ආත්මය පිළිබඳ ඉස්ලාමීය විශ්වාසය (Islamic belief in the soul)



ආත්මය නොහොත් ජිවය විද්‍යාත්මක උපකරණවලට හසු කර ගත නොහැකි ය. එබැවින් විද්‍යාව කොතරම් දියුණුවී ඇතත් ජිවය පිළිබඳව විඥාඥයින්ට ඇත්තේ අල්ප දැනුමකි. කෙසේ වෙතත් කෙනෙකුගේ මරණය සිදු වූ වහාම ශරීරයේ  බර අඩු වන බව සොයාගෙන තිබේ. 

අල් කුරානයට අනුව අදම්තුමාව මැවීමෙන් පසු ඔහුගේ ශරීරය තුලට ආත්මය ඇතුලත් කොට තිබේ. ඉන් පසු ඔහුගේ ක්‍රියාකර කම් ආරම්භ විය. ආත්මය පිළිබඳව නබිතුමාගෙන් අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් මෙම කුර්ආන් වැකිය පහළ විය. 

"ඔවුන් ප්‍රාණය ගැන නුඹගෙන් විමසති. ප්‍රාණය මාගේ සමිඳුන්ගේ (رب) අණ පරිදිම ඇතැයි ද (එය ගැන) සුළු දැනුමක් පමණක් ඔබලාට දෙනු ලැබ ඇතැයි ද පවසනු" (කුරානය 17:85). 

මේ හේතුවෙන් මිනිසාට ආත්මය පිලිබඳව දෙවියන් දැනුම් දෙන ලද දේට වඩා වැඩි දෙයක් දන්නේ නැත. අල් කුරානයට අනුව ආත්මයට "රුහ්" යැයි කියනු ලැබේ. එය මෙලොවට අයත් නොවේ. ඒ අනුව කෙනෙකුගේ මරණයත් සමග එය නැවතත් දෙවියන් වෙත රැගෙන යාමට නියමිතය.

අල් කුරානයේ සඳහන් වන ආකාරයට මරණය සහ ජිවය මවා තිබෙන්නේ මිනිසාව පරික්ෂා කොට බැලීම සඳහාය. එම කරුණ කුරානයේ මෙලෙස සඳහන් වේ. "ඔහු මරණය සහ ජිවය මවන ලද්දේ නුඹලා අතරින් යහපත් ක්‍රියාවන් කරන්නේ කව්රුන්දැයි සෝදිසි කිරීම පිණිස වේ" (කුරානය 67:2). 

කෙසේ වෙතත් අදේවවාදීන් සිතන්නේ ආත්මය රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිපලයක් බවයි. ඒ අනුව ඔවුන් සිතන්නේ මරණයත් සමග මිනිස් ජීවිතය කෙළවර වන බවයි. කෙසේ වෙතත් එය සිතුවිල්ලක් පමණි. ඉස්ලාම් දහම අනුව මිනිස් ආත්මය දෙවියන්ගේ විශේෂ මැවීමකි. ඒ අනුව කෙනෙකුගේ මරණයෙන් පසු ආත්මයට අලුත් ශරීරයක් ලබා දී නැවත නැගිටවා ප්‍රශ්න කිරීමට නියමිතය. 

ඉස්ලාමිය ඉගැන්වීම අනුව සෑම කෙනෙකුගේම ආත්මයන් දැනටමත් මවා ආත්මීය ලොවේ රඳවා ඇත. මවක් ගැබ් ගත් විට දේවදුතයෙකු විසින් ඊට නියමිත ආත්මය ගෙනවිත් මව් කුස තුලට ඇතුලත් කරන්නේය. නබිතුමා පවසා ඇති පරිදි එය ගැබ් ගැනීමෙන් පසු මාස 4 කදී සිදු වන්නේය. එසේම කෙනෙකුගේ මරණය සිදු වන විට ඔහුගේ ආත්මය දේවදුතයෙකු විසින් නැවත වරක් අත්පත් කරන්ගෙන දෙවියන් වෙත ගෙන යනු ලබන්නේය.  

ආත්මය මිනිස් ශරීරය තුල ඉතා වැදගත් කටයුත්තක් ඉටු කරන්නේය. ඒ අනුව මිනිසා ගනු ලබන සෑම තීරනයකටම ආත්මය මුල් වේ. එම නිසා අප කරන සෑම කුසල්, අකුසල් ක්‍රියාවකටම ආත්මය වග කිව යුතුය. තවද ඉස්ලාමිය ඉගැන්වීම අනුව ආත්මය කෙළවර වන්නේ නැත. ඒ අනුව මිනිසා කරන කුසල් හෝ අකුසල් අනුව එය ස්වර්ගයේදී හෝ නරකාදියේදී කෙළවර වීමට නියමිතය. එම ජිවිතයට අවසානයක් නැත. 

ආත්මයේ විමුක්තිය පෙන්වා දීම සඳහා නබිවරුන් හෙවත් දෙවියන්ගේ විශේෂ දුතයින් හරහා දහම් පණිවිඩ ලබා දී තිබේ. එසේ පැමිණි සෑම නබිවරයෙකුම දේශනා කලේ දෙවියන්ගේ ඒකීයත්වය සහ ඔහුට පමණක් නමදින ලෙසය. එහෙත් නබිවරුන්ගේ අභාවයෙන් පසු මිනිසා විසින් දෙවියන් පහළ කරන ලද දහම් පණිවිඩ වෙනස් කළෝය. කෙසේ වෙතත් දෙවියන්ගෙන් පහළ කරන ලද අවසාන දහම් පණිවිඩය වන කුරානය ආරක්ෂා කිරීමේ වගකීම ඔහු වෙත පවරාගෙන තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස අල් කුරානය පහළ වූ භාෂාවෙන් සහ එය පහළ වූ අකාරයටම අද වන තුරුත් ආරක්ෂා වී තිබේ. මෙම කරුණ මුස්ලිම්වරුන් මෙන්ම මුස්ලිම් නොවන විද්වතුන් විසින් ද පිළිගන්නේය.

ඉස්ලාමීය ඉගැන්වීම අනුව මිනිස් ආත්මය නැවත නැවත මේලොවේදී උපත ලබන්නේ නැත. ඒ අනුව මිනිසා මිය ගිය පසු වෙනත් කිසිම ජිවියෙකුගේ ආත්මයකින් මෙලොවදී උපත ලබන්නේ නැත. කෙසේ වෙතත් ලෝකය අවසාන වීමෙන් පසු මුල්ම මිනිසා පටන් අවසාන මිනිසා දක්වා සෑම කෙනෙකුවම නැවත ශරීරයක් ලබා දී නැගිට වීමට නියමිතය. එසේ නැගිටවනු ලබන සෑම ආත්මයක්ම මෙලොවදී ක්‍රියා කල අකාරය ගැන ප්‍රශ්න කිරීම සඳහා එක් ස්ථානයකට රැස්කිරීමට නියමිතය. එම දිනය "විනිශ්චය දිනය" ලෙස නම් කොට තිබේ. එම විනිශ්චයෙන් පසු එක් එක් අය විසින් සිදු කරනු ලැබූ පින් පව් අනුව ස්වර්ගය හෝ නිරය ලබා දීමට නියමිතය. එම ජිවිතයට අවසානයක් නැත.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.



Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)