ලෝකයේ මෙතරම් ආගම් පවතින්නේ ඇයි? (Why are there so many religions in the world?)
මිනිස්වර්ගයා පැවැත එන්නේ ආදම් සහ ඒවාගෙන් ය. කුරානයට සහ බයිබලයට අනුව මුලින්ම ආදම් තුමාව මැවූ අතර එතුමාගේ ඉල ඇටයකින් ඒවා තුමියව නිර්මාණය කොට ඇත. මේ දෙදෙනාගෙන් මිනිස් පරපුර පැවත එන්නේය. මේ හේතුවෙන් ලෝකයේ සිටින සියලු දෙනා සහෝදරයින් වේ. ඔවුන් සියලු දෙනාගේ මැවුම්කරු අල්ලාහ් ය. මේ නිසා ලෝකයේ සිටින සෑම කෙනෙක්ම පිලි පැදිය යුත්තේ අල්ලාහ්ගෙන් පහළ වූ ආගමක් නොවේද? එසේ තිබියදී ලෝකයේ බොහෝ ආගම් තිබීමට හේතුව කුමක්ද?
ආදම් තුමාව මැවීමෙන් පසු ඔහුට සෑම දෙයකම නම් කියා දුන්නේය. කුර්ආනයේ විචාරකයින් පවසන්නේ මෙම නම් හරහා ආදම්ට සියලු දේ පිළිබඳ දැනුම ලබා දුන් බවයි. ඉන් පසු ආදම් තුමාට ගෞරව කිරීමක් වශයෙන් ඔහුට සුජුද් (නමස්කාර) කරන ලෙස දේවදුතයින්ට නියෝග කළේය. එම නියෝගය සාතන් හැර සෙසු සියලුම දේවදුතයින් ඉටු කළහ. සාතන් අල්ලාහ්ගේ අණ පිලි නොපැදීම හේතුවෙන් අල්ලාහ්ගේ කෝපයටත් ශාපයටත් පත් විය. එදා පටන් සාතන් මිනිසාගේ පරම සතුරෙක් බවට පත් විය.
සාතන් ස්වර්ගයේදී, ආදම් තුමාව නොමග යැව්වේය. මිහිපිටදිත් මිනිසාව නොමග යැවීමට කටයුතු කරමින් සිටින්නේය. සාතන්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ මිනිසා නැවතත් ස්වර්ගයට යාමෙන් වැළැක්වීමයි.
ආදම් තුමා මනු ලොවට පැමිණියේ මුල්ම නබි වරයා හැටියට ය. එතුමාට ආගමක් වෙනුවට අණ පනත් ලැබුනේය. එතුමාගෙන් පසු පත්කළ දෙවන නබිවරයා ඉද්රිස් තුමාය. ඔහුගෙන් පසු නුහ් නබිතුමාද ඉන් පසු හුද් නබිතුමාද ආදී වශයෙන් නබිවරුන් පැමිණියෝය. මේ සෑම නබිවරයෙකුම දේශනා කලේ ඉස්ලාම් දහම වේ.
නබිවරුන් අතරින් ඉබ්රාහිම් තුමාට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එතුමාගේ පරම්පරාවෙන් මුසා නබි තුමා, ඉසා නොහොත් ජේසුස් වහන්සේ සහ මුහම්මද් නබි තුමා පැමිණෙන්නේය. ඔවුන් හට පිළිවෙලින් යුදෙව් ආගම ද කිතුනු ආගම ද කුරානයද පහළ විය. මේ සෑම ආගමක්ම පහළ වුයේ එකම අරමුණක් සඳහාය.
ඉස්ලාම් යන වචනය බහුවිධ අර්ථකථන සහිත වචනයකි. එය සාමය සහ උත්තරීතර හා සර්වබලධාරී අල්ලාහ්ට යටත් වීම යන අර්ථයන් ගෙන දෙන අරාබි මූලයකින් උපුටා ගන්නා ලද්දකි. මෙම අර්ථ දැක්වීම අනුව සෑම නබිවරයෙකුම මුස්ලිම් වරයෙකු වේ. ඒ අනුව සෑම නබිවරයෙකුම අල්ලාහ්ගේ ඒකීයත්වය දේශනා කල අතර වෙනස් වූ නීති වලට යටත් විය. එහෙත් කිසිම අවස්ථාවක නබිවරුන් දේශනා කල ආගමික විශ්වාසයන් වෙනස් වුයේ නැත.
ආගම් අතර වෙනස්කම් ඇති වීමට බලපෑවේ නබිවරයෙකුගේ අභාවයෙන් පසු වෙනත් නබිවරයෙකු පැමිණෙන අතර වාරයේදී ඇතිවූ හිඩැස තුල මිනිසුන් විසින් එතෙක් පැවති ආගම වෙනස් කිරීම ය. එහි ප්‍රතිපලයක් ලෙස දෙවියන් පහළ කල නිවැරදි ආගම වෙනුවට බොහෝ වෙනස් ආගම් බිහි විය. ඒ හැරත් ඇතැම් දාර්ශනිකයින් විසින් ද දහම් දෙසුවෝය. මේ හේතුවෙන් ලෝකයේ බොහෝ ආගම් බිහි විය.
ලෝකයට පහළ වූ අවසාන ආගම් පුස්තකය අල් කුරානය වේ. කුරානය මගින් ඊට පෙර පහළ කරන ලද දහම් තවදුරටත් තහවුරු කොට තිබේ. එසේම මුහම්මද් නබිතුමාට කලින් පැමිණි නබිවරුන් ගැන කුරානයේ සඳහන් වේ. මේ නිසා මුහම්මද් නබිතුමාගේ අනුගාමිකයින් එතුමාට පෙර පැමිණි නබිවරුන්ව විශ්වාස කරන්නේය. එහෙත් යුදෙව්වන් ජේසු තුමාගේ සහ මුහම්මද් නබි තුමාගේ නබිත්වය පිලි ගන්නේ නැත. එසේම කිතුනුවන් මුහම්මද් තුමාගේ නබිත්වය පිලි ගන්නේ නැත. කෙසේ වෙතත් ස්වර්ගය ලැබීමට නම් දෙවියන් පහළ කරන ලද සෑම නබිවරයෙකු ගැනම විශ්වාස කිරීම අනිවාර්ය වේ.
රටක උත්තරීතර පාර්ලිමේන්තුවකින් අවසාන වරට සම්මත කරනු ලබන විවස්තාවක් මගින් ඊට පෙර පැවති සියලුම විවස්ථාවන් අහෝසි කෙරේ. එසේම අලුතින් දහම් පුස්තකයක් පහළ වන සෑම අවස්ථාවේදීම ඊට පෙර පැවති දහම් පණිවිඩය අවලංගු වේ. එබැවින් ලෝකයේ කොතරම් ආගම් තිබුනත් දෙවියන් විසින් පිළිගනු ලබන්නේ අවසාන වරට පහළ කරන ලද දහම් පණිවිඩය පමණි. කෙසේ වෙතත් මිනිසාට ලැබී ඇති නිදහස නිසා මෙළොව ජීවිතයේදී තමන් කැමති ඕනෑම ආගමක් පිළිපැදීමට තහනමක් පනවා නැත. එහෙත් මතු ජිවිතයේදී පිහිට වන්නේ දෙවියන් විසින් පහළ කරන කරන ලද අවසාන දහම් පණිවිඩය වේ.
By Fasy Ajward.B.Sc (PhysicsSpecial) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Twitter:-thetrue_path
Comments
Post a Comment