මරණින් මතු ජීවිතය පිළිබඳ ඉස්ලාමීය විශ්වාසය (Islamic belief in the afterlife)
ඉස්ලාමයට අනුව කෙළවරක් නොමැති නිරන්තර ජීවිතය ආරම්භ වන්නේ මරණයෙන් පසුවය. තවද ඉස්ලාමයට අනුව මිය යාමෙන් පසු නැවත මෙලොවදී ඉපදීමක් නැත. මින් අදහස් කරන්නේ මිනිස් ජිවිතයට පුනරුත්පක්තියක් නොමැති බවත් මිනිසා මෙලොවදී උපදින්නේ එක් වතාවක් පමණක් බවත් ය. කෙසේ වෙතත් ඉස්ලාමිය ඉගැන්වීම අනුව සෑම ආත්මයක්ම දෙවියන් නියම කල දිනයකදී සොහොන් ජිවිතයෙන් පසු නැවත නැගිටවීමට නියමිතය. ඉන් පසු සෑම ආත්මයක් සඳහාම විනිශ්චයක් සිදු කරනු ලැබේ. එහිදී එක් එක් ආත්මයක් මෙලොවදී ක්‍රියා කල අන්දම ගැන ප්‍රශ්න කිරීමට නියමිතය. එම විනිශ්චයෙන් පසු ස්වර්ගය හෝ නිරය ලබා දීමට නියමිතය.
මරණයෙන් පසු ජිවිතයක් නැතැයි විශ්වාස කල අය එම දිනයේදී මහත්සේ දුකට පත් වන අතර මෙසේ පවසන බව කුරානය දැනුම් දෙන්නේය. “අහෝ අපගේ ශෝකයි! අපව අපගේ (සොහොන් වන) නිදා සිටි ස්ථානයන්ගෙන් නැගිට්ටෙව්වේ කවරෙක් දැයි (ඔවුන්) විමසන්නෝය (එවිට දේවදුතයින්) “රහ්මාන් (ඔබට) දුන් පොරොන්දුව නබිවරුන් (ඔබට) සත්‍යය යැයි ගෙනහැර දැක්වුයේද මෙය”යි (කියනු ලැබේ). එය එකම එක ශබ්දයක් මිස (වෙන කිසිවක්) නොවන්නේය. ඒ ඇතුලත ඔවුන් සියල්ලෝම අප වෙත ඒකරාශී කරගෙන එනු ලබන්නෝය. තවද එදින කිසිම ආත්මයකට කිසිම අසාධාරණයක් නොකරනු ලබන්නෝය. ඔබ කල දැයට (පමණක්) ඔබට පලවිපාක දෙනුලබන්නේය" (කුරානය 36:51-54).
ඇතැම් අය සමච්චලයෙන් කියා සිටින්නේ මිය ගිය පසු ශරීරය පසට දිරා යන බවත් ඉන් පසු ජීවිතය කෙළවර වන බවත් ය. එහෙත් අල් කුරානය ඔවුන්ට මෙසේ පවසන්නේය. “කිමෙක්ද! අපි මරණයෙන් පසු (දිරා) ඇටකටු හා දුවිලි බවට පත්වුවායින් පසු ඇත්තෙන්ම අපිට පන දී නැගිටවනු ලබන්නෙමුද?” “(එසේම) පෙර ඉකුත්වූ අපගේ පියවරුන් (නැගිට්ටවනු ලබන්නෙහු) දැ"යි (සමච්චලයෙන් මෙන් ඔවුන්) කියමින් සිටියෝය. (නබියේ!) ඔබ මෙසේ කියනු. ඇත්තෙන්ම ඔබට පෙර සිටිය වුන්ද පසුව සිටිය වුන්ද නියමිත දිනයකදී (පන දී නැගිට්ටවනු ලැබ) ඒකරාශී කරනු ලබන්නේහුය” (කුරානය 56:47-50).
