ඉස්ලාමිය උපවාසය (Islamic fasting)
උපවාසය, ඉස්ලාම් දහමින් අනිවාර්ය කොට තිබෙන කරුණු පහෙන් එකකි. අල් කුරානයේ උපවාසය ගැන මෙසේ සඳහන් කොට තිබේ: "විශ්වාසකලවුනි! නුඹලා (අල්ලාහ්ට) බිය වී ක්‍රියා කරනු පිණිස නුඹලාට පෙර සිටියවුන් කෙරෙහි නියම කල ආකාරයටම නුඹලා කෙරෙහිද උපවාසය නියම කොට ඇත" (කුරානය 2:183). ඉන් පෙනී යන්නේ උපවාසය නබිතුමට පෙර ජීවත්වූ අය වෙනුවෙන්ද අනිවාර්ය කොට තිබුණු බවයි.
උපවාසය සඳහා කාල වෙලාවන් සහ දින වකවානු නියම කොට තිබේ. ඒ අනුව එය ඉටු කල හැක්කේ රමළාන් මාසයේදී පමණි. එහෙත් අනිවාර්ය නොවන වෛකල්පික උපවාසයන් වසරේ ඕනෑම කාලයකදී ඇතැම් කොන්දේසි වලට යටත්ව ඉටු කල හැකිය.
උපවාස කිරීම ආරම්භ වන්නේ රාමලාන් මාසයේ උදාවත් සමග ය. රමළාන් මාසය ආරම්භ වන්නේ පියෙවි ඇසින් නව සඳ දැකීමත් සමග ය. කෙසේ වෙතත් සෑම කෙනෙකුම නව සඳ දැකීම අනිවාර්ය නොවේ. ඉබ්නු අබ්බාස් රලි තුමා පවසන හදිසයකට අනුව විශ්වාසවන්තයින්ගෙන් එක්කෙනෙකු හෝ නව සඳ දැකීම සියලු දෙනාටම ප්‍රමාණවත් ය.
රමළාන් මාසයේ නව සඳ බැලීම සම්බන්දයෙන් විද්වතුන් වෙනස් මත දරති. ඒ අනුව ඇතැම් උදවිය පවසන්නේ ඒ ඒ භූගෝලීය කලාප තුල දකින නව සඳ අනුව එම කලාප වල වෙසෙන උදවිය උපවාසය ආරම්භ කල යුතු බවයි. තවත් පිරිසකගේ මතය වන්නේ ලෝකයේ කොතැනක හෝ නව සඳ දැකීමෙන් සියලුම මුස්ලිම්වරු උපවාස කිරීම ආරම්භ කල යුතු බවයි. කෙසේ වෙතත් ශ්‍රේෂ්ට ඉස්ලාමීය විද්වතෙක් වන ඉමාම් ෂාෆි තුමා පවසන්නේ තමන් වෙසෙන භූගෝලීය කලාපය තුල දකින නව සඳ නිසා එම කලාපයේ ජිවත් වන අය උපවාස කිරීම ආරම්භ කල යුතු බවයි. යම් කිසි හේතුවක් නිසා නව සඳ බැලීමට බදා එල්ල වුවහොත් ෂහ්බාන් මාසයේ දින 30 සම්පුර්ණ කොට ඉන් පසු රමළාන් උපවාස ආරම්භ කල යුතුය.
උපවාස කිරීම, සෑම වැඩිහිටි මුස්ලිම්වරයෙකුමම අනිවාර්ය වේ. කෙසේ වෙතත්, අසනීප වූවන් සහ දිගු ගමන් වල යෙදෙන අය සඳහා ව්‍යතිරේකයක් කර ඇත. ඔවුන් අත්හරින උපවාස සියල්ලම වෙනත් දින වලදී ඉටු කල යුතුය. "කවරෙක් රෝගීව හෝ ගමනෙහි හෝ සිටින්නේද (ඔහු) වෙනත් දිනයන්හි ඔහුට අත්හැරුණු උපවාසයන් ඉටු කල යුතුය" (කුරානය 2:185). කාන්ත්වන්ට ඔසප් කාලයේදී සහ දරු ප්‍රසුතියෙන් පසු රුධිර වාහනය නවතින තුරු උපවාස කිරීම තහනම් වේ. එහෙත් ඔවුන්ට අත්හැරුණු උපවාසයන් වෙනත් දින වලදී සම්පුර්ණ කිරීම අනිවාර්ය වේ.
උපවාසය රැකිය යුතු කාලය, හිමිදිරි පාන්දර සිට ඉර බසින තෙක් පමණි. එය ලංකාවේ ජිවත්වන කෙනෙකුට පැය 14 ක් පමණ වේ. එම කාල සීමාව තුලදී ඝන ආහාර හෝ දියර අහාර හෝ අනුභව කල නොහැක. තවද, එම කාලය තුලදී ලිංගික එකතුවීම් තහනම් වේ.
