සිත් සැනසුම ලබන්නේ කොතැනද? (Where do hearts find peace?)


දෙවියන්ගේ සැලසුම අනුව මිනිස් ජීවිතය පුරාවට දුක සහ සතුට මාරුවෙන් මාරුවට පැමිණෙන්නේය. ඒ අනුව කිසිම කෙනෙක් සෑම විටම සතුටින් සිටින්නේ හෝ දුකින් සිටින්නේ හෝ නැත. උදාහරණයක් ලෙස යම් කෙනෙක් කුසගින්නේ සිටින විට රසවත් ආහාරයක් ලැබුණු විට ඔහු සතුටට පත් වන්නේය. අනෙක් අතට එය නොලැබීම නිසා ඔහු අසතුටට පත් වන්නේය. එසේම කෙනෙක් විභාගයකින් සමත් වීමෙන් සතුටට පත් වන්නේය. අනෙක් අතට ඔහු විභාගයකින් අසමත් වුයේ නම් අසතුටට පත් වන්නේය. මෙවැනි බොහෝ දේවල් මිනිස් ජීවිතය පුරාවට දැකිය හැකිය. මේ සෑම දෙයකටම හේතුව මිනිස් ජීවිතය පරීක්ෂාවක් වීමයි. ඒ බව කුරානයෙන් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් යම් කෙනෙකු දුකට පත් වූ අවස්ථාවකදී ඊට සාර්ථකව මුහුණ දීම සඳහා ඔහුගේ සිතේ ඇති සැනසීම ඉතා වැදගත්ය. එබැවින් එය අත්කර ගත හැකි ක්‍රමය කුරානයෙන් පෙන්වා දී තිබේ. එහෙත් මෙලොව ජීවිතයේදී සදාතනිකව සතුටින් සිටිය හැකි මාර්ගයක් කුරානය තුල දැකිය නොහැකිය. කුරානයට අනුව සදාතනික සතුට තිබෙන්නේ මරණයෙන් පසුව එළඹෙන ස්වර්ගයේදීය.  

මරණයෙන් පසු ජීවිතය ගැන විශ්වාස නොකරන බොහෝ අය සතුට වෙනුවෙන් බොහෝ දේවල් කරන්නේය. ඒ අනුව සමහරු අධික ලෙස වස්තුව සේවිමෙන්ද, තවත් සමහරු මතට පුරුදු වීමෙන්ද සතුට සොයති. තවත් සමහරු ගණිකාවන් ඇසුරු කිරීමෙන් සතුට සොයති. එහෙත් මෙම කිසිම ක්‍රමයකින් සැබෑ සතුට ලං කර ගත හැකි වන්නේ නැත. මේ නිසා ඇතැම් අය සිය දිවි හානි කර ගන්නේය. තවත් සමහරු මානසික ලෙඩ්ඩු බවට පත් වන්නේය. ඊට ප්‍රධාන හේතුව ඒවා ඉවසා ගැනීමට තරම් මානසික ශක්තියක් ඔවුන් සතු නොවීමයි. කෙසේ වෙතත් දෙවියන් කෙරෙහි පුර්ණ විශ්වාසය තබා ඇති තැනැත්තා ඊට සාර්ථකව මුහුණ දෙන්නේය. 

අල් කුරානයට අනුව අල්ලාහ්ව විශ්වාස කිරීමෙන්ද ඔහුව මෙනෙහි කිරීමෙන්ද කෙනෙකුගේ සිත් සැනසුම් ලබයි. මෙම කුර්ආන් වැකියෙන් එය විස්තර කොට ඇත. "අල්ලාහ්ව සිහිකිරීම තුලින් විශ්වාස කළවුන්ගේ සිත් සැනසුම ලබයි. දැනගන්න! අල්ලාහ්ව සිහි කිරීම තුළින් සිත් සැනසුම ලබයි" (කුරානය 13:28). 

මෙය ප්‍රායෝගිකව දැක ගත හැක්කේ කෙනෙක් සත්‍යය සොයා ගැනීම සඳහා මහන්සි වී "ශහාදා" කලිමාව පවසා ඉස්ලාම් දහම වැළඳ ගන්නා අවස්ථාවේදී සතුටු කඳුළු සැලීම දකින විටය. ඇත්ත වශයෙන්ම එම අවස්ථාවේදී ඔවුන්ගේ සිත් තුලට "සකිනා" නමැති සන්සුන් බව ඇතුළු වන්නේය. 

අල්ලාහ්ව විශ්වාස කරන තැනැත්තා සමග අල්ලාහ් සිටින්නේය. ඔහුට අල්ලාහ්ගේ රැකවරණය ලැබෙන්නේය. මේ නිසා ඔහු කුමන පරික්ෂාවකට මුහුණ දෙනු ලැබුවත් අල්ලාහ් කෙරෙහි ඇති විශ්වාසය නිසා ඒවා සතුටින් භාර ගන්නේය. මෙය සහාබා වරුන්ගේ ක්‍රියාවන් තුලින් ඉතා හොඳින් දැක ගත හැකි විය. අදටත් මුස්ලිම්වරුන් මොන තරම් ප්‍රශ්න වලට මුහුණ දෙනු ලැබුවත් සිය දිවි හානිකර නොගන්නේ ඔවුන්ගේ සිත් අල්ලාහ් කෙරෙහි බැඳී ඇති නිසාය. එසේ තිබියදී ඉතා දියුණු රටවල් වල පවා මොන තරම් සම්පත් තිබුනත් සැනසුම නොමැති කමින් ඇතැම් අය සිය දිවි හානිකර ගන්නේය. ඔවුන් අතර කෝටිපති ව්‍යාපාරිකයින්ද නැතුවා නොවේ. 

