පිරිසිදුකම පිලිබඳ ඉස්ලාමිය මග පෙන්වීම (Islamic guidance on cleanliness)
ඉස්ලාම් ආගම අධ්‍යාත්මික මග පෙන්වීමට සමගාමිව ශාරීරික පාරිශුද්ධත්වය ගැන ද පෙන්වා දී තිබේ. මේ නිසා ශාරීරික පිරිසිදුතාවයෙන් තොරව සිදු කරනු ලබන කුසල් වලට පිළිගැනීමක් ලැබෙන්නේ නැත.
අල් කුරානය තුල හදවතේ පිරිසිදුතාවය සහ ශාරීරික පිරිසිදුතාවය ගැන වෙන වෙනම පවසා තිබේ. තවද පිරිසිදුකම ඉස්ලාමිය විශ්වාසයෙන් අඩක් බව නබිතුමා දැනුම් දෙන්නේය. මෙම කරුණ අබු මාලික් අල් අශාරි තුමා වාර්තා කරන බව සහිහ් මුස්ලිම් ග්‍රන්ථයේ දැක්වේ.
අධ්‍යාත්මික පවිත්‍රතාවය යටතේ සෑම මුස්ලිම්වරයෙකුම තම හදවත පිරිසිදුව තබා ගත යුතුය. ඒ අනුව අනුන්ගේ දියුණුවට ඉරිසියා කිරීම, උඩඟු කම නිසා අනෙකා පහත් කොට සැලකීම වැනි දේවල් වලින් හැකි තරම් වැලකි සිටීමට මුස්ලිම්වරුන් කටයුතු කල යුතුය. උඩඟුකම අනු ප්‍රමාණයක් හෝ තිබුනේ නම් ස්වර්ගයට වරම් නොලබන බව නබිතුමා පවසා තිබේ. මේ හේතුවෙන් කෙනෙක් තවත් කෙනෙකුව පහත් කොට සැලකීම විශාල වරදකි. එය උඩඟු කම නිසා ඇතිවන්නකි. සාතන්ව ස්වර්ගයෙන් පිටමන් කිරීමට ප්‍රධන හේතුව ඔහුගේ උඩඟු කමයි. උඩඟු කම කෙනෙකුගේ රැකියාව නිසා ද පවුල් බලය නිසා ද අධ්‍යාපන සුදුසුමක් නිසා ද බලපුරුවන්කාරකම් නිසා ද ඇති විය හැකිය. මේ නිසා කුමන තරාතිරමක සිටියත් ඉන් උඩඟු නොවිය යුතුය.
ශරීරය ජලයෙන් පිරිසිදු කරන අකාරයටම හදවත අල්ලාහ්ව තස්බිහ් නොහොත් සිහි කිරීමෙන්ද තමන්ගෙන් සිදු වුනු වැරදි වලට අල්ලාහ් වෙත තව්බා හෙවත් පසුතැවිලි වීමෙන්ද පිරිසිදු කල යුතුය. තවද හැකි සෑම විටම අදාළ පුද්ගලයින්ගෙන් සමාව අයැදිය යුතුය. කෙසේ වෙතත් දෛනිකව කරනු ලබන පංච කාල සලාතය නිසා කෙනෙකුගෙන් සිදු වුනු සුළු පව් වලට සමාව ලැබේ.
අහාර අනුභව කිරීමට පෙර දෑත් ජලයෙන් පිරිසිදු කිරීමට නබි තුමා පෙන්වා දී තිබේ. එසේම මල පහ කිරීමෙන් පසු ටිෂු වෙනුවට ජලයෙන් පිරිසිදු කිරීම ඉස්ලාමිය මග පෙන්වීම වේ.
මුස්ලිව්වරුන්ට දෛනිකව පස් වතාවක් සලාතය ඉටු කිරීම අනිවාර්ය කොට ඇත. ඒ සෑම අවස්තාවකදීම මුහුණ කට සහ අත්පා සේදීමත් හිස ජලයෙන් පිරිමැදීම ත් අනිවාර්ය වේ. එමගින් අධ්‍යාත්මික පාරිශුද්ධ තාවය මෙන්ම ශාරීරික පිරිසිදුකම අත්වන්නේය.
සිකුරාදා දිනයේදී ජුම්මා සලතයට සහභාගී වීම සඳහාද ඊද් උත්සව දෙකේදී ඊට සහභාගී වීම සඳහාද ස්නානය කිරීම නබිතුමාගේ මග පෙන්වීමක් හෙවත් සුන්නාවක් වේ.
කාන්තාවන්ට මාස් ශුද්ධිය ඇතිවූ විට සලාතය කිරීම තහනම් ය. එහෙත් එය අවසන් වූ වහාම සලාතය ඉටු කිරීම සඳහා ස්නානය කිරීම අනිවාර්යය වේ. තවද දරු ප්‍රසුතියෙන් පසු රුධිර වහනය නැවතුනු පසු සලාතය ඉටු කිරීම සඳහා ස්නානය කල යුතුය. අඹු සැමියන් සංසර්ගයේ යෙදීමෙන් පසු ද ස්නානය කිරීම අනිවාර්ය වේ. මෙම ක්‍රියාවන් අධ්‍යාත්මික වශයෙන් පමණක් නොව ශාරීරික සුවතාවයටද වැදගත් වේ.
ඉස්ලාම් දහම අනුව පිරිමි දරුවන් සඳහා කුඩා කාලයේදී චර්මජ්ජේදනය කරනු ලැබේ. මෙම ක්‍රියාව නිසා මුත්‍රාෂය සම්බන්ද රෝග වලක්වා ගත හැකිය. පුරුෂ ලිංගයේ පෙර සම ඉවත් කල විට එහි රැඳෙන කුණු සහ විසබීජ ජලයෙන් පිරිසිදු කිරීම පහසු ය. මේ හැරුණු විට මුත්‍රා කල පසු ලිංගේන්ද්‍රියන් ජලයෙන් පිරිසිදු කිරීම මුස්ලිම්වරුන්ට අනිවාර්ය කොට ඇත.
මෙම කරුණුවලට අමතරව ශරීරයට අහිතකර අහාර පාන ගැනද ඉස්ලාම් දහම පෙන්වා දෙන්නේය. උදාහරණයක් ලෙස සුකර මාංශ පෙන්වා දිය හැකිය. ඌරන් බොහෝ විට මල පහ ඇතුළු අපිරිසිදු දේවල් මත යපෙන්නේය. මේ නිසා උන්ගේ ශරීරය තුල නොයෙකුත් ආසාදනයන් ගෙන දෙන පරපෝෂිතයින් දැකිය හැකිය. විශේෂයෙන්ම සුකර මාංශ නිසා පටි පණු රෝගය ඇතුළු තවත් භයානක රෝග පැතිරේන්නේය.
By Fasy Ajward.B.Sc (PhysicsSpecial) Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
http://truepath1.blogspot.com/
Twitter:- thetrue_path
Comments
Post a Comment