නබිතුමා පවසා ඇති හදිසයකට අනුව උපවාස කරන කෙනෙක් බොරු කීමෙන් සහ පාපිෂ්ට ක්‍රියාවන්ගෙන් වැළකුණේ නැති නම් ඔහුගේ කුසගින්නෙන් සහ තිපාසයෙන් අල්ලාහ්ට කිසිම අවශ්‍යතාවයක් නැත (සහිහ් අල්-බුහාරි). තවද, උමර් රලි තුමා මෙසේ පවසයි: උපවාසය යනු හුදෙක් නොකා නොබී සිටීම පමණක්ම නොව, අනවශ්‍ය කථා බහ වලින් වැලකී සිටීමත් ඊට ඇතුලත් වේ.
නබිතුමාගේ හදිසයකට අනුව උපවාස කරන තැනැත්තෙකුගේ නින්ද ඉබාදතයක් (කුසල් ක්‍රියාවක්) වේ. ඔහුගේ නිහැඬියාව තස්බිහ් හෙවත් අල්ලාහ්ගේ ගුණ වර්ණනා කිරීම කි. තවද, උපවාස කරන කෙනෙකුට ඔහු සාමාන්‍ය දිනවලදී කරන කුසල් වලට ලැබෙන කුලියට වඩා හැත්තෑ ගුණයකින් වැඩි කුසල් ලැබේ. ඔහු අල්ලාහ්ගෙන් කරන ප්‍රාර්තාවන් පිළිගැනීමට ලක් වේ. ඔහුගේ පව් වලට සමාට ලැබේ.
අල්-කුරානය පහළ වුයේ රමළාන් මාසයේ දී වීම විශේෂත්වය කි. තවද, ලෛලතුල් කදර් නමැති බලගතු රාත්‍රිය උදා වන්නේ රමළාන් මාසයේදී ය. එම රාත්‍රියේදී කරන කුසල් වලට, සාමාන්‍ය මාස 1000 කදී කරන කුසල් හිමි වේ. එම සුවිශේෂී රාත්‍රිය රාමලාන් මාසයේ ඔත්තේ දිනයකදී උදා වන බව නබිතුමා පැවසුවේය. තවත් හදිසයක සඳහන් වන්නේ එය රමළාන් මාසයේ අවසාන දින දහය තුල සොයා ගන්නා ලෙසය.
උපවාසය ආරම්භ කිරීමට පෙර, අලුයම් රැයේ යම් කිසි ආහාරයක් ලබා ගැනීම නබිතුමාගේ සුන්නාවකි. එමගින් උපවාස කිරීමට ශක්තිය ලැබේ.
ස්නානය කිරීම අනිවාර්ය වූ කෙනෙකුට වුවද නැමෙන් තොරව, උපවාසය ආරම්භ කල හැකිය. එමගින් උපවාසයට කිසිම බලපෑමක් සිදු වන්නේ නැත. එහෙත් සලාතය ඉටු කිරීම සඳහා ඉර උදාවට පෙර ස්නානය කිරීම අනිවාර්ය වේ.
උපවාස රකිමින් සිටියදී, අමතක වීමෙන් යම් දෙයක් අනුභව කළාට උපවාසය කැඩෙන්නේ නැත. එවැනි කෙනෙකුට දිගටම උපවාස කරගෙන යා හැකිය. වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පලයක් ලබා දීම නිසාද උපවාසයට හානියක් සිදු වන්නේ නැත. එහෙත් ශරීරයට ශක්තිය ලබා ගැනීම සඳහා යමෙක් එන්නත් ලබා ගන්නේ නම් ඔහුගේ උපවාසය බල රහිත වන්නේය.
රට ඉඳි වලින් උපවාසය අවසන් කිරීම නබිතුමාගේ සුන්නාවකි. රට ඉදිවල ඇති සීනිවලින් උපවාස කල තැනැත්තාට ක්‍ෂණිකව ශක්තිය ලබා දීම ඊට හේතුව යි.
උපවාස කිරීම නිසා රුධිරයේ ඇති සිනි පාලනය වේ. රුධියේ ඇති කොලොස්ටරෝල් දහනය වේ. අක්මාවේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් වේ. පිළිකා සෛලවල වර්ධනය අඩාල වේ. කෙසේ වෙතත් අධික ලෙස අහාර ගැනීමෙන් උපවාසය ආරම්හ කරන්නේ නම් මෙම ප්‍රතිපල බලාපොරොත්තු විය නොහැක. එහෙත් ඔහුගේ උපවාසය ඉටු වන්නේය.
By Fasy Ajward. B.Sc (Sp.Phy) Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments
Post a Comment