කෙනෙකුව භූමිදානය කළ පසු දේවදුතයින් දෙදෙනෙකු පැමිණ සොහොනේදී ඔහුව නැගිටුවා ප්‍රශ්න කරන බව නබිතුමා පවසා තිබේ. එම දේවදුතයින් මිය ගිය තැනැත්තාගෙන් අසනු ලබන ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු සපයන ලද්දේ නම් ඔහුට විනිශ්චය දිනය දක්වා සොහොන් ජීවිතය සැනසීමෙන් ගත කිරීමට හැකි වන්නේය. එහෙත් එම දේවදුතයින් දෙදෙනා අසනු ලබන ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලබා දීමට නොහැකි වුවහොත් ඔහුට විනිශ්චය දිනය දක්වා සොහොනේදී දඬුවම් දෙනු ලැබේ. කෙසේ වෙතත් කෙනෙකු මරණයට පත් වීමෙන් පසු සිදුවන දේවල් ගැන අපට මේ ලෝකයේදී දැක ගත නොහැකිය.
සොහොනේදී අසනු ලබන ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලබා දිය හැකි වන්නේ ජිවිත කාලයේදී ඊට සුදානම් වුවහොත් පමණි. එබැවින් ලෞකික ජීවිතයේදී දෙවියන්ව විශ්වාස නොකළ කෙනෙකුට එහිදී ඔහුගේ දෙවියන් කව්රුදැයි ප්‍රශ්න කල විට ඊට නිවැරදිව පිළිතුරු දීමට හැකි වන්නේ නැත. එසේම සලාතය ඉටු නොකළ කෙනෙකුට සලාතය ගැන ප්‍රශ්න කල විට ඊට නිසි පිළිතුරු ලබා දීමට හැකි වන්නේ නැත. එසේම නබිතුමාව අනුගමනය නොකළ කෙනෙකුට සොහොනේදී නබිතුමාව පෙන්වා ඔහු කව්රුදැයි ප්‍රශ්න කල විට මහත් දුෂ්කරතාවයට වත්වනු ඇත. එපමණක් නොව කුරානය අනුව ජිවත් නොවූ කෙනෙකුගෙන් ඔහුගේ ආගම ගැන ප්‍රශ්න කළ විට ඔහු මහත් අසීරුතාවයට පත් වනු ඇත. ඊට හේතුව ඔහු තම මැවුම්කරු ගැන නොසලකා හැර තිබීමයි.
කුරානයේ දැක්වෙන අන්දමට විනිශ්චය දිනය ඉතා භයානක ය. එම දිනයේදී සුර්යයා ඉතා සමීපයට ගෙනෙනු ලැබේ. අහස සහ පොලොව වෙනත් අකාරයකට පත් කරනු ලැබේ. මිනිසුන් කල පව් වල තරම අනුව දහඩියේ ගිලී යන්නේය. එහෙත් මෙලොවදී පින් දහම් කල අයට එම දිනයේදී අල්ලාහ්ගේ අර්ෂ්හි සෙවන ලැබෙන බව හදිස් වල දැක්වේ.
විනිශ්චය දිනයේදී ප්‍රශ්න කරන විට කිසිවෙකු වෙනුවෙන් පිටින් සාක්ෂි කැඳවන්නේ නැත. ඒ අනුව මිනිසාගේ ශරීර අවයව වලින්ම සාක්ෂි විමසනු ලැබේ. ඒ ගැන කුරානය මෙසේ පවසයි. "අද දවසෙහි ඔවුන්ගේ මුඛයෙහි මුද්‍රා තබන්නෙමු. ඔවුන් කරමින් සිටි දේ ගැන, ඔවුන්ගේ අත් අප සමග කථා කරන්නේය. තවද, ඔවුන්ගේ පා සාක්ෂි දරන්නේය" (කුරානය 36:65).
තවද එම දිනයේදී සෑම කෙනෙකුටම ඔවුන් මෙලොවදී කල කී සෑම දෙයක් ගැනම ලියන ලද ලේඛනයක් ලබා දෙන්නේය. එහි තමන් කල කී දේවල් වලට වඩා කිසිම දෙයක් වැඩියෙන් හෝ අඩුවෙන් සඳහන් නොවීම දැක මහත්සේ විමතියට පත් වනු ඇත.
මිනිසා සහ දෙවියන් අතර ඇති දේවල් ගැන විනිශ්චය කිරීමෙන් පසු මිනිසා, මිනිසාට කල වැරදි සමතයකට පත්කර ගැනීම සඳහා අවස්තාව ලබා දෙන්නේය. ඒ අනුව මෙලොව ජීවිතයේදී කෙනෙකුට කෙනෙක් කල වැරදි වලට වන්දි ලබා ගැනීම සිදු කර ගන්නේය. එහි ප්‍රතිපලයක් ලෙස කුසල් අඩුවීමෙන් නිරයට නියමිත වූ ඇතැම් උදවිය ස්වර්ගයටත් ස්වර්ගයට නියමිත වූ ඇතැම් අය තම කුසල් අඩු වීමෙන් නිරයටත් යන්නේය.
