පිළිගැනීමට සුදානම් නැත. මීට ප්‍රධාන හේතුව උඩඟු කම වේ. 

තවත් සමහරු දෙවියන්ව විශ්වාස කලත් උඩඟු කමේ අඩුවක් නැත. තවත් සමහරු මොනතරම් බලය තිබුනත් නිහතමානීව හැසිරෙන්නේය. ඔවුන් ගැන කුරානයේ මෙසේ පවසා තිබේ. "යම් කෙනෙක් පොළොවෙහි උඩඟුකමද, කලහයද නොකරයිද ඔවුනට අපි එලෝ නිවස (ස්වර්ගය) උරුම කර දෙන්නෙමු" (කුරානය 28:83). තවද කුරානයේ මෙසේද සඳහන් වේ. "අර්රහ්මාන්ගේ ගැත්තන් පොළොවෙහි නිහතමානිව ඇවිදින්නෝය. දැනුම නොමැත්තන් ඔවුන් සමග තර්ක කලේ නම්, 'සලාම්' යැයි (ඔවුන්) පවසන්නෝය" (කුරානය 25:63). මේ නිසා මතු ජීවිතය ජය ගැනීමට අදහස් කරන සියලුම දෙනා මමත්වයෙන් මිදී ජිවත් වීමට වග බලාගත යුතු වේ. 

සහිහ් අල් බුහාරි ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට ඉස්ලාමිය විශ්වාසයේ ශාකාවන් හැටකට වඩා තිබේ. ඉන් කිහිපයක් නම් 'හයා' ලෙස හැඳින්වෙන ආත්ම ගෞරවය, විනීත කම, නිහතමානි කම වේ. (බුහාරි 1:8). මේ නිසා සෑම විටම නිහතමානි වීමට උත්සාහ කල යුතුය. නිහතමානී අය බොහෝ විට සත්‍යය කතා කරන අතර අනෙක් අයට උදව් කරන්නේය. නිහතමානී කමේ තවත් ලක්ෂණයක් වන්නේ තමන් දන්නා බව කියමින් අනෙක් අය සමග වාද විවාද නොකර සිටීම වේ. එහෙත් සත්‍යය වෙනුවෙන් ඔවුන් පෙනී සිටින්නේය. කෙසේ වෙතත් ලස්සනට ඇඳුම් පැළඳුම් ඇඳීම හෝ වටිනා වාහනයක ගමන් කිරීම උඩඟුකමට අයත් වන්නේ නැති බව නබිතුමාගේ හදිසයකින් පැහැදිලි වේ. එහෙත් එවැනි දෙයක් කරමින් තවත් කෙනෙකුව පහත් කොට සැලකීම උඩඟුකම වන අතර එය ඉස්ලාම් දහමින් අනුමත කරන්නේ නැත. කෙනෙකුට නිවැරදි මාර්ගය අත්කර ගැනීමට තිබෙන ප්‍රධාන බාදකය වන්නේද උඩඟු කම් වේ. 


By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
Twiter:- thetrue_path





Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)