දරුවන් ඇති දැඩි කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු (Things to consider when raising children)

 
දරුවන් ඇති දැඩි කිරීම පිලිබඳව බොහෝ උගතුන් විසින් පොත් පත් පල කොට ඇත. එහෙත් මෙහිදී සලකා බැලෙන්නේ ඉස්ලාම් දහම එම විෂය ගැන ලබා දී තිබෙන අවවාදයන් ගැන පමණි. සහජයෙන්ම දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ ආදරය සහ කරුණාව නිරන්තරයෙන්ම ලැබෙන්නේය. එම නිසා ඔවුන් නිතරම ආසා කරන්නේ තම දරුවන්ගේ ලෞකික ජිවිතයේ ජයග්‍රහණය දැකීමටයි. ලෞකික ජීවිතයේදී ලබන ජයග්‍රහණය එක්තරා සතුටක් වුවද සත්‍යය ජයග්‍රහණය තිබෙන්නේ මරණයෙන් මතු ජිවිතයේදීය. මේ නිසා අල් කුරානය දෙමව්පියන් හට මෙසේ අවවාද කරන්නේය. “විශ්වාසවන්තයෙනි! ඔබ ද, ඔබගේ පව්ලේ උදවිය ද නිරයේ ගින්නෙන් ආරක්ෂා කරගනු. එහි ඉන්දන ගල් සහ මිනිසුන් වන්නෝය. එයට ඉහලින් දයාවක් නැති ශක්තිසම්පන්න මලායිකා වරුන්ව පත්කරනු ලැබ ඇත්තෝය. ඔවුන්ට අල්ලාහ් නියෝගකර ඇති දැයෙන් වෙනසක් නොකරනු ලබන්නෝය. ඔවුන්ට දෙනුලැබූ නියෝග එලෙසින්ම ඉටු කරමින් සිටින්නෝය”. මේ නිසා ළමුන්ට අධ්‍යාත්මික මග පෙන්වීම ඉතාමත්ම වැදගත් වේ. 

අල් කුරානයෙන් මෙතරම් තදින් අවවාද කොට තිබියදීත් බොහෝ දෙමව්පියන්ගේ ඉලක්කය වන්නේ ළමුන්ගේ ලෞකික දියුණුව දැකීමයි. එම නිසා ළමුන්ට ආගම දහම ඉගැන්වීමට වඩා ලෞකික අධ්‍යාපනය ලබා දීමට සෑම උත්සාහයක්ම ගන්නේය. ඒ වෙනුවෙන් තම දරුවන්ට අමතර පන්ති පවා ලබා දෙන්නේය. මේ සෑම දෙයක්ම කළ පසු ඇතැම් විට එහි අවසාන ප්‍රතිපලය වන්නේ එම දරුවන් විශ්ව විද්‍යාලයකට ඇතුලත් වී උපාධියක් ලබාගෙන හොඳ රැකියාවක් ද කරන කාලයකදී තම මහලු දෙමව්පියන්ව මහලු මඩමකට භාර දීමයි. ඔවුන් කරන එම වැරැද්දේ වගකීම භාර ගත යුත්තේ එම දෙමව්පියන්ම වේ. ඊට හේතුව ළමුන් කුඩා කාලයේදී ආගමික අධ්‍යාපනය නිසි ලෙස ලබා නොදීමයි. 

සාර්ථක දෙමව්පියන් තම දරුවන්ට ලෞකික අධ්‍යාපනය මෙන්ම ආගමික අධ්‍යාපනයත් ලබා දෙන්නේය. එය ඔවුන්ට මෙලොවදී පමණක් නොව මතු ජිවිතයට ද ආයෝජනයක් වේ. එවැනි දරුවන් මොනතරම් උසස් නිලයන් දරුවත් තම දෙමව්පියන් වයසට ගිය පසු ඔවුන් වෙනුවෙන් කළ යුතු යුතුකම් නිසි ලෙස ඉටු කරනු ඇත. තවද දෙමව්පියන් මිය ගිය පසු ඔවුන් වෙනුවෙන් පින් අනුමෝදම් කිරීමටත් ඔවුන් වෙනුවෙන් දුආ ප්‍රාර්ථනා කිරීමටත් පෙළඹෙනු ඇත.

මෑත කාලයේදී එක් කාන්තාවක් දෙමව්පියන්ව බලු කුඩුවේ දමා බල්ලන්ව ගෙට තබාගෙන සිටි සිද්ධියක් පුවත්පත් වල වාර්තා විය. එවැනි පහත් තත්වයකට ඔවුන් පත් වන්නේ ඔවුන්ට නිසි ආගමික දැනුමක් නොලැබී යාම නිසාය. එපමණක් නොව තවත් සමහරු දෙමව්පියන් වයසට ගිය පසු වැඩිහිටි නිවාස වලට භාර දෙන්නේය. ඊට හේතුව ඔවුන්ට දෙමව්පියන් බරක් වන නිසාය. එහෙත් අල්-කුරානය පවසන්නේ අඩුම තරමින් දෙමව්පියන් හට 'චි' යන වචනයෙන් වත් අවමන් නොකරන ලෙසයි. තවද, අල්-කුරානය දෙමව්පියන් ගැන සඳහන් කිරීමේදී එකම වැකිය තුල අල්ලාහ්ට ස්තුති වන්ත වන ලෙස නියෝග කරන ගමන්ම දෙමව්පියන් හටත් ස්තුතිවන්ත වන ලෙස නියෝග කොට තිබේ.

නබිතුමා පවසා ඇති පරිදි ළමයින්ගේ වයස 7 වන විට ඔවුන්ට නැමදීම සඳහා පුහුණුව ලබා දිය යුතුය. වයස 10 වූ පසු නැමදීම ඉටු නොකරන්නේ නම් දඬුවම් කල යුතුය. මෙම නියෝගය ගැන අපගේ අවධානය යොමු නොවන්නේ නම් පසුව දුක් වීමට සිදු වනු ඇත. එසේ නොකළේ නම් ඔවුන් වැඩි වියට පත් වූ පසු දහමින් ඈත් වනු ඇත. එහි වගකීම දැරිය යුත්තේ දෙමව්පියන් ය. නවීන සමාජය ගත් කළ ළමයින් ආශ්‍රය කරන යහළු මිත්‍රයන් ගැන අවදානයෙන් සිටිය යුතුය. එසේ නොකළහොත් නිවසේදී දෙන අවවාද සියල්ලම නරක මිතුරන්ගේ ආශ්‍රය නිසා විනාශ වී යා හැකිය.

ඇතැම් ප්‍රසිද්ධ පාසල්වල ඉගෙන ගන්නා ළමුන් පවා මත්කුඩුවලට ඇබ්බැහි වී තිබේ. තවද ස්මාට් පොන් වලින් දකින අසභ්‍ය දේවල් නිසා ළමයින් නොමග යන්නේය. මේ නිසා ළමයින්ට නිසි කලට වෙලාවට පෙර ස්මාට් පොන් මෙන්ම අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක ලබා දීමෙන් ප්‍රවේසම් විය යුතුය. තවද එවැනි තැන්වලට යාමෙන්ද ළමයින්ව වැළැක්විය යුත්තේ මොන තරම් පින් දහම් කලත් තනිවම සිටින විට අකුසල් කිරීමට තිබෙන ප්‍රවණතාවයන් බහුල නිසාය. පහත දැක්වෙන හදිසයෙන් එය විස්තර කොට ඇත.

තව්බාන් රලි තුමා පවසන පරිදි විනිශ්චය දිනයේදී ඇතැම් අය තිමාමා නමැති කන්දේ තරමට පින් ඇතිව පැමිනෙනු ඇත. එහෙත් අල්ලාහ් ඒවා දුවිලි බවට පත්කරන්නේය. ඊට හේතුව කුමක්දැයි නබි තුමාගෙන් විමසු කල එතුමා පවසා ඇත්තේ ඔවුන් බොහෝ පින් දහම් කලත් තනිවම සිටින විට අල්ලාහ් පනවා ඇති සීමාවන් ඉක්මවා වැරදි කල නිසා බවයි. මේ නිසා ප්‍රසිද්ධියේ මෙන්ම තනිවම සිටින විට අල්ලාහ් තමන්ව බලාගෙන සිටින බව සිතේ තබා ගත යුතුය.

කුඩා කාලයේදීම ළමයින්ට දහමේ මුලික දේවල් පිලිබඳ විශ්වාසයන් නිවැරදිව ලබා දීමට දෙමව්පියන් ක්‍රියා කල යුතුය. මේ සඳහා උගත් විද්වතුන්ගේ දේශනා වලට සහභාගී කරවිය යුතුය. සෑම නිවසකම දහම පිළිබඳව ලියවුනු පොත පත තිබිය යුතුය. ඒවා කියැවීමට ළමුන්ව උනන්දු කරවිය යුතුය. එසේ කිරීමෙන් තම වගකීම් වලින් තරමක් හෝ නිදහස් වීමට හැකි වනු ඇත. 

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)