"නියතව කවරහු අපගේ වැකි ප්‍රතික්ෂේප කළෝද ඔවුන්ව අපි නිරයේ ඇතුළු කරන්නෙමු. ඔවුන් වේදනාව අත්විඳිම පිණිස ඔවුන්ගේ සම පිළිස්සෙන සෑම අවස්ථාවකම අපි ඔවුන්ට වෙනත් සම් මාරු කරන්නෙමු. නියතව අල්ලාහ් සියළු දෑ අභිබවූ කෙනා ද අධික ඥානවන්තයා ද වේ" (කුරානය 4:56).
ඉතා විශාල පිරිසක් නිරයට ඇතුළු වීම දැක නිරයට භාරව සිටින දේවදුතයින් පුදුමයට පත්වන අතර ඔවුන්ගෙන් මෙසේ ප්‍රශ්න කරන බව කුරානයේ දැක්වේ.
"ප්‍රතික්ෂේප කළවුන් කණ්ඩායම් වශයෙන් නිරය කරා ඇදගෙන එනු ලබන්නේය. ඔවුන් එහි පැමිණි කල එහි දොරටු විවුර්ත කරනු ලබන්නේය. එවිට එහි ආරක්ෂකයෝ ඔවුන්ගෙන්, 'නුඹලාගේ සමිඳුන්ගේ වැකි නුඹලාට කියවා පෙන්වා, නුඹලාගේ මෙම දවසෙහි හමුවීම ගැන අවවාද කරන දුතයෝ නුඹලා අතරින්ම නුඹලා හමුවට නොපැමිනියෙහිදැ'යි ප්‍රශ්න කරනු ඇත. එවිට ඔවුන් පැමිණියේයැයි පවසන්නෝය. මෙලෙස ප්‍රතික්ෂේප කරන්නන් කෙරෙහි වේදනාවෙහි වදන තහවුරු කරනු ලබන්නේය" (කුරානය 39:71).
මෙලොව ජීවිතයේදී මොන තරම් ප්‍රශ්න පැමිණියත් ඒවා ඉවසා දරාගෙන ඊට සුදානම් වූ අයට ස්වර්ගය ලැබීමට නියමිතය. එහි ජීවිතය සදාකල්ය. ඒ අනුව බලන කල ඉතා සුළු ලෞකින ජීවිතය කැප කිරීමෙන් ලබා ගන්නා ස්වර්ගය ඉතාමත් ලාභ දායි වෙළඳාම කි.
ස්වර්ගය ගැන කුරානයේ බොහෝ සෙයින් විස්තර කොට ඇත. එහෙත් අපගේ දැනගැනීම සඳහා ඉන් එක් වැකියක් පමණක් මෙහි පල කොට ඇත.
"(ස්වර්ගවාසින්) රන් හා දියමන්ති වලින් විසිතුරු කරන ලද සිංහාසනයන් මත කෙනෙකුට කෙනෙකු මුහුණ ලා හාන්සි වී සිටිනු ඇත. වෙනස් නොවන තරුණ වියෙහිම පසුවන තරුණයින් (සේවය සඳහා සෑම විටම) මොවුන් වටා සැරසෙමින් සිටිනු ඇත. මිහිරි රසැති පානයන්ගෙන් පිරි භාජනද, කෙණ්ඩිද රැගෙන (ඔවුන් වටා සැරසෙමින් සිටිනු ඇත). ඒවා පානය කිරීමෙන් මොවුන්ට හිසරදය ද වෙරි මතද ඇති නොවනු ඇත" (කුරානය 56:15-19).
බොහෝ අය මරණය අමතක කොට ජිවත් වන්නේය. එහෙත් මරණයන් කිසිවෙකුට ගැලවුමක් නැත. මරණයෙන් පසු මෙහි සඳහන් දේවල් වලට මුහුණ පෑමට සිදු වීම නියතය. එබැවින් මරණයට පෙර ජිවිතයේ සැබෑ අරමුණ සොයා ඒ අනුව ජිවත් වීම කාගේත් වගකීමක් වේ.
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path
Comments
Post a Comment