ඉස්ලාම් දහම මිනිසාට ඉතා සරල ජිවිතයකට මග පෙන්වන්නේය. මේ නිසා අධික ලෙස වස්තුව නැති මුස්ලිම්වරුන් පවා සතුටින් කල් ගෙවනු දැකිය හැකිය. ඔවුන්ගේ විශ්වාසය දැක ගත හැක්කේ මොන තරම් මුදල් ලැබුනත් සිකුරාදා දිනයේදී ව්‍යාපාර නවතා දමා අල්ලාහ්ව නැමදීම සඳහා මස්ජිදය වෙත යෑම දකින විටය. එපමණක් නොව අල්ලාහ් කෙරෙහි නියම විශ්වාසයක් ඇති කිසිම කෙනෙක් මොනතරම් දෙයක් දුන්නත්  හේතුවක් නොමැතිව උපවාසය අත් හරිනේද නැත. කෙසේ වෙතත් මේ අතර කුහකයින්ද නැතුවා නොවේ. එම නිසා ඔවුන්ගේ ක්‍රියාවන් දැක ඉස්ලාම් දහම වැරදියට වටහා ගත යුතු නැත. 

අල්ලාහ්ව විශ්වාස කරන තැනැත්තා ඔහු මුහුණ පාන සෑම ප්‍රශ්නයකදීම පිහිට පතන්නේ අල්ලාහ්ගෙන් ය. එමගින් ඔහු විශාල සැනසුමක් ලබන්නේය. අල්ලාහ්ව විශ්වාස නොකරන තැනැත්තාට ඇති එකම පිහිට ඔහු මෙන්ම වෙනත් කෙනෙක් ය. එය සැබෑ සතුටට හේතුවක් වන්නේ නැත. 

එක් හදිසයක දැක්වෙන අන්දමට අල්ලාහ්ව සිහිකරන මනස ජීවමාන වේ. එසේම අල්ලාහ්ව සිහි නොකරන මනස මිය ගිය මනසකට සමානය. මේ බව කියවෙන හදිසයක් අබු මුසා රලි තුමා මෙසේ දැනුම් දෙන්නේය."අල්ලාහ්ව සිහි කරන කෙනෙකුටත් අල්ලාහ්ව සිහි නොකරන කෙනෙකුටත් උදාහරණය කෙසේද යත් පණ ඇති ජිවියෙකුටත් පණ නැති ජිවියෙකුත් වැනිය" (සහි බුහාරි). 

අල්ලාහ්ව සිහිකරන මුස්ලිම්වරයෙකු ඔහු කරන සෑම ක්‍රියාවක්ම ආරම්භ කරන්නේ අල්ලාහ්ගේ නාමයෙනි. තවද ඔහු කරන සෑම දෙයක්ම නබිතුමා පෙන්වා දී ඇති දුආ ප්‍රාර්ථනයන්ගෙන් ආරම්භ කොට ඒවා අවසාන කිරීමෙන් පසුද අල්ලාහ්ට ප්‍රසංසා කරන්නේය. මේ නිසා ඔහු කරන දේවල් වලට අල්ලාහ්ගේ උදව් ලැබෙන්නේය. කෙසේ වෙතත් අල්ලාහ්ව මෙනෙහි කල පමණින් ප්‍රශ්න වලින් තොර ජිවිතයකට හිමිකම් ලබන්නේ නැත. ඒ අනුව මුස්ලිම්වරයෙකු ප්‍රශ්නවලට මුහුණ දී අල්ලාහ්ගේ විශ්වාසය තුලින් ඒවා ජය ගත යුතු වේ. මුස්ලිම්වරුන්ට ඇතිවන පරීක්ෂාවන් නිසා ඔවුන්ගේ දේව විශ්වාසය තව තවත් වැඩි වන්නේය. නබිවරුන් පවා නොයෙකුත් පරීක්ෂාවන්ට මුහුණ දී තිබේ. 

බොහෝ අයට සැනසුම නොලැබී යාමට ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන් සාතන්ගේ මාර්ගයේ ගමන් කිරීමයි. සාතන්ගේ මාර්ගයේ ගමන් කරන අය අල්ලාහ්ගෙන් දුරස් වන්නේය. එවිට ඔවුන් සැනසුම සොයන්නේ වැරදි මාර්ග ඔස්සේ ගමන් කිරීමෙන් ය. එවැනි අය කිසිම අන්දමකින් ඔවුන් බලාපොරොත්තු වන සතුට ලඟා කර ගන්නේ නැත. එවැනි අය සදාකල් ප්‍රශ්න පිට ප්‍රශ්න වල පැටලී සිටින්නේ ය. 

මුස්ලිම්වරයෙකුට ලෞකික ජීවිතයේදී කිසිම දෙයක් නොලැබුනත් මරණයෙන් පසු යම් දවසක සදාකාලික ස්වර්ගය ලැබෙන බව ස්ථිර නිසා සතුටක් ලැබිය හැකිය. 

By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.


Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)