ඉස්ලාමය වැළඳ ගැනීම සඳහා බල කළ හැකිද? (Can conversion to Islam be forced?)


අල් කුරානයේ දෙවන පරිජ්ජේදයේ 256 වන වැකිය තුල මෙසේ සඳහන් කොට ඇත. “දහම තුල බල කිරීමක් නොමැත. ඇත්ත වශයෙන්ම වැරදි මාර්ගයෙන් නිවැරදි මාර්ගය වෙන් කොට පෙන්වාදී ඇත”. මෙමගින් පැහැදිලි වන්නේ ඉස්ලාම් දහමින් බලහත්කාරය ප්‍රතික්ෂේප කරන බවයි. කුරානයේ තවත් තැනක මෙසේද සඳහන් වේ. "නුඹලාට නුඹලාගේ ධර්මය; මට මාගේ ධර්මය" (කුරානය 109:6). මෙම වගන්ති අනුව පැහැදිලි වන්නේ ඉස්ලාම් දහම තුල බලහත්කාරය නොමැති බවයි. 

ඉස්ලාම් දහමේ ප්‍රධාන අවශ්‍යතාවයක් වන්නේ අල්ලාහ් දෙවියන්ව සිතින් විශ්වාස කිරීමයි. එය වාචිකව පමණක් ප්‍රකාශ කිරීමෙන් කෙනෙක් ඉස්ලාම් බක්තිකයෙක් වන්නේ නැත. මේ නිසා කිසිවෙකුව බලහත්කාරයෙන් ඉස්ලාම් දහමට හැරවිය නොහැකිය. එසේ කිරීමට අවශ්‍යතාවයක්ද නැත. කෙසේ වෙතත් ලෞකික අරමුණු ඇතුව ඇතැම් අය නබිතුමාගේ කාලයේදී පවා ව්‍යාජ ලෙස ඉස්ලාම් දහම වැළඳ ගෙන තිබේ. උදාහරණයක් වශයෙන් අබ්දුල්ලා ඉබ්නු උබෙයි සහ ඔහුගේ සගයන් පෙන්වා දිය හැකිය. ඔවුන් ඉස්ලාම් දහම වැළඳ ගත්තේ සමාජයට ඇති බිය නිසාය. මේ නිසා ඔවුන්ට ස්වර්ගය ලැබෙන්නේ නැත. 

කෙසේ වෙතත් අල්ලාහ්ට අවශ්‍යතාවයක් තිබුනේ නම් සියළුම මිනිසුන්ව ඔහුට අවනත වන අය නොහොත් මුස්ලිම්වරුන් බවට පත් කල හැකිය. දේවදුතයින් එවැනි සමුහයකි. 

“ඔබේ සමිඳුන් අපේක්ෂා කලේ නම් පොළොව මත සිටිනා සියළුම දෙනා එකා මෙන් විශ්වාස වන්තයින් බවට පත් කළ හැකිව තිබුනේය. එසේ තිබියදී ඔවුන් ඉස්ලාම් දහම වැළඳ ගත යුතු යැයි ඔබ (ඔවුන්ට) බල කරන්නෙහිද?” (කුරානය 10:99). 

මිනිසාව මැවීමේ අරමුණ කුරානයේ බොහෝ තැන්වල විස්තර කොට ඇත. තවද මිනිසාට දේවදුතයින්ට නොමැති ස්වයං තීරණ ගැනීමේ හැකියාව ලබා දී තිබේ. ඒ අනුව මිනිසා තම බුද්ධිය උපයෝගී කරගනිමින් දෙවියන් පහල කොට ඇති නිවැරදි මාර්‍ගය සොයා ගත යුතු වන්නේය. මේ නිසා ඉස්ලාම් දහම දේශනා කිරීමට පැමිණි නබිවරුන් පවා මිනිසුන්ට බලහත්කාරයෙන් ඉස්ලාම් දහම පැටෙව්වේ නැත. 

අල් කුරානයේ තුන්වන පරිජ්ජේදයේ 20 වන වැකියෙන් නබිතුමාට මෙසේ අවවාද කොට ඇත. “ඔවුන් නුඹ සමග ආරවුල් කරන්නේ නම් මෙලෙස පවසනු: ‘මම අල්ලාහ්ට (ඉස්ලාම් දහමෙහි) මාව යටත් කර ඇත්තෙමි, මාව පිළිපදින්නන් ද එලෙසම කර තිබේ’ එබැවින් පුස්තකය දෙනු ලැබුවන්ට ද අකුරු නොදත් අයටද මෙලෙස කියනු: ‘ඔබත් ඔබව (ඉස්ලාමය තුල) යටත් කර ගන්නෙහිද?’ ඔවුන් එසේ කලේ නම්, ඔවුන් යහ මග අත්කරගත් අය වෙති; එහෙත් ඔවුන් ඉන් ඉවත් වන්නේ නම්, ඔබගේ වගකීම ඔවුන්ට පණිවිඩය ලබා දීම පමණි” (කුරානය 3:20). 

මෙම වැකිවලින් නබිතුමාගේ කාර්යභාරය කුමක්දැයි ඉතා හොඳින් පැහැදිලි කොට තිබේ. අල් කුරානයේ තවත් තැනක නබිතුමාගේ වගකීම කුමක්දැයි මෙසේ විස්තර කොට ඇත.

“දුතයාගේ (මුහම්මද් සල් තුමාගේ) වගකීම (දහම් පණිවිඩය) ගෙන හැර දැක්වීම මිස වෙන කිසිවක් නොවේ” (කුරානය 5:99). 

ඉස්ලාම් දහම මිනිසාගේ ආරම්භයේ සිටම පැමිණ තිබෙන්නේ මිනිස් ජිවිතයේ අරමුණ පැහැදිලි කර දීම පිණිසය. ඒ සඳහා දෙවියන්ගේ නියෝජිතයින් නොහොත් නබිවරුන් සිය දහසකට වඩා මෙලොවට පැමිණ තිබේ. එලෙස පැමිණි අවසාන නබිවරයා වන්නේ මුහම්මද් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා!) තුමාය. එතුමා ඉතා කෙටි කාලයක් තුල ඔහුගේ ධර්‍ම ප්‍රචාර කටයුතු සම්පුර්ණ කල අතර මුළු අරාබියාව තුලම ඉස්ලාලම් දහම පතුරුවා හැරියේය. අද වන විට එය ලෝකයේ ප්‍රධාන ආගමක් බවට පත්වී හමාරය. 

ඉස්ලාම් දහමේ ප්‍රධාන අරමුණ වන්නේ විශ්වයේ මැවුම්කරු වන අල්ලාහ්ව තේරුම් ගෙන ඔහුගේ අණට සම්පුර්ණයෙන්ම යටත්වී මරණයෙන් පසු ජීවිතය ජය ගැනීමයි. එසේ නොකළහොත් මරණයෙන් පසු විශාල පාඩුවකට මුහුණ පෑමට සිදුවනු ඇත. අද බොහෝ අය ජිවත් වන්නේ තම මැවුම්කරු ගැන දැනගෙන නොවේ. එය විශාල අඩුවකි. 

By Fasy Ajward.B.Sc(special)Hons,
Ex: Research officer at former Scientific and Industrial Research Institute. 

Twitter:-thetrue_path